වන­ස­තු­න්ගෙන් රැක­ගත යුතු­ රටේ ජීව­නා­ලිය | සිළුමිණ

වන­ස­තු­න්ගෙන් රැක­ගත යුතු­ රටේ ජීව­නා­ලිය

වඳුරන්, රිළවුන්, ඌරන්, ඉත්තෑවන්, මොනරුන්, දඬු ලේනුන්, අලින්ගම්වැදීම සහ ගොවීන්ගේ භවභෝගයන් ආහාර කරගැනීම අද රටේ කෘෂිකර්මය හමුවේ ඇති බරපතම ඛේදවාජකය වී තිබේ. වනාන්තර ළඳු කැළෑ විනාශ කිරීමෙන් ස්වභාවික ආහාරභෝග වන සතුන්ට අහිමිව ගොස් ඇති බවත් ඒ හෙයින් සතුන් ගම්වදින බවත් පරිසරවේදීන්ගේ අවසාන නිගමනයය.

දශක ගණනාවක් තිස්සේ පැවති අපේ රටේ ජීවනාලිය වූ කෘෂිකාර්මික ආර්ථික නිෂ්පාදන රාමුවට, පසුකාලීනව එක්වූකාර්මික නිෂ්පාදන ආර්ථිකය, මහපොළවේ ජීවය රැකගන්නා ජෛව පද්ධති හා ඒවායේසීමාවන් නොසලකා හරිමින් තිබෙනවා යැයි කීවොත් කවුරුත් පාහේ එකඟ වෙති. ගෝලීය මට්ටමින්ම පෘථිවියේ පාරිසරික දේශගුණික සමතුලිතබව අද අභියෝගයට ලක්වී තිබේ. ඊට සමගාමීව සිදුවන පාරිසරික දේශගුණික වෙනස්වීම්, මහපොළවේ ජීවත්වන සියලු සත්වයින්ට අද ඉතාමත් නරක ආකාරයට බලපා ඇති බව බැලූ බැලූ දෙසින් සාක්ෂි සපයයි.නැතහොත් එම තත්ත්වය අද රටේ සමාජ අවදානම් කරුණු ගණනාවක් සමඟ ඉතාමත් රළු ආකාරයකට මනුෂ්‍යයාගේ පැවැත්මට බලපෑම් සහගත වී තිබේ.

අපේ රටේ ආර්ථිකයේ කොඳුනාරටිය වන් ගොවිතැන පසුගිය දශයකය තුළ නියඟය නිසාත්, ගංවතුර තත්ත්වයන් නිසාත් සහ විවිධ පාරිසරික තත්ත්වයන් නිසාත් අනේකවිධ අභියෝගයන්ට මුහුණ දුනි. නියගයන්, ගංවතුර, නිවර්තන සුළිකුණාටු, හරිකේන්, උෂ්ණ වායු ධාරා, සහ අකාලයට හැළෙන තුෂාර වර්ෂා ආදිය ගෝලීය දේශගුණික විපර්යාසයන්ගේ ඍජු ඵල විපාකයන්ය.

එම පාරිසරික තත්ත්වයන් ඍජුවමරටක ආහාරනිෂ්පාදනය අඩාල කරන්නටසමත් වන භයානක ආන්තික කාලගුණික තත්ත්ව සමහරකි. 2013 දී නිකුත් වූ එක්‌සත් ජනපදයේ ජාතික කාලගුණික ඇගයීම් වාර්තාවට අනුව "ඉහළ යන දේශගුණික ආපාතයන් මඟින්, භෝග සහ සත්ත්ව නිෂ්පාදන ක්‍ෂේත්‍රයන්ට සෘණාත්මක බලපෑම් ඇති කරනු ලැබිය හැක්‌කේ, මේ වන විටත් එකී නිෂ්පාදනයන්ට දැරිය හැකි උපරිම සීමාවන් පසු කොට ඇති හෙයිනි" යනුවෙන් ලියැවී තිබේ.

රටේ ආහාර නිෂ්පාදනය අඩාල වීම යනු, හෙට දවස වෙනුවෙන් ආහාර සුරක්ෂිතතාවයත් දේශීයත්වය අගයන ආහාර ස්වෛරීත්වයත් පිළිබඳ අභිමානය පළුදු වීමකි. මෙම තත්ත්වයට සාක්ෂි සපයමින් පාරිසරික දේශගුණික අර්බුදයේ තවත් මානයක විපාකයක් වශයෙන් ඇති වී තිබෙන “වන සතුන් ගම් වැදීම” යන කාරණය ලාංකික අපිට අලුත් ප්‍රවෘත්තියක් නොවේ. වඳුරන්, රිළවුන්, ඌරන්, ඉත්තෑවන්, මොනරුන්, දඩු ලේනුන්, අලින්ගම්වැදීම සහ ගොවීන්ගේ භවභෝගයන් ආහාර කරගැනීම අද රටේ කෘෂිකර්මය හමුවේ ඇති බරපතළම ඛේදවාජකය වී තිබේ.

වනාන්තර ළඳු කැළෑ විනාශ කිරීමෙන් ස්වභාවික ආහාරභෝග වන සතුන්ට අහිමිව ගොස් ඇති බවත් ඒ හෙයින් සතුන් ගම්වදින බවත් පරිසරවේදීන්ගේ අවසාන නිගමනයය. වන සතුන්ගේ ගහනය වැඩි වීමක් ගැන අඟවන අනෙක් පාර්ශ්වයන් අවධාරණය කරන්නේ එම තත්ත්වය බලධාරීන් විසින් යම්කිසි පාලනයකට යටත් කළ යුුතු බවකි.

රටේ හෙට දවසේ ආහාර නිෂ්පාදනයට ඍජුව බලපෑම්සහගත වන මෙම වන සත්වයින් ගොවිබිම් ආක්‍රමණ කිරීම කෙරේ ජාතික වශයෙන් අවධානය යොමු කරවිය යුතුය කාලයයි මේ. මන්දයත්, ඒ රටේ වාණිජ කෘෂිකර්මයටත්, ගමේ පවුලේ ගෙවත්තටත් වන සතුන්ගේ ආක්‍රමණය බරපතල තර්ජනයක් වී ඇති හෙයිනි.

මෙනයින්, ගොවීන් ගොවිතැන අතහැර දැමීමට අදිටන් කරගන්නා දිනය වැඩි ඈතක නොවේ. ඒ ඉතාමත් භයානක තීන්දුවට ගොවියා ළඟාවීමට මත්තෙන් වාදපිටියෙන් ඔබ්බට ගිය පොදු වැඩපිළිවෙලක් ඒ සඳහා අවශ්‍යමය.

පාරිසරික ගරුත්වය කෙරේ අපගේ අවධානය යොමු කිරීම මෙහිදී වටින්නේය. නමුත් වන සත්ව වරණය කිරීමක් ස්වාභාවිකව හෝ කෘතීමව කඩිනමින් සිදුකළ යුත්තේ රටේ ආර්ථිකයේ ජීවනාලිය වන් ගොවිතැන ඊළඟ පරම්පරාවටත් උරුමකර දීම වෙනුවෙන්ය.

මානවයාගේ හෙට දවස රැකෙන්නටනම්, ආහාර පිළිබඳ සුරක්ෂිතතාව ද ආහාර සෛවරීත්වයද පිළිබඳ විශ්වාසය අවශ්‍යමය. ඒ අනුව, ජාතික කෘෂිකර්මික ප්‍රතිපත්තියට පාරිසරික ගරුත්වය ඇතුළත් විය යුතුය. ආහාර නිෂ්පාදන ජාතික සංග්‍රාමය එළැඹෙන නව වසරේ නිමිත්ත වන අපේ රටේ, ගොවිතැනට වින කටින “වන සතුන්ගේ ගොවිබිම් ආක්‍රමණයන්” ගැන ජාතික වැඩපිළිවෙළක් කඩිනමින් අවශ්‍යයය. ඒ සඳහා පරිසරවේදීන්ගේ , වනසත්වවේදීන්ගේ සහ බලධාරීන්ගේ සමාගමයක් රටවැසියාගේ හෙට දවසේ ජීවත්වීම වෙනුවෙන් ඇතිවිය යුතුය.

පවිත්‍රා රූපසිංහ

Comments