
“කෝ මේ ළඟ පහළ කවුරුත් නැද්ද?”
ඒ ඇහෙන්නේ සීයාගේ කටහඬය.
මම ගියෙමි, අනිත් වැඩ නතර කොට
සීයා සිටි තැනට
“ඇයි සීයේ, මොනවද උවමනා?”
“මට ගෙනැත් දෙන්න ලාරාගේ ගීතය”
“ලාරාගේ ගීතය?”
“ඇයි දන්නේ නැද්ද?”
“ඇයි අහලා නැද්ද?”
ලාරාගේ ගීතය.
“යම්තමින් මතකයි.”
“මහා පුදුමයි. මට ඕනෑ කොහොම හරි
ලාරාගේ ගීතය”
මම ගිහින් කීවෙමි
අම්මාට සීයාගේ ඉල්ලීම ගැන.
“සීයට ඕනැලු ලාරාගේ ගීතය”
අම්මාගේ මුවගට හිනාරැල්ලක් නැගේ
“ලාරාගේ ගීතය?”
ඊළඟට අම්මා ගියා, සීයා ළඟට.
“මොකක්ද තාත්තේ මේ කියන්නේ?”
“මට ඕනෑ ලාරාගේ ගීතය.
ඇයි උඹලට මතක නැද්ද?
දොස්තර ෂිවාගේ චිත්රපටයේ ගීතය
ලාරාගේ ගීතය - පුදුමාකාර ගීතය
අම්මා කල්පනාවේ
ඇයටද හරිහැටි මතක නැති වාගේ
ලාරාගේ ගීතය
“කෝ කවුරුත් නැද්ද ඒ ගැන දන්න?”
මල්ලි හිටිය කාමරයේ පාඩම් කරමින්,
ඔහුටත් මම කීමි, සීයාගේ ඉල්ලීම ගැන.
මල්ලි පාඩම නතර කොට
හොයන්නට පටන් ගත්තේ
දොස්තර ෂිවාගෙන්”
සීයා නිහඬයි. කල්පනාවේ නිමග්නවී
කිසියම් රොවකින් පෙලෙන්නාසේ
මහා පුදුමයකි සිදුවුණේ
“මට මතකයි සීයේ ඔය කියන ගීතය
ලාරාගේ ගීතය” මල්ලි කීවේ හිටිගමන්.
සීයාගේ මුහුණේ කිසියම් එළියක් විහිදේ
“ආන්න දැක්කද
පුතාට මතකයිනේද
ලාරාගේ ගීතය!”
“ආ! අර එන්නේ නංගී”
එයා දන්නව ඇති ඒ ගැන නිසැකවම
“මොකක්ද අම්මේ?”
මොකක්ද අක්කේ?
මොකක් ගැන ද කතා බහ”
“සීයාට උවමනාලු ලාරාගේ ගීතය”
“ඒක මම ගයන්නම්”
“දුවට පුළුවන්ද?”
“යම්තමින් වචන ටික. තාලය නම් මතකයි
ඉන්පසුව ඇය ගැයුවා ලාරාගේ ගීතය, උස්හඬින්. සීයාගේ මුහුණ පුදුම හසරැල්ලකින් පිබිදුණා.
“මෙහෙ එන්න මගේ දුව”
සීයා නැගණිය වැලඳ ගත්තා.