
පන්සාලිස් වසරක් සපුරන සිවු කුළුදුල් නිර්මාණය
සිනමාව,ටෙලි නාට්‍යය, වේදිකාව යන ත්‍රිවිධ මාධ්‍යයන්හි මෙන්ම ලේඛණයේ ද ප්‍රවීණයකු වූ සතිස්චන්ද්‍ර එදිරිසිංහයන්ගේ කලා දිවියේ සුවිශේෂී කඩඉමක් මේ වසරේ මේ මාසයේ දී සම්පූර්ණ වෙනවා. ඒ ඔහුගේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂණය වූ 'මාතර ආච්චි' චිත්‍රපටය නිසයි. එදා මෙන්ම අදත් ප්‍රේක්ෂකයින්ගේ අසීමිත ප්‍රතිචාර ලබන මේ සිනමා නිර්මාණය ඔස්සේ කලාවේ නව මං සොයා ගිය ප්‍රවීණයන් කිහිප දෙනෙක් ද වෙනවා. මේ හැමදේ ගැනම සතිස්චන්ද්‍ර එදිරිසිංහ අපිත් එක්ක කතා කළේ මේ විදිහට.
'1973 ජනවාරි 11 වෙනිදා තමයි මගේ කුළුදුල් සිනමා නිර්මාණය වූ 'මාතර ආච්චි' චිත්‍රපටය තිරගත කළේ. මේ වන විට එම චිත්‍රපට අධ්‍යක්ෂණයට වසර 45ක් සම්පූර්ණ වෙනවා වගේම මගේ සිනමා අධ්‍යක්ෂණයටත් වසර 45ක් වෙනවා. ඒ වගේම ආචාර්ය වික්ටර් රත්නායක සිනමා සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරන්නට පටන් ගෙන වසර 45ක් වෙනවා. ඔහුගේ ප්‍රථම සිනමා සංගීත අධ්‍යක්ෂණය වුණේ මාතර ආච්චි සිනමා පටයයි. සුනිල් එදිරිසිංහ සිනමා ගායකයෙක් ලෙස කටයුතු කරන්නට පටන් ගෙන වසර 45ක් වෙනවා. වොලී නානායක්කාරගේ පළමු සහ අවසන් ගීතය තමයි මෙහි අඩංගු වෙන්නේ. 'මාතර ආච්චි ' චිත්‍රපටය සිවු කුළුදුල් නිර්මාණයක් ලෙසයි මම දකින්නේ. මගේ පළමු සිනමා අධ්‍යක්ෂණයට වසර 45ක් සම්පූර්ණවීම මට ලොකු සතුටක්. ඒ වගේම නැවත චිත්‍රපටයක් නිර්මාණය කිරීමේ බලාපොරොත්තුවක් හිතේ පවතිනවා. එය ඉටු කරගන්නට තමයි බලාපොරොත්තුව.
මුතූට නිර්මාණ ගොඩයි
මුතූ තරංගා ලැබූ නව වසරේ අලුත්ම නිර්මාණ එකතුවකින් රසිකයන් අතරට එන්නට සූදානම් වන පුවතක් අපිට දැන ගන්නට ලැබුණා. ඒ ගැන අපි මුතූගෙන් විමසා බලන්නට කටයුතු කළා. 'මේ දවස්වල කලා කටයුතු කිහිපයකටම දායක වෙන්නට මට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ අතර ටෙලි නාට්‍යය දෙකක්ම තිබෙනවා. එක් ටෙලි නාට්‍යයක මම රඟපාන්නේ සැමියා නොමැතිකම නිසා හුදකලා වූ බිරියක ගේ චරිතයක්. මේ චරිතය ඔස්සේ එවන් කාන්තාවක් මුහුණපාන සමාජමය ගැටලු විග්‍රහ වෙනවා. ඒ වගේම මගේ දෙවන ගීතය ගායනා කළා. එයටත් රූප රචනා නිර්මාණය කරන්නමේ දිනවල කටයුතු කරමින් සිටිනවා. ඉදිරියේ දී මේ නිර්මාණ මගේ රසිකයනට දැක බලා ගන්නට ලැබේවි.
සිරි කුලරත්න සමුගෙන වසරයි
සිරිකුලරත්න යන නාමය සිංහල සිනමාවෙන් ඈත් කරන්න බැහැ. සිංහල සිනමාව වෙනුවෙන් මෙහෙවරක් කළ ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂවරයෙකු වුණු සිරිකුලරත්න සමුගෙන වසරක් සපිරුණා. ඒ පිළිබඳව ඔහුගේ පුත් ගැමුණු කුලරත්න අප වෙත ලිපියක් එවා තිබුණා. 'මගේ පියා මාධ්‍යවේදියකු ලෙසත් සිනමා අධ්‍යක්ෂවරයෙක් ලෙසත් කලාවට ලොකු සේවයක් කළා. ඔහු කළ සේවය පිළිබඳ තවමත් ඔහුගේ රසිකයන් , නළුනිළියන් කතාබහට ලක් කරනවා. ඒ ගැන ලොකු සතුටක් දැනෙනවා. තාත්තා අප අතරින් වියෝ වෙලා වසරක් ගත වෙන තැන ඔහුවෙනුවෙන් දානමය පුණ්‍ය කරමයක් වගේම මරණයට කැප වූ ගවයකු නිදහස් කරන්නට අපි කටයුතු කළා. මතු මතුත් ඔහු මගේම තාත්තා වී උපදින්නට කියා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔහුගේ සමකාලීනයන්වත් මේ මොහොතේ ආදරයෙන් මතක් කරනවා.