දල්වව් බැති ආදර පෙම් ජාතිය පොබයා ලෝතුල් | සිළුමිණ

දල්වව් බැති ආදර පෙම් ජාතිය පොබයා ලෝතුල්

නිදහසෙහි වර්ගීකරණයක් තිබේ. එනම්, ආගමික නිදහස, චින්තනමය නිදහස, සාමාජික නිදහස, මානව නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, ජීවත් වීමේ නිදහස, ජාතික නිදහස, ආදි වශයෙන් ය. මේ සෑම එකක්ම මෙලොව උපත ලබන හැම කෙනෙකුටම හැම ආකාරයෙන් ම, අත්‍යවශ්‍ය නොවුව ද උතුම් සමාජයක ජාතික නිදහස පිළිබඳ අදහස හැම කෙනෙකුටම උත්තම අදහසක් වන්නේ ය. නිදහස අවශ්‍ය වන්නේ ද එබඳු අවශ්‍යතාවයක් ලෝකේ තිබෙන්නේ යැයි ද තමාට ද එබඳු දෙයක් 

අවශ්‍ය වන්නේ යැයි ද යන සිතිවිල්ල පවා පහළ වන්නේ මනුෂ්‍යයාගේ මොළයේ මේරීමේ ස්වභාවය අනුවය.

නොමේරූ මොළය සහිත මිනිසා වහල් දම්වැල් වලින් බැදී ජීවත් වීමට රුචි කරයි. එසේ වන්නේ සිතා විමසා ස්වකීය අරමුණු හා චින්තනය කලමණාකරණය කර ගැනීමේ හැකියාවක් ඔහුට නොමැති නිසාය. අලුත් යමක් හිතන්නට ගියත්, එබඳු අයට නවමු සිතිවිලි හිතට හිතෙන්නේම නැත. යමක් කිරීමේදී එය කිරීමට ප්‍රථම විමසා බලා අර්ථවත්ව එය කරන විදිය දැනෙන්නේ නැත. බණ පොතට අනුව මිනිසකුට මෙබඳු තත්ත්වයක් උදාවන්නේ කර්මය නිසායයිද දේවවාදී ආගම්වල එය දේව කැමැත්ත නිසා යයිද, වෛද්‍ය විද්‍යාව අනුව ජානමය තත්වයන් නිසා යයිද කියකි.

නිදහස අත්‍යවශ්‍යයි යන අදහස මෙදා මෙන් නොව, එදා සමාජය තුළ මිනිස් සිත්සතන්වල කිඳාබැස තිබිණි. මෙදා බොහෝ මිනිසාට අත්‍යවශ්‍ය ව ඇති බව පෙනෙන්නේ ප්‍රඥාවෙන් තොර හැඟිීම් වලට අවශ්‍ය ලෙස කටයුතු කිරීම කෙරෙහි වන වල් බූරු නිදහසය. නිදහස වල්බූරු එකක් වන්නේද, උතුම් එකක් වන්නේ ද සංකල්පය මත නොව භාවිතය අනුවය. වල්බූරු නිදහස තුළ ඇත්තේ දෙමවුපියන්ගෙන් හෝ සහෝදර සහෝදරියන් ගෙන් හෝ තම ලේනෑයන්ගෙන් හෝ ඈත්වීම හෝ උපන් රටෙන් ඇත්ව යාම හෝ උපන් ගමෙන් ඈත්ව යාමය. මෙය නිදහස භුක්ති විඳීමද නැතිනම් නිදහස් වීමද, ලෝකය හා සමාජය තමා ලෙස ගෙන කොම්පියුටර් තාක්‍ෂණික ලෝකයෙන් හය හතර දැන ජීවත්වන මේ නිදහස ජීවිතයේ එක්තරා විදියක ශෝඛාන්තයක් නොවේ ද. සැහැල්ලුව යැයි සිතන නිදහස සියල්ල පවතින හුදෙකලාවේ රෞද්‍ර බව නොවේ?

නූතන තාක්‍ෂණික සමාජයේ නිදහස අර්ථකථනය වනු දක්නට ලැබෙන්නේ ඒ පරිදිය. නමුත් එදා නිදහස ඒසේ නොවේ. එක්දහස් අටසිය දහඅටේ කැරැල්ලේ සිට මිනිසා නිදහස ඉල්ලා සිටියහ. ඒ නිදහුසේ ස්වභාවය වුයේ මුලික තේමා පාඨයකට සියල්ල අන්තර්ගත වීමය. ඒදා ඒ අනුව මිනිසා මුලින්ම ඉල්ලා සිටියේ රටේ නිදහසය. අනතුරුව ජාතියේ නිදහසය. ආගමේ නිදහසය. එකී නිදහස සාමූහික එකක් විය. සාමූහික ජීවිතය නිදහස යැයි ඔවුහු කල්පනා කළහ.

සිංහල රට රටක් වශයෙන් ගෙන බැලුකල ද සිංහල ජාතියක් ලෙස ගෙන කරන අධ්‍යයනයකදීද, සිංහල ආගම ආගමක් වශයෙන් සලකන කල්හිද බොහෝ අවස්ථාවල මෙකී මානසික මේරීමේ අල්ප බව වැටහේ. එක්දහස් නවසිය හතළිස් අටේ සිංහල ජාතියට ලැබුණු ජාතික නිදහසයි. බ්‍රිතාන්‍ය මහ රැජිනට යටත්ව තිබු ශ්‍රී ලංකාව ඉන්දියාවට නිදහසට ලැබීමත් සමග ඉබේම මෙන් නිදහස ලැබිණි. අසීමිත බලාපොරොත්තුවකින් නිදහස පිළිබඳව කල්පනා කරණු ලැබුවද ඉබේටම ශ්‍රි ලංකාවට නිදහස ලැබිණි. එනිසාම සටනකින් තොරව ලැබූ එම නිදහස ඩොමීනියන් නිදහසක්ම විය. නිදහසෙන් පසු නිදහස් උත්සවය සැමරීම සිංහල ජාතික අභිමානයක් ලෙස සැලකීය. ඒ අනුව නිදහස් ගීත නිරීමාණය විය. නිදහස් ගීත සාහිත්‍යයක් බිහිවිය. සිංහල චිත්‍රපටයේද, ග්‍රෑමෆෝන් යුගයෙහිද වශයෙන් නිදහස් ගීත නිර්මාණය විය.

එක්දහස් නවසිය පනස් පහ වසරේ නිදහස් උලෙළ මහ ඉහළින් පැවැත්වීමට තීරණයක් ගනු ලැබිය. නමුත් එම නිදහස් උලෙළේ ගායනයට තරම් සුදුසු යැයි සම්මත ගී පද රචනාවක් නොවීය. ස්වදේශිය ගේය පදමාලා රචකයන් සිටියද, ස්වදේශීය තනු නිර්මාණ කරුවන් සිටියේ නැත. ඒ අඩුව පුරවාලූයේ ඉන්දියාවේ බිහි වූ හින්දි ගී තනුවලට සිංහල ගේය පදමාලා එකතු කිරීම තුළින් ය. එක්දහස් නවසිය පනස් හතර වර්ෂයේ ඉන්දියාවේ තිරගත වූ පූජා නම් චිත්‍රපටයක් විය. එම චිත්‍රපටයේ චල් චල් රෙ මුසාෆිය චල් -තූ උස් දුනියා මේ චල් නැමති ගීතය අතිශයින් ජනප්‍රිය එකක් විය. ඒ ගීතයේ ගේයපද මාලාව හෂ්රට් ජයපූරි ගේය. සංගීත තනු නිර්මාණ්‍ය කරනු ලැබුවේ, සංඛ ජයක්‍රිෂන් ය. ගීතයේ ගායන ලීලාව: මොහොමඩ් රාෆිගේය. එම ගීතයෙහි හින්දි වචන වෙනස් කර ඒ වෙනුවට සිංහල වචන යෙදුවෝ ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයෝය. සිංහල ගීතයේ ගේය පද මාලාව ඇරඹෙන්නේ දල්වව් බැති ආදර පෙම් - ජාතිය පොබයා ලෝ තුල් යනුවෙන් ය. ගීතය ගායනා කරනු ලැබුවේ රුක්මණි දේවී විසින් ය. හින්දි තනු නිර්මාණයට සිංහල වචන යෙදු ජාතික අභිමානය සටහන් වන මේ ගී පද මාලාව මහ ඉහළින් සැමරුණු එක්දහස් නවසිය පනස් පහේ ජාතික නිදහස් උලෙළට ගායනා කරනු ලැබීය.

 

Comments