
ලෝකයේ සියලු රටවල් මුහුණ පා ඇති පොදු ගෝලීය ගැටලුවක් නම් ශීඝ්‍රයෙන් වැඩි වන ජනගහනයට අවශ්‍ය ආහාර නිෂ්පාදනය ඉහළ නැංවීමය.දැනට පවත්නා වගා ක්‍රම වලට අමතරව ඉහළ ගුණාත්මයෙන් යුක්ත වැඩි අස්වැන්නක් ලබා දෙන පරිසර හිතකාමී නව වගා ක්රමවේදයන්ගේ කාලීන අවශ්‍යතාවයක් පවති.එහෙත් මේ වගා කටයුතු සඳහා බලපෑම් ඇති කරන ප්‍රධාන සීමාකාරි සාධකයක් වනුයේ වගා කරන පසය.ශාකයක පැවැත්මට අවශ්‍ය පෝෂක හා ජලය ප්‍රධාන වශයෙන්ම ලැබෙනුයේ පසෙනි.එහෙත් වර්තමානයේ මිනිස් ක්‍රියාකාරකම් හා අහිතකර කාලගුණික විපර්යාසයන් හමුවේ බොහෝ ප්‍රදේශයන්හී ඇත්තේ වගාවට නුසුදුසු නිසරු පාංශු තත්ත්වයන් ය.මෙවැනි බිම් වල වගා කරන භෝගයන්ගෙන් අපේක්ෂිත අස්වැන්න කිසි විටක නොලැබේ.
නූතන ලෝකයේ මෙයට කදිම විසඳුමක් ලෙස ජලරෝපිත වගාව (Hydroponics) හෙවත් පස් රහිත වගාව හඳුන්වා දිය හැකිය.මෙහි ආරම්භක කාල වකවානු වලදී පස් වෙනුවට පෝෂක අඩංගු ජලීය මාධ්‍යයේ වගා කටයුතු සිදු කරන ලද හෙයින් එය ජලරෝපිත වගාව ලෙස හැඳින්විය.එහෙත් වර්තමානයේ පස් වෙනුවට වෙනත් ඝන මාධ්‍යයේ මෙන්ම වායව මාධ්‍යයේද වගා කටයුතු සිදු කෙරේ.ජල රෝපිත වගාව වර්තමානයේ විවිධ ක්‍රමවේදයන් ඔස්සේ නව මුහුණුවරකින් සමාජගත වුවද එහි ආරම්භයට ඇත්තේ ඉතා දිගු ඉතිහාසයකි.ලෝක ආකර්ෂණය දිනා ගත් ශත වර්ෂ ගණනාවකට ඉහත නිර්මාණය කල බැබිලෝනියානු එල්ලෙන උයන මේ මූලධර්ම ඔස්සේ ගොඩ නගන ලද්දක් බවට විශ්වාස කෙරේ.කෙසේ නමුත් වර්තමාන කෘෂි පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස නූතන ලෝකයට වඩාත් ගැලපෙන විවිධ ජලරෝපිත හෙවත් පස් රහිත වගා ක්‍රම හඳුන්වා දී ඇත.
පස් රහිත වගාවකට යොමු වීමෙන් වගා කරුවන්ට අත්වන වාසි රැසකි.මෙය මහා පරිමාණ වාණිජ වගාවක් ලෙස මෙන්ම නිවසේ පරිභෝජන අවශ්‍යතාවය සඳහා නාගරික තට්ටු නිවාසයක සීමිත ඉඩකඩක සුළු පරිමාණයෙන්ද සාර්ථකව පවත්වා ගෙන යා හැකිය. සාමාන්‍යයෙන් වගාවක් නඩත්තු කිරිමට අවශ්‍ය වන කම්කරු ශ්රමයට වඩා අඩු ශ්‍රමයක් මේ සඳහා වැය වේ.මන්ද මෙහිදී පාත්ති සැකසීම ,ජල සම්පාදනය ආදී පිළිවෙත් අවශ්‍ය නොවන හෙයිනි.නිසි පාලන ක්‍රම යටතේ ඉහළ අස්වැන්නක් කෙටි කාලයකදී ලබා ගත හැකිය.වගාවට හානි ඇති කරන පාංශු ජනක ක්ෂූද්‍ර ජීවි රෝග වලින් තොර සරු ඵලදාවක් ලබා ගැනීමේ අවකාශය මෙයින් හිමිවේ .වෙළෙඳපොළේ මෙවන් නිෂ්පාදනවලට ඇත්තේ ඉහළ ඉල්ලුමකි .එපමණක් නොව මෙවැනි වගා ක්‍රම තරුණ පරපුරද කෘෂිකාර්මික කටයුතු සඳහා ආකර්ෂණය කරවයි.
පස් රහිත වගා ක්‍රම යටතේ සීමිත භෝග වර්ග කිහිපයක් නොව බෝග වර්ග රාශියක් වගා කළ හැකි වීම මෙහි ඇති තවත් එක් වාසියකි.තක්කාලි ,රාබු ,බෝංචි ,බීට්,දඹල ,ගෝවා,මාළු මිරිස් , සලාද ,කංකුං,ගොටුකොළ ස්ට්‍රෝබෙරි ,පැණි කොමඩු වැනි එළවළු පලතුරු මෙන්ම බඩ ඉරිඟු,වී ,සෝගම් ආදී ධාන්‍යද වගා කළ හැකිය.තවද තම ගෙවත්ත අලංකාර කිරීමට කානේෂන් ,ඕකිඩ් ,ජර්බරා,ඇන්තූරියම් ආදි මල් පැළ ද පස් රහිතව වගා කළ හැකිය.ගෘහණියන්ට මෙය ආරම්භයේදී තම විනෝදාංශයක් ලෙස ඇරැඹිය හැකි අතර පසුව ස්වයං රැකියාවක් ලෙස අමතර ආදායමක්ද උපයා ගත හැකි වේ.
පස් රහිත සාර්ථක වගා ක්‍රම රැසක් ලොව පුරා දක්නට ඇත.පස් වෙනුවට ආදේශකයක් ලෙස වෙනත් ඝන මාධ්‍ය තුළ වගාව (Aggregate system) , පෝෂක ද්‍රව්‍යය අඩංගු ජලීය ද්‍රාවණයන්හී වගාව (Liquid hydroponics) මෙන්ම වායව රෝපිත වගාව (Aeroponics) ලෙස ප්‍රධාන ආකාර තුනක් දක්නට ඇත .මෙම ආකාර යටතේ තවත් උප ප්‍රධාන ක්‍රම රාශියකට වගා කළ හැකිය.එහෙත් සුදුසු වගා ක්‍රමය තේරීමේදී තමා සතු සම්පත් ප්‍රමාණය හා ප්රාග්ධනය මෙන්ම වගාව සඳහා යෙදවිය හැකි ඉඩකඩ ප්‍රමාණය පිළිබඳව සැලකිලිමත් වීම වැදගත් වේ.
විවිධ පස් රහිත වගා ක්‍රම පිළිබඳව වැඩි විස්තර
ඉදිරි සති වලදී බලාපොරොත්තු වන්න…
පූජනී