
• උපන් දිනය?
1943 සැප්තැම්බර් 2
• උපන්ගම?
කඩුගන්නාව
• උප්පැන්නයේ නම?
වීරතුංගගේ එඩ්මන් විජේසිරි
• දෙමව්පියෝ?
ඩබ්ලිව්.ඩී. විජේසිරි පියා. කර්ලැයින් පෙරේරා සුබසිංහ මව
• සහෝදර සහෝදරියෝ?
හය දෙනයි. පිරිමි පහයි. එක අක්කයි.
• මුලින් ම අකුරු කළේ?
නුගේගොඩ අනුලා විදුහලේ
• කන්ද උඩරට උපදින ඔබ කොහොමද කොළඹ පාසල් ගමන අරඹන්නේ?
තාත්තගේ රැකියාවේ කොළඹට ස්ථාන මාරුවක් ලැබුණා. ඒ දෙවන ලෝක යුද්ධයෙන් පසු කාලයයි.
• ඉන් පසුව?
අනුලා විදුහලෙන් ඉවත්වෙලා පස්වැනි ශ්‍රේණිය දක්වා වැල්ලවත්තේ ශ්‍රී ලංකාධාර බාලිකා විදුහලට ගියා.
• උසස් අධ්‍යාපනය ලබන්නේ?
දෙහිවල මධ්‍ය මහ විද්‍යාලයෙන්
• එහිදී ඔබ විශ්ව විද්‍යාලයට ඇතුළු වෙනවා?
නෑ! මා විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලැබුවත් විශ්වවිද්‍යාලයට ඇතුළු වන්නේ නෑ.
• ඇයි?
ගෙදරට තවදුරටත් බරක් විය යුතු නෑ කියා සිතුවා.
• ඉතිං?
මහජන බැංකුවේ කුරුණෑගල ශාඛාවේ රැකියාවක් ලබා ගත්තා. ඒ 1962 වසරේ.
• කුරුණෑගල නතර වුණා?
නෑ! වසරක් එහි සේවය කැර අයින් වුණා.
• හේතුව?
කොළඹට මාරුවක් හදා ගන්න බැරිව ගිය නිසා.
• දැන් රැකියා විරහිත තරුණයෙක්?
නෑ! ඒ සමඟ ම කොළඹ මහ බැංකුවේ රැකියාව ලැබෙනවා. බැංකු රැකියාවන් මට ලබා දීමට කටයුතු කළේ මගේ අක්කගෙ මහත්තයයි.
• දැන් මා ප්‍රස්තුතයට එන්න කැමැතියි.
මොකක්ද ඒ.
• ඔබ කලා ක්ෂේත්රයට සම්ප්රාප්තවීම?
ආ... ඒ පාසල් වියේදීමයි සිදුවුණේ.
• දැන ගන්න කැමතියි?
මා විශ්ව විද්‍යාල ප්‍රවේශ පන්තියේ සිටියදී හිටපු විභාග කොමසාරිස්වරයෙක් නාට්‍ය දෙකක් කළා. .
• මොනවද ඒ?
‘අශෝක මාලා’ හා ‘කුඩු කෑ විත්තිය’ කියලා. මා එම නාට්‍යවල රඟපෑවා. ඒ 1960 වසරෙයි. වේදිකාගත කළේ ලුම්බිණියෙයි.
• හරි ඔය පාසල් අවධියෙන් ඔබ රැකියාවට ගියාට පසු?
ලූෂන් බුලත්සිංහලයන්ගේ ‘නොනිවෙන ගිනි’ නාට්‍යයට සම්බන්ධ වෙනවා.
• ඒ කොහෝමද?
ලූෂනුත් මාත් පාසලේ එකම පන්තියේ සගයින්. ආ ඔබට තවත් දෙයක් කිව යුතුයි. අශෝක මාලා නාට්‍යයේ මා තිස්ස කුමරු ලෙසත් ලූෂන් සාලිය කුමරු ලෙසත් පාසල් වියේදි රඟපෑවා.
• පාසල් වියේදිම රංගනයට පැමිණීමට තරම් සමත් කමක් ලැබෙන්න ගෙදර පරිසරය බලපාන්න ඇති?
ඔව්! මගේ තාත්ත, අක්කා සහ පුංචි අයියා කඩුගන්නාවෙ ඉද්දි ගමේ නාට්‍යවල රඟපානවා. එහෙත් ඒ අය දීර්ඝ කාලීනව ඒවා කරගෙන ගියේ නෑ.
• දැන් ඔබ වේදිකාවට ගොඩවෙලා අවුරුදු 58ක්.
ඔව්! මුලින් ම වේදිකාවට ගොඩ වුණේ මා ඔබට කලින් කිව්ව වගේ 1960.
• ඔබගේ ඔය දීර්ඝ කාලීන රංගන ජීවිතයේ ස්වර්ණමය කඩඉම ‘සමුද්‍රදේවි’ නාට්‍යයේ පෘතුගීසී සෙන්පතියකු ලෙස ගෝවේ ගෑනු පරාදයි ගීතය ගයමින් කළ රංගනය යැයි මා කිව්වොත්?
ඔව්! මා එය පිළිගන්නවා.
• ඔබේ ඒ රංගනය මා මුලින්ම දුටුවේ පාසල් සිසුවකුව සිටියදීයි. මා එකල සිතුවේ ඔබ ඇත්තෙන් ම පෘතුගීසි කාරයකු කියා.
ඔව්! මා ළඟ එයට පිළිතුරක් තිබෙනවා.
• කියන්න?
මා එහි රඟපෑවේ පෘතුගීසි බස මෙන් ම ඔවුන්ගේ සංස්කෘතිය හොඳින් හැදෑරීමෙන් පසුවයි. මා එය උගත්තේ ඒ පිළිබඳ හසල දැනුමක් තිබූ කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය එම්.එච්. ගුණතිලක මහතාගෙන්.
• ඔබේ ඒ රංග කාර්යය පිළිබඳ ආවර්ජනය කළොත්?
මා එහි කළේ ‘ඩියාගෝ ඩිආර්ජෝ’ කියන සෙන්පතියගේ චරිතයයි. මේ සෙන්පතියා ‘සමුද්‍රදේවි’ කුමරියට පෙම් බඳිනවා.
• ඉතිං?
මේ සෙන්පතියා ප්‍රේමය ප්‍රකාශ කරලා කුමරියට හසුන් පතක් යවනවා. ඒ හසුන්පත යැවීමේ උද්දාමයෙන් තමයි ගෝවේ ගෑනු පරාදයි කියන ගීතය ගයමින් නටන්නේ. සමුද්‍රදේවිය ඉතාමත් රූමත් ස්ත්‍රියක්.
• මේ ගීතය සංගීතවත් කළේ කවුද?
සංගීතවේදී ෂෙල්ටන් ප්‍රේමරත්න මහතා
• සුදු ජාතික චරිත රංගනය සඳහා ඔබ සුවිශේෂියි කියා මා කිව්වොත්?
තවමත් මුවන්පැලැස්ස නාට්‍යයේ සුදුජාතික චරිතයක් ඇතුළත් වුණොත් එයට හඬ දෙන්නට ආරාධනය කරන්නේ මට.
• ශ්‍රී වික්‍රම නාට්‍යයෙත්?
ඔව්! ශ්‍රී වික්‍රම නාට්‍යයේ විවේකයට පෙර මා ආණ්ඩුකාර නෝත්. විවේකයට පසු ආණ්ඩුකාර බ්රවුන්ඩ්රින්.
• රංගන චාරිකාවේදි රසවත් එමට ඇති?
අපෝ....! ඔව්
* එකක් කියන්න?
වේදිකාවේ එක් අවස්ථාවක කුවින්ටස් වීරකෝන් මට පිස්තෝලයකින් වෙඩි තියන ජවනිකාවක් තිබුණා. කුවින්ටස් මට වෙඩි තිබ්බා. ඒත් වේදිකාව පිටුපස සිටි කෙනා වෙඩිල්ලක් පත්තු කළේ නෑ,
• ඉතිං?
ඩෝන් කියලා ශබ්දයක් එන්න එපායැ දැන් ශබ්දය නෑ. කුවින්ටස් කරපු වැඩේ පිස්තෝලය ඉනේ ගහගෙන කිව්වා මා තෝව මරන්නේ වෙඩි තියලා නොවෙයි. කඩුවෙන් ඇනලා කියලා කඩුවෙන් මට අනිනවත් එක්ක ම වේදිකාව පසුපසින් ඩෝං... කියල වෙඩිල්ල පත්තු වුණා. එතකොට පිස්තෝලෙ තිබුණේ කුවින්ටස්ගේ ඉනේ.
• මේ දිනවල ඔබේ නිර්මාණ දායකත්වය දැන ගන්න කැමැතියි?
මානෙල් වානගුරුගේ ‘ස්ටෙලා සෙට්වෙලා’ උපුල් පෙරේරාගේ ‘විහාරමහ දේවි වීරකුමරිය’ නාලන් මෙන්ඩිස්ගේ ‘සල් සපුනා’ ශ්‍රියානි අමරසේනගේ ‘පාද යාත්‍රා’ ආදි නිර්මාණවලට දායකත්වය දී තිබෙනවා.
• පනස් අට වසරක රංගන චාරිකාවේ ඔබ දායකත්වය ලබා දී ඇති නිර්මාණ සංඛ්‍යාව?
වේදිකා නාට්‍ය සියයකට වැඩියි. චිත්‍රපට තිස්පහක් පමණ. ටෙලි නාට්‍යයත් සියයකට වැඩියි.
• ඔබ රජයේ සේවයේ යෙදී සිටියදීයි මෙතරම් නිර්මාණ සංඛ්‍යාවකට දායකත්වය දෙන්නේ?
ඔව්! මා කාලය මැනවින් කළමනාකරණය කරමින් කටයුතු කළා. කිසි දින මා වැටුප් රහිත නිවාඩු ගිහින් නෑ!
• ඔබට ඔබේ ම නිර්මාණයක් කිරීමට සිතුණේ නැතිද?
නෑ! මට ඒ සඳහා වේලාවක් සොයා ගැනීමේ අපහසුව තිබුණා.
• ඔබේ ග්රන්ථකරණය ගැන සඳහන් කළොත්?
කෙටිකතා පොත් තුනක් සහ එක් කාව්‍යය සංග්‍රහයක් නිකුත් කැර තිබෙනවා. ඊට අමතරව පුවත්පත්වලට ලියනවා.
• අද නාට්‍යය ගැන ඔබේ අදහස?
අද නාට්‍යවල ජීවිත අත්දැකීම් නෑ. සරල බොලඳ දේ නාට්‍යය විදිහට කරනවා. දෙපිට කැපෙන දෙබස්වලින් ප්‍රේක්ෂක මනස වල්මත් කරනවා.
• හරවත් නිර්මාණවලින් වේදිකාව හීන වෙලා?
ඔව්! එදා ප්‍රේක්ෂකාගාරයට ගිය මිනිසා නොවෙයි එළියට එන්නේ. ජීවිතයට බොහෝ දේවල් එකතු කර ගත් අලුත් ම මිනිසෙක්. ඒත් අද! ප්‍රේක්ෂකාගාරයෙන් පිටව යන්නේ එසේ අලුත් මිනිසෙක් ද?
• ඔබ කියන්නේ වේදිකාවට හොඳ නිර්මාණකරුවන් නැති ම කියාද?
නෑ! කීප දෙනකු ඉන්නවා රාජිත දිසානායක සුගත් සමරකෝන් වගේ අය.
• ටෙලි නාට්‍යය ගැන කතා කළොත්?
එයත් එහේමයි! කේ.බී. හේරත් සෝමවීර සේනානායක වැනි රචකයින් කීප දෙනකුගේ ටෙලි නාට්‍ය රචනා ඇරුණම මොනවද අපේ රටේ තිබෙන ටෙලි නාට්‍යය.
• ඔබ ටෙලි නාට්‍යය බලන්නේ නෑ?
අපෝ නෑ! එවැනි බොලඳ දේ වෙනුවෙන් වැය කරන්න තරම් කාලයක් මට නෑ!
• නිවාඩු පාඩු වෙලාවට ඔබ මොනවද කරන්නේ?
කවි, කෙටිකතා ලියනවා. පොත්පත් කියවනවා. විශේෂයෙන් සිළුමිණේ ‘සත්මඬල’ වැනි විශේෂාංග කියනවා.
• ඔබේ කලා ජීවිතයේ ඔබ අනුදත් පිළිවෙත?
නිර්මාණකරුවා තුළ ස්වයං වාරණයක් තිබිය යුතුයි. රසිකයින්ගේ සමච්චලයට ලක් විය යුතු නෑ. මා මගේ කලා ජීවිතය තුළ ඒ ස්වයංවාරණය පනවා ගත්තා. රසිකයා ප්රබුද්ධත්වයට පත් කිරීම නිර්මාණ කරුවකුගේ කාර්ය විය යුතුයි.
• අද එසේ නොවන නිර්මාණ හා නිර්මාණකරුවන් බිහිවෙලා?
ඔව්! ප්‍රකට නාට්යකු බර්ටෝල්ට් බ්‍රේෂ්ට් කිව්වේ සත්‍යයට, මිනිස්වර්ගයාට හා සෙන්දර්යට සේවය කිරීමයි නිර්මාණකරුවකුගේ කාර්ය විය යුත්තේ කියලා. අද බොහෝවිට නොවන්නෙත් ඒකමයි.
• ඔබේ පෞද්ගලික තොරතුරු ටිකක් දැන ගන්න කැමතියි?
මා විවාහ වී සිටින්නේ ශ්‍රියා පෙරේරා සමඟයි. ඇය අලෙවි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සේවය කළා. මේ වර්ෂයේ මැයි 16 ට අප විවාහ වී වසර 50 යි.
• ඇගේ ගම?
කිරුළපන
* ආදර සම්බන්ධයක්?
මා කුඩා අවධියේ ගිය පාසලටයි ඇයත් ගියේ. පසුව මා බැංකුවේ සේවය කරද්දි ඇය මට හමු වුණා. මොකද අප දෙදෙනගේ ගෙවල් එක ප්‍රදේශයේ තිබුණේ.
• දරුවෝ?
අපට දුවයි පුතයි. දුව මහේෂිකා ජීවනි. පුතා දමිත නදුන්. දෙදෙනාම බැංකු මාණ්ඩලික නිලධාරින්.
• විවාහකයි?
දෙදෙනා ම විවාහකයි. දුවට පුතෙකුත් පුතාට දියණියන් ම තිදෙනෙකුත් සිටිනවා.