
අපේ රටේ සුන්දරත්වය රැඳී තිබුණේ අලංකාර දිය ඇලි රුක් ගොමු වගේම හෝර්ටන් තැන්න, වස්ගමුව විල්පත්තුව වගේ වනෝද්‍යාන හරහා බිහි වූ හරිත සංකල්පයත් එක්කයි. මේ හරිත සංකල්පය නිසා අපට උරුම වූ කීර්ති නාමය ලෝකය පුරාම පැතිර ගියා. ඒ නිසාම පෙරදිග මුතු ඇටය ලෝකයේ සංචාරකයන්ගේ පාරාදීසයක් බවට පත් වුණා.
මේ හරිත දිවයින කොන්ක්‍රීට්වලින් ගහන වෙන්න පටන් ගත්තේ ජනගහනයේ වර්ධනයත් සමඟයි. ස්වාභාවික තුරුලතා ක්‍රමයෙන් වැනසෙන්නට වුණා. රටේ පාරිසරික සාධක එකින් එක වෙනස් වෙන්න පටන් ගත්තා. අපි පුංචි කාලෙ දැකපු සමනලයින් බත් කුරන් ගල් කුරන් අහිමි වෙන්න පටන් ගත්තා.
දැඩි හිරු රශ්මිය පොළොවට පතිත වෙන්න ගත්තා. වැස්සත් අඩු වුණා විතරක් නෙමෙයි පරිසර සාධක පවා වෙනස් වෙලා කාලගුණය වගේම දේශගුණයත් අපිළිවෙළට වෙනස් වෙන්න ගත්තා.
නාය යෑම් වගේම කඳු කඩා වැටීම් ගංවතුර මේ සියල්ලටම හේතු වුණේ අපේ මිනිස් ක්‍රියාවන් බවට අපි තේරුම ගන්න කොට පරක්කු වැඩියි කියලයි හිතෙන්නේ.
අපි ගහ කොළ වනසන තරමට ඒවා වැව්වෙ නැහැ. අපේ අවශ්‍යතාවලට විතරක් නෙමෙයි ජාවාරම්කරුවන් දැව හොරෙන් කපන්න ගත්තා.
මේ නිසා සමහර ශාක ආරක්ෂිත ශාක ලෙසින් නම් කරන්නත් වුණා. ඒ ශාක තමන්ගේ වත්තෙ තිබ්බත් අවසරයකින් තොරව කපන්න තහනම් වුණා. මේ තත්ත්වයට පරක්කු වෙලා හරි විසඳුමක් නොදුන්නොත් අනාගතයේ රටටම වන විපත දැකපු ජනාධිපතිතුමා හරිත ගම්මාන සංකල්පයක් ඉදිරිපත් කරා.
ඒ සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් දෙන්න රට බේරා ගත් යුද හමුදාවත් එක් වුණා. ඒ අනුව තමයි ‘රණවිරු හරිත අරණ’ වැඩසටහන ආරම්භ කෙළේ. ඒ ව්‍යාපෘතියේම විශේෂ ව්‍යාපෘතියක් ලෙස පුනරීන් හි 66 වන සේනාංක මූලස්ථානය විසින් නලන්කට්ටි (පුනරීන්) සිට පරන්තන් (මහනුවර යාපනය මාර්ගය) දක්වා වු (බී 357) මාර්ගයේ කිලෝමිටර 30 ක දුර ප්‍රමාණයක් ආවරණය වන පරිදි කුඹුක් පැළ 1500 ක් රෝපණය කළා.
සෑම මීටර් 25කටම එක් පැළයක් ලෙසින් වන පරිදි මාර්ගය දෙපසම මේ රුක් රෝපණය කළා.
අනාගතයේ මේ මාර්ගයේ කිලෝ මීටර් 30ක් එක දිගටම රුක් ගොමුවක් අපිට දකින්න පුළුවන් වෙයි. එක් දිනකදී මේ භාරධූර කාර්යය සිදු කළේ පුදුමාකාර කැපවීමකින්.
කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අජිත් කාරියකරවන මහතාගේ උපදෙස් මත 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලානගේ මඟපෙන්වීම මත එම සේනාංක භට පිරිස් කුඹුක් පැළ 1500 ක් රෝපණය කිරීම සඳහා දායකත්වය ලබාදුන්නා.
මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් පැමිණි 66 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් දුමින්ද කැප්පෙටිවලාන මහතා විසින් මෙම ව්‍යාපෘතියේ ආරම්භය සලකුණු කරමින් සංකේතාත්මකව පළමු පැළය රෝපණය කළා. මේ අවස්ථාවට පුනරින් ප්‍රාදේශීය ලේකම්, පුනරින් පොලිස් ස්ථානාධිපති, මාර්ග සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් සහ 66 වන සේනාංකයේ ජ්‍යෝෂ්ඨ නිලධාරින්, පුනරීන් ශ්‍රී විග්නේෂ්වර විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් සහභාගි වුණා.
ඒ විතරක් නෙමෙයි මේ ව්‍යාපෘතියට සමඟාමිව කුඹුක් පැළ පුනරින් ප්‍රදේශියේ පාසල් සිසුන් සහ සාමාන්‍ය වැසියන් වෙත බෙදා දුන්නේ අනාගතයට අවශ්‍ය රුක් රෝපණ කටයුත්තට ලබා දුන් මහා දායකත්වයක් ලෙසින්.
මේ ව්‍යාපෘතියට සඳහා අවශ්‍ය කුඹුක් පැළ මාර්ග සංවර්ධන අධිකාරිය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සහ ලංකා විදුලිබල මණ්ඩලය යන ආයතන සපයා දුන්නා. මෙහිදී කුඹුක් ශාකයන්ගේ වටිනාකම පාසල් දරු දැරියන්ට වටහා දීමේ විශේෂ වැඩපිළිවෙළක්ද සංවිධානය කර තිබුණා.
මහ මිනිසුන් වනය වනසන රටක වනය ගොඩනඟන්නට වනය සුරකින්නට මේ දරු දැරියන් දක්වන ලද ප්රයත්නයට අපේ ගෞරවයත් හිමි විය යුතුයි. ඒ දරු දැරියන් වසර ගණනාවක් යුද්ධයෙන් බැට කෑ අය බවත් අප අමතක නොකළ යුතුයි.
තාරක වික්‍රමසේකර