
හුළං ගෙදර
බෝඩිං කාරයෝ සාඩිං වාගේ
කාමරේ ඇතුළේ හිරවෙලා
පවුල රකින්නට වවුල්ලු වාගේ
රස්සාවල ඇත හිරවෙලා
මාසෙම කඹුරලා දාසයෝ වාගේ
ගන්නා පඩියත් මදිවෙලා
මීටර් කැරකී මෝටර් වාගේ
කුලිය ගෙවන්නෙත් ණයවෙලා
බෝඩිම බෝඩිම බෝඩිම බෝඩිම අප රකිනා බෝඩිම
බෝඩිම බෝඩිම බෝඩිම බෝඩිම අපිත් රකිමු බෝඩිම//
මොනවා රකින්නද බං මේ වගේ - එකදෙක පුපුරන හීන බැලුම් ඇත
බෝඩිම ඇතුළේ හිරවෙලා - දුකට ඇඩවුණු කඳුළු බිංදු ටික
බෝඩිමේ රස්නෙට වේලිලා - අඹුදරුවන් ගැන මතකය දැන් දැන් බෝඩිමේ දොර ළඟ නැවතිලා
ගහේ පොත්ත සේ ජිවන පොත්තක් - බෝඩිමේ බිත්තියේ හිරවෙලා
තනිය මකන්නට ගමරට පැත්තට - අමුත්තෝ එනවලු රෑ වෙලා
ඉඳහිට ගියදා ගේ දොර පැත්තේ - පල නොකියා බෙදනවා පලා
බෝඩිං තනිකම හොඳයි හිතාගෙන - හිටියත් කාමරේ ගුලිවෙලා
බෝඩිං කාමරේ අස්සෙන් අපිටත් - අත වනනවා දැන් නංගිලා
බෝඩිම බෝඩිම....
ගමේ ඉන්න කෙල්ලෝ, කොල්ලෝ භාගෙට භාගයක් අද ඉන්නෙ කොළඹ. ඒ ගොඩක් දෙනෙක් රැකියාවල් කරන්නේ කොළඹ නිසා. බෝඩිම් නිවාසවල ගෙවන ඔවුන්ගේ ජීවිතය දැන් වෙනනම ජීවන කොට්ඨාශයක් බවට පත්වෙලා.
මෙකී සමාජ පැතිකඩ පිළිබඳ ජයප්‍රකාශ් සිවගුරුදාසන් අධ්‍යක්ෂණය කළ අපූරු විකට ටෙලි නාට්‍යයක් තමයි හුළං ගෙදර. හුළං ගෙදර තේමා ගීය හැඩවෙන්නෙ රොඩ්නි වර්ණසූරියගේ හඬින්. ස්වාධීන රූපවාහිනියෙන් විකාශය වන මේ ටෙලි නාට්‍ය මාලාවේ තේමා ගේය පදවැල් සද්ධා මංගල සූරිය බණ්ඩාරගෙනි. තේමා ගීතයට පසුබ්ම් වුණේ කුමක්ද? මේ ඒ පිළිබඳ ඔහු අපට දැක්වූ අදහසයි.
“මා අතින් ලියවුණු වෙනස්ම විදිහේ තේමා ගීතයක් තමයි හුළං ගෙදර . අධ්‍යක්ෂකවරයාගේ අදහසට අනුව තමයි මා මෙවැන්නක් තේමා ගිතයකට නැගුවේ.
ඔබ අප කවුරුත් දන්නවා බොහෝ වෙලාවට නවාතැන් සඳහා බෝඩිං වල නතරවෙන්නේ පිටිසර පළාත්වලින් නගරයට එන අය. ඒ බෝඩිං ජීවිතය ඔවුන්ගේ ජීවිතය බවට පත්වෙනවා.
මෙය අද සමාජයේ අපට එතරම් නුහුරු නුපුරුදු දෙයක් නම් නෙවෙයි. බෝඩිං වල නතරවෙලා සිය වෘත්තීන් කරන ඇතැම් පිරිස් තම නිවෙස් බලා යන්නේ සති අන්තයේ. තවත් සමහරු මාසෙකට දින කිහිපයකින්. වැඩි කාලයක් ගෙවන්නේ බෝඩිම තුළ.
මාසයක් වැඩ කරලා ගන්න සුළු වැටුපකින් ගෙදරට කොටසකුත් , තමන්ගේ ආහාරවලට තවත් කොටසකුත් බෝඩිම් කුලියට ඉතිරිය වෙන් කළාම මාසික වැටුපේ ඉතිරියක් නෑ.
බලන්න බෝඩිංවල ඉන්න හැමෝම විවාහක අය නොවුනද විවාහක අය සිය බිරිඳ දරුවන් සමඟ එකට ඉන්නට ලැබෙන්නේ ඉතා සුළු වෙලාවයි. මෙවැනි වාතාවරණයක් තුළ ඇතැම් දවසට ගෙදර යනවිට සිය බිරියට දරුවන්ට ඔවුන් ආගන්තුක වගේ වෙලා. තවත් අවස්ථාවල සිය බිරියගේ සෙනෙහස වෙනතකට ගිහින්. කොළඹ බෝඩිමට සීමාවුණු ඔවුන්ගේ ජීවිතද සිය බිරියගේ සෙනෙහසින් ඈත්ව බෝඩිම් ජීව්තය තුළවූ නව කෙනෙකු වෙතයොමුවෙලා.
ඉතින් මට මෙයින් අවශ්‍ය වුණේ සමාජය උපහාසට විවේචනයට ලක්කිරීම නොවෙයි. නමුදු එවැනි සමාජ සංසිද්ධීන් අද අපට දක්නට ලැබෙනවා. ‘හුළං ගෙදර ‘ තේමා ගීතයෙන් ප්‍රේක්ෂක ඔබට මට කීමට අවශ්‍ය වුණේ එයයි.