ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2017 | සිළුමිණ

ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2017

ශ්‍රී ලංකාවේ විශිෂ්ට නිර්මාණශීලි ලේඛකයන්ගේ කෘති ඇගයීම් හා දිරිගැන්වීමේ අරමුණින් ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගම සංවිධානය කළ “ෆෙයාර්වේ ජාතික සාහිත්‍ය සම්මාන 2017” සම්මාන ප්‍රදානෝත්සවය මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතාගේ ප්‍රදානත්වයෙන් පසුගිය 26 වැනිදා ගාල්ලේ Fairway Pavilion හිදී පැවැත්විණි.

ෆෙයාර්වේ ගාලු සාහිත්‍ය උලෙළට සමඟාමීව 2017 වසරේ දී මෙරට සිංහල, දමිළ හා ඉංග්‍රීසි මාධ්‍යයන්ගෙන් රචිත නවකතා අතුරින් සිංහල මාධ්‍යයෙන් රචිත කෘති 05 ක් ද, දමිළ මාධ්‍යයෙන් රචිත කෘති 04 ක් ද, ඉංග්‍රීසි මාධ්‍යයෙන් රචිත කෘති 04 ක් ද ඇතුළු කෘති 13 ක් සඳහා මෙහිදී සම්මානය ප්‍රදානය කෙරෙණි.

සම්මානය සඳහා නිර්දේශ වීම වෙනුවෙන් මේ සෑම නවකතාවකට ම රුපියල් 100,000 බැගින් මුදල් ත්‍යාග හිමිවූ අතර අදාළ භාෂා කාණ්ඩයේ ජයග්‍රාහී නවකතාව වෙනුවෙන් රුපියල් 500,000 බැගින් ප්‍රදානය කිරීමට සංවිධායකයන් කටයුතු යොදා තිබිණි.

ඒ අනුව සිංහල මාධ්‍යයෙන් අනුරසිරි හෙට්ටිගේ විසින් රචිත “පණ්ඩක පුත්‍ර කථා වස්තුව“ ද, දමිළ මාධ්‍යයෙන් තීනියාන් ගේ “එතානම්“ සහ අමන්දා ජේ ගේ ‘‘The Other One’’ මෙවර ජයග්‍රාහී නවකතා බවට පත්වෙමින් රුපියල් ලක්ෂ 05 බැගින් මුදල් ත්‍යාග ද හිමි කරගත්තේය.

මීට අමතරව රුක්මණී සමරනායකගේ ‘Dutugemunu: Prince of Destiny’ ශංකරී චන්ද්‍රන්ගේ ‘Song of the Sun God’ සහ මාරියෝ පෙරේරාගේ ‘Wrath of Kali: The dark side of God එම විනිසුරු මඩුල්ල විසින් 2017 වසර සඳහා නිර්දේශ කරන ලද සෙසු ග්‍රන්ථ විය.

ජයග්‍රාහී නවකතාව හැරුණු විට විනිසුරු මඩුල්ල විසින් නිශ්ශංක විජේමාන්නගේ ‘හඳ පළුව- තනි තරුව‘ , විමල් උදය හපුගොඩආරච්චිගේ ‘යකඩ සිල්පර‘ , කීර්ති වැලිසරගේ ‘ගරුඩ මුහුර්තය‘ සහ දීප්ති මංගලා රාජපක‍්ෂගේ ‘නිකිනි කළුවර‘ යන කෘතිත් මෙවර සම්මානයට නිර්දේශ කරනු ලැබීය.

මෙවර දමිළ භාෂා අංශයෙන් නිර්දේශ කරන ලද සෙසු කෘති වූයේ එම්. බාලසිංහම් ගේ ‘තෂුම්බු‘ , ජේ වහබ්දීන් ගේ ‘කුලයිමුරිසල් ‘ සහ එන්. යෝ හේන්ද්‍රනාදන් ගේ ‘නීන්තික් කදන්ද නෙරුප්පාරු‘ වේ.

මෙවර මෙහි ඉංග්‍රීසි භාෂාව සඳහා වන කාණ්ඩයේ විනිසුරු මඩුල්ල ලෙස රංජනී ඔබේසේකර ,ජොලි සේමසුන්දරම් ,අරූන් වේලාන්දාවේ ප්‍රේමතිලක මහත්ම මහත්මීහු ද, සිංහල භාෂා අංශයේ විනිසුරු මඩුල්ල ලෙස ගාමිණී වියන්ගොඩ, බුද්ධදාස ගලප්පත්ති සහ ප්‍රභා මනුරත්න කටයුතු කළහ.

දමිළ භාෂා අංශයේ විනිසුරු මඩුල්ල ලෙස වී. මහේෂ්වරන්, සුමති සිවමෝහන්, සහ එම්.එස්.එම් අනේස් කටයුතු කළහ.

මේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, ෆෙයාර්වේ හෝල්ඩිංග්ස් සමාගමේ සභාපති හේමක ද සිල්වා මහත්වරු ද සහභාගි වී සිටියහ.

 
 

Comments