සුදුසුකමට තනතුරු ලද අගසවු වත | සිළුමිණ

සුදුසුකමට තනතුරු ලද අගසවු වත

දහම් සෙනෙවියෝ සද්ධර්මරත්නාවලී ප්‍රබන්ධයෙහි ආරම්භක කථා වස්තූන් සියල්ල යොදා ගත්හ. සාහිත්‍යයෙහි සමාජ කාර්ය භාරය මනාව අවබෝධ කළ යතිවර‍ෙයකු ලෙසින් ධර්මසේන තෙරණුවෝ ප්‍රකටයහ. අගසවු වත විමසන විට එයින් අපේක්ෂා කළ ප්‍රධාන කාරණා දෙකක් ඉස්මතු කෙරෙයි. පළමුවෙන් ළාමක විනෝදය බුද්ධිමතුනට විෂය නොවන බව පෙන්වා ‍දඹදෙණි සමාජයේ භික්ෂුන් වහන්සේ නිරතව සිටි අයෝග්‍ය ප්‍රතිපත්තීන්හි වරද පෙන්වා දීමත්, දෙවනුව සමාජයක තනතුරු ප්‍රදානය කිරීමේදී ඒවා සුදුසුම පුද්ගලයන් වෙතට ලැබීම අවධාරණය කොට දැක්වීමයි.

දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමබාහු රජුගේ අනුග්‍රහයෙන් දිඹුලාගල ආරණ්‍යයේ විසූ ධර්මධර විනයධර මහ තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් පිහිටුවූ දඹදෙණි කතිකාවත මූලිකව තත්කාලීන යුගයේ පිරිහී ගිය භික්ෂු සමාජය, ඉන් මුදවා ගැනීම උදෙසා කරන ලද සුවිසල් ප්‍රයත්නයකි. එහි සඳහන් ‘කාව්‍ය නාටකාදී ගර්හිත විද්‍යා නූගත යුතු නූගැන්විය යුතු’ යන වගන්තිය පෙන්වා දෙන්නේ භික්ෂු සමාජය ලාමක කලාවන්හි නිරතව සිටි බවයි. ඒවායේ ආදීනව ධර්මානුකූලව කියා පෑම ධර්මසේන යතිවරයාණන්ගේ අභිප්‍රාය වන්නට ඇත. එමෙන් ම මාඝගේ යුද්ධයෙන් පසු පිරිහී ගිය සමාජය තුළ මානව ධර්ම ශේෂ වන්නට ඉඩක් නැත. එහිදී සුදුස්සාට සුදුසු තැන නොලැබුණු ස්වභාවයක් අනිවාර්ය වේ. මේ බව පසක් කරලමින් ඊට එරෙහිව ධර්මානුකූල මතයක් ගොඩනැංවීම ද උන්වහන්සේට ඇවැසි වූවා සේය. ඒ වෙනුවෙන් අගසවු ව‍තේ සුවිශේෂී අවස්ථා පෙළ ගස්වමු.

කථාව අරඹන්නේ මෙසේ ය.

“තවද යහපත් අදහස් ඇති කෙනෙකුන් යහපත් අදහස් ඇති කෙනෙකුන් හා ම එක්වන නියාවත්, නපුරු අදහස් ඇත්තවුන් ආලෝකය හා අඳුර එක්වගත නොහෙන්නා සේ ගිනි හා දිය එක් නොවන්නා සේ එක්වගත නොහෙන නියාවත් දක්වනු පිණිස අගසවු වත දක්වමු.” මෙහි ප්‍රධාන වශයෙන් කතාකරුවා පළ කර සිටින්නේ සමාජයේ අත්‍යවශ්‍ය සංසිද්ධියකි. එනම් සත්පුරුෂයන් හැම විටම එක් වන බවයි. යහපත් අදහස් ඇත්තවුන්ගේ එක්වීම අගයයි. දුර්ජනයන්ගේ එක්වීම සිදු නොවිය යුත්තකි. ගිනි හා ජලය එක් කළ නොහැක්කා සේ, අඳුර හා එළිය එක් කළ නොහැක්කා සේ යන උපමා තුළින් එය තවදුරටත් ධ්වනිත කරයි‍.

කෙසේ ද යත් යනුවෙන් කථාව අරඹයි. බුදුන් උපදින්නටත් පෙර උපතිස්ස නම් බමුණුගම රූපසාරි බැමිණියටත්, කෝලිත නම් බමුණුගම මොග්ගලී නම් බැමිණියටත් දරු සම්පත් ලදහ. ඔවුහු මහ පිනැතියෝ ය‍. රූපසාරි බැමිණියගේ පුතු, රූපසාර, ගුණසාර, ධනසාර බැවින් ‍උපතිස්ස නම් විය. අනෙකා කෝලිත නම් වීය. දෙදෙනාම මහ නුවණැති බැවින් දත යුතු සකල ශිල්පාදිය ඉගෙන නිමව‍ූ ය. දෙදෙනා උයන්කෙළියට යන කල්හි රථ දහසක් පිරිවර ලෙස යයි.

මේ අතරෙහි රජගහ නුවර වර්ෂයක් පාසා කෙරෙන සැණකෙළියකි. එය ‘ගිරග්ග සමජ්ජ’ වෙයි. කතාකරුවා එය දක්වන්නේ මෙසේ ය. “බොහෝ දෙන රැස්ව බොහෝ කන බොන දෑ ඇතිව කරන උත්සවයක් හෙයින් දෝ නොහොත් පර්වත මුදුනට රැස්ව කළමනා ‍උත්සවයක් හෙයින් ගිරග්ග සමජ්ජ නම් කෙළි නළුවෙක් ඇත” යනුවෙනි. එය කෙළිනළුවකි. නැතහොත් නළුකෙළියකි. නළු නම් නාටකය. කෙළි නම් ක්‍රීඩා ය‍. ඒ අනුව නාටක ඇතුළු විනෝද ක්‍රීඩාවන් පිරි සැණකෙළියකි. කුමාරවරු දෙදෙනා මෙම කෙළිනළු නැරඹුවේ මෙසේ ය.

“එක්තැන්ව කෙළිනළු බලන්නාහු සතුටුව සිනාසුණු මනා තැන්හි සිනාසෙති. මුසුප්පු උවමනා තැනදී මුසුප්පු වෙති. දීමත් දුන මනා තැනදී දීමත් දෙති.” මෙසේ දින ගණනාවක් එක්ව විනෝද ව‍ූ කුමාරවරුන් දෙදෙනා හට කල්යාමේදී ගිරග්ග සමජ්ජය වෙතින් කිසිදු විනෝදයක් නොදැනුණි. සිනාවක් පවා නොපැමිණේ. වෙනත් කවරම හෝ භාවයක් ඇති නො‍ෙව්. තවත් කල් යද්දී මේ පිනවීම තුළ ඇති නිස්සාර බව දකී. සාරවත් දේ කවරක් ද එය ඇත්තේ කොහිදැයි සොයා යන්නට මෙම දෙදෙනා අදිටන් කර ගනිති. ඔවුන් කතිකා කළේ මෙසේ ය. “සබඳ පිනක් වඩනට නැති මේ කෙ‍ළිනළු බලා ප්‍රයෝජන නැත. මේ තෙමේ සසර දික් කරවතොත් මුත් සසර ලුහුඬු කරවා ලිය නොහෙයි.”

එබැවින් දෙදෙනා සසර ලුහුඬු කරවන්නට මග සොයා යන්නට සිතූහ. ඒ සඳහා සාරවත් මඟක් සොයා යද්දී සඤ්ජය නම් පිරිවැජියෙකු හමුවී මහණ බව ලදහ.

සඤ්ජය දත් සියල්ල උගත් මේ මිතුරන් දෙදෙනා එම තපසින් කිසිදු නිවනක් නොලද හැකි බව අවබෝධ කළහ. එය ධර්මසේන හිමියන් උපමාවකට නගන්නේ සාවුන්ගෙන් හං ලැබ්බ නොහැක්කා සේ දිඹුලෙන් මල් නොලැබ්බ හැක්කා සේ මුන්දැගෙන් ලද නො හැකි බවයි. අනතුරුව එයින් බැහැර වන දෙදෙනා සරු මඟක් හමු වන දරු දෙමගක යාමට තීන්දු කළේ ය. එවිට අස්සජී තෙරුන් උපතිස්සයන්ට හමුවන අතර දුටුමතින්ම පැහැදී පිළිසදර කථා කොට, තපස්වීන් වහන්ස ‍ඔබවහන්සේ ශරීර ශෝභාව යහපත, කොතැනක මහණක් ගෙන වසන්නේදැයි විමසීය. එවිට අස්සජී තෙරණුවෝ තථාගතයන් වහන්සේගේ ධර්මය කැටි කොට වදාළේ’ යෙ ධම්මා හේතුප්පභවා තෙසං හේතුං තථා ගතො ආහ” යන බුදුවදනිනි. එය ධර්මසේන හිමියන්ගේ විවරණයට හසුවන්නේ ‍තල්පත් පොල් පත් ආදිය නිසා තල්පැළ පොල් පැළ ආදිය පවත්නා සේ ද, නැවත තල් ගස් පොල් ගස් නිසා තල්පත් පොල් පත් ආදිය පවත්නා සේ දැයි යනුවෙනි. එය ඇසූ පමණින් ම උපතිස්ස පරිබ්‍රාජකයෝ සෝවාන් වූහ. එවිට උපතිස්ස ධර්මකාය දුටු මා ඒ බුදුන්ගේ රූපකායන් දුටමනා වේ දැයි කියා මාගේ තිලෝගුරු බුදුහු දැන් කොහිදැයි ඇසී ය. වේළුවනාරාමයෙහි යැයි පිළිවදන් සැපයිණ.

උපතිස්ස තම මිත්‍ර කෝලිත ද සොයා ගොස් මේ ධර්මය කියා දුන් විට ඔහු ද සෝවාන් විය. දෙදෙනාට සාර ධර්මය ලදහ. අනතුරුව බුදුන් හමුවට යන්නට තීන්දු කොට තම ගරු සඤ්ජය පිරිවැජියාට ද මේ ධර්මය වටහා දීම සඳහා ඔහු හමු වී යන්නට ආරාධනා කළහ. එවිට “තොපි යව මට නොයෙමි” යි කීය. නොයන්ට කාරණා විමස‍‍ූ විට සඤ්ජය කියූ වදන් කතාකරුවා ලියුවේ මෙසේය. “හෙම්බා මෙතෙක් දවස් එම ‍බොහෝ දෙනාට ඇදුරුව විසීමි. දැන් ගොසින් උන්ට අතවැසි වීම පමණ නම් ආදි සැළක්ව පියා පසුව සාළුවක් ව‍ූවා වැන්න. මා ගොස් උන්ට අත්බා වසන්නට ප්‍රසිද්ධව හුන් තරමට තරම් නොවෙයි” යනුවෙනි. සංජය රැගෙන යාම ව්‍යර්ථ වූ විට ඔවුන් දෙදෙනා බුදුන් හමුවට පැමිණියහ. එවිට බුදුහු “මහණෙනි තෙල එන දෙන්නා දුටු ද? තුලු මට අගසව් වෙතී” වදාළහ. ඔවුන් දෙදෙනා එහි භික්ඛු භාවයෙන් පැවිදි උපසම්පදාව ලදහ. සැරියුත් මුගලන් ලෙස බුදුන්ගේ අග්‍රශ්‍රාවකයන් දෙදෙනා වහන්සේ බවට ඔවුහු දෙදෙන පත්වූහ.

අනතුරුව බොහෝ දෙනා වහන්සේ තුළ කුකුසක් හට ගත්තේ මීට පෙර පැවිදි වූ පිරිස් සිටියදී පසුව පැමිණ පැවිදි වූ දෙදෙනාට අග තනතුරු පිරිනැමීම නුසුදුසු කමකට කරන ලද පත් කිරීමක් ලෙසිනි. එවිට බුදුරදුන් සැරියුත් මුගලන් දෙදෙනා වහන්සේගේ පුරාකෘත පුණ්‍ය මහිමයන් විවරණය කෙරෙන අතීත කථා පුවත් දේශනා කොට වදාරා “හෙම්බා මහණෙනි මේ මුන් දෙන්නා එකල පැතූ ලෙසට ය. මා උන් දෙන්නා මුහුණ බලා දුන් තනතුරක් නොවෙයි” යනුවෙන් අන්‍යයන්ගේ සැක දුරු කළහ‍. සඤ්ජයගේ නොපැමිණීම දැනගත් බුදුහිමියෝ බොරු හර සොයා නොගොස් සැබෑ හර සොයා යාමේ වැදගත්කම ද පෙන්වා වදාළහ.

Comments