
ලෝකයේ හෙට දවස වෙනුවෙන් ආහාර සුරෂිතතාව ඇති කිරීම, නිවැරැදි පෝෂණය පිළිබඳ උනන්දුව හා වසවිස නැතිගොවිතැන ප්‍රවර්ධනය කිරීම යනු තිරසර සංවර්ධන අභිමතාර්ථයන් අතර ඇති කඩිනමින් සාක්ෂාත් කරගත යුතු අරමුණුය. පාරිසරික ගොවිතැන ගැන අද ඇති වී තිබෙන ප්‍රබෝධය වනාහී ඒ වත්මන් ගෝලීය සංවර්ධන ඉලක්කයන්හි ඍජු ඵලයකි. කෘෂිකර්මාන්තය හරහා ලාභ ලැබීමේ චේතනාව පෙරදැරි කරගෙන මහපොළවට යොදන රසායනික වස විස නිසා අද ගොවිබිම් කාන්තාරකරණය වෙමින් තිබේ. කාලගුණික සහ දේශගුණික විපර්යාසයන් හමුවේ ලෝකය අද මුහුණපා ඇති අති බිහිසුණු අභියෝගයන්ට අවසාන වශයෙන් වාණිජ කෘෂිකර්මාන්තයේ දී සුලබව යොදන රසායනික යෙදවුම්වල බලපෑමවිශාල තර්ජනයක් වී ඇති බව නන් දෙසින් වාර්තා වී තිබෙන්නකි.
ගෝලීය වශයෙන් පාරිසරික සම්පත් සහ මානවයාගේ මූලික අවශ්‍යතාවන්, තුලනාත්මකව පවත්වා ගැනීම අද ඇති අභියෝගයයි. සොබාදහමට, පරිසරයට අනුගත වූ ඊට අනුකූල වූ මිනිස් ක්රිරයාකාරකම් පමණක් එනම් එවැනි හුදකලා මිනිස් පිළිවෙතක් අදට ඔබින්නේ නැත. එහෙත් ඈත අතීතයේ දී මිනිසා සිය කටයුතු කර තිබුණේ පරිසරානුබද්ධ ඇදහිලි ක්‍රමයන්ට යා වෙමිනි. ඒ තුල පරිසරයට මිනිස් ක්‍රියාකරකම් හෙයින් වුණු බලපෑම සුබවාදී එකක් විය. එහෙත් අද තත්ත්වය වෙනස්ය. කාර්මික විප්ලවයේ නාමයෙන් මිනිසා සියලු අභියෝගයන් ක්ෂණයෙන් ජය ගැනීමට තාන්ෂණික ඥානය භාවිතයේ යෙදවූවේය. එතැන් පටන් සියලු ආකාරයේ බාධාකාරී සීමාවන් ජයගත් මිනිසා තාක්ෂණයට මුවා වී සොබාදහමේ ඉසුලුම් ධාරිතාවය නොසලකා හැර කටයුතු කරන්නට ආරම්භ කෙරුණි.
ඒ සමඟම හරිත විප්ලවයේ නියමයෙන් මහපොළව හා බැඳුණු එදා මෙදා තුර මානවයාගේ ජීවන සඟයා වියරු වෙස් ගත්තේය. ගොවිබිම් සහ පරිසරයේ රිද්මය පිළිබඳ ගොවීන්ගේ එදා තිබූ සහජීවනයට එනයින් තිත තැබිණි. මහපොළව ඒ මිනිසාගේ කුරිරු බව හමුවේ උමතු වෙස් ගත්තේය. ස්වාභාවික ව්‍යවසනයන්ට මුවා වී පරිසරයේ පැවැත්ම තහවුරු කරගත් මිහිකත, ලෝකයාගේ නව ඇවතුම් පැවතුම් හමුවේ හුෙදකලා වූවේය.
ස්වභාවික විපත්වලට අත වනමින් සොබාදහමට අතවර කරන කාර්මික යුගයේ ලාභ අපේක්ෂාව පරිසර දූෂණය වෙනුවෙන් පියවර දහස් ගණනක් ඉදිරියට තබමින් කටයුතු කරති. පසේ සාරය උදුරා ගනිමින් මහපොළවේ නිෂ්පාදන වැඩි කරගන්නට දත කන කෘෂිකාර්මික රසායන බෝම්බය, ලාබය සොයා යන උතන්මත්තකයින්ට මොහොතකට විනෝදය සැපයූයේය. විපත්තිදායක අමනෝඥ මිනිස් ක්‍රියාකාරකම් නිසාවෙන් කඳුළු හලන මිහිකත සනහාලන්නට කාර්මික යුගය අමතකකර දැමුවේය.
දැන් විද්‍යාඥයන් වැඩි වශයෙන් කතාකරන්නේ පෘඵිවියේ සාමාන්‍යය ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක දෙකට වඩා ඉහළ යන බව කියැවෙන කාරණය මුල්කරගත් අභියෝගයන් ගැනය.
බොහෝ දේශගුණික විද්‍යාඥයින් මෙය සලකන්නේ පාලනයකරගත නොහැකි බිහිසුණු දේශගුණික විපර්යාසයක ලෙසය.එක පැත්තකින් ගෝලීය උණුසුම ඉහළ යෑමෙන් ලෝකය ගිනියම් වීමත්, ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ගෝලීය ශීතල වැඩි වර්ධනය වීමෙන් ලෝකය අයිස් බවට පත්වීමත් අප තේරුම් ගන්නේ හුදෙක්ම මහපොළවේ ලාබ උපයීම වෙනුවෙන් සිදුකරමින් තිබෙන ව්‍යසන ප්‍රවේශයේ ප්‍රතිඵලයක් ලෙසිනි.
මිහිකත විකසිත කරන තිරසර සංවර්ධන ගෝලීය ඉලක්ක සමාජගත වන්නේ මෙවැනි ලෝක ප්‍රවණතාවක් හමුවේය. ලෝක පාරිසරික අර්බුදයට අවශ්‍ය විසඳුම සඳහා පරිසරවාදී “කෘෂිකර්මාන්තයකට හා ඊට යාවූ සංවර්ධන මාදිලියකට හෝ ලෝකය අවනත විය යුතුය.
ලෝක ජනගහනය වැඩි වර්ධනය වීමට සාපේක්ෂව ආහාර නිෂ්පාදනයේ ඉහළ යාමක් අත්යාිවශ්යමයය. එම තත්ත්වය තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ කැපවීම අනෙක් පැතිමානයය. වැඩිවන ජනගහනය, ආහාර සුරක්ෂිතතාවය පිළිබඳ විශ්වාසය සහ පරිසර සුරක්ෂිතතාවය පිළිබඳ කතිකාව ගෝලීය අර්බුධයන් ගණනාවක මූලයන් වී තිබේ. තිරසර සංවර්ධන ගෝලීය ඉලක්කයන්හි සඳහන් වන ආකාරයට 2030 වන විට තිරසර ආහාර නිෂ්පාදන පද්ධති තහවුරු කිරීමෙනි. තිරසර සංවර්ධනයේ මූලධර්ම සැකසෙන්නේ ඒ අභියෝගයන් ජය ගැනීම සඳහාය. කාර්මික යුගයේ දී තාක්ෂණික ඥානය යොදවා මිනිසා මිහිතලයට සිදු කළ ව්‍යසනයේ අවසානය ගැන කතාකරන්නට තිරසර සංවර්ධනය නම් සංකල්පය මිනිසාට වේදිකාව තනා දුන්නේය. ඒ අනුව යමින් කාර්මික සහ කෘෂිකාර්මික සැලැස්මයන් ඉදිරියේ දී සකස් විය යුත්තේ තිරසර සංවර්ධන ගෝලීය ඉලක්කයන් හරහාය යන්නට අද සියල්ලෝම ඒකමතිකව එකඟතාවය ලබා දී තිබේ.
තාක්ෂණික ඥානය යෙදවූ වස විස නොයෙදූ පරිසරය, මානව සෞඛ්‍යය ගැන සංවේ දී වූ කෘෂිකර්මය ගැන නැවත කියවන්නට ලෝකය සිත්යොමු කර තිබේ. ගෙවත්තට අනඟි වටිනාකමක් නැවත ලැබෙන්නේ ඒ අනුසාරයෙනි.
මුළු පරිසර පද්ධතිය මැනවින් කළමනාකරණය කරන අපූරු උපායමාර්ගයක් ලෙස අද ගෙවත්ත කලාපීය වශයෙනුත් ගෝලීය වශයෙනුත් ජනප්‍රිය වී තිබේ. කුටුම්භයේ ආදායම ඉහළ නංවමින්, පවුලේ පෝෂණය පිළිබඳ සවිඥානික වෙමින් එය ඉහළ නංවමින්, අවට පරිසරයේ යහපත ගැන සිතමින්, වස විස නැති කාබනික ගොවිතැනින් ආත්ම තෘප්තිය ලබමින්, ගෝලීය උෂ්ණත්වය පාලනයට ද දායක වෙමින් සොබාදහම හා බැඳුණු පරිසර හිතකාමී කෘෂිකර්මාන්තයේ යෙදෙන බහුතරයක් දෙනා තිරසර සංවර්ධනයේ මඟට පිවිසුණු අයය.
එහෙයින්, අවශ්‍යව ඇත්තේ පාරිභෝගිකයින් සාවද්‍ය පරිභෝජනයෙන් වැළකීම සහ එය තම තමන්ගේ ජීවන විලාසිතාව බවට පත්කර ගැනීමය. එමෙන්ම, කෘෂි නිෂ්පාදකයින් වස විස නැති ගොවිතැනට බැඳී සෞභාග්‍යය කරා ළඟාවීමය. පාරිසරික දේශගුණික අර්බුදය හුදෙක්ම අද සමාජ අසමානතාවය පිළිබඳ අර්බුදයෙන්, ගෝලීය සාගින්නෙන්, වෙන් කොට හඳුනාගත නොහැකිය. එක්සත් ජාතීන්ගේ පාරිසරික වැඩසටහන, “පරිසර අර්බුදයට විසඳුමක්” යන්න විග්‍රහ කරන්නේ, මානව උන්නතිය වෙනුවෙන් සහ සමාජ සාධාරණත්ව වෙනුවෙන් කැප වූ එම සංකල්ප ප්‍රවර්ධනය කිරීමට සමගාමීව පාරිසරික අවදානම්අඩු කරමින් සොබා සම්පත් නැණවත්ව පරිහරණය කරන අන්දමේ ආර්ථික කර සමයක අවශ්‍යය. අද ඇතිවී තිබෙන බව අවධාරණය කරමිනි. වස විස නැති ගොවිතැන වනාහී එවන් මඟක පියසටහන්ය.
පවිත්‍රා රූපසිංහ