පසන් ගේ ආල­ව­න්දනා එළි­දකී | සිළුමිණ

පසන් ගේ ආල­ව­න්දනා එළි­දකී

මහනුවරින් බිහි වූ තරුණ ගායන ශිල්පියකු වන පසන් චන්ද්‍රසේකර සිය තුන්වැනි ගීතය ‘ආලවන්දනා‘ නමින් පසුගිය දා එළි දැක්විණි.

මීට පෙර 2016 වසරේ දී ‘පොකුරු පොකුරු මල්‘ ගීතය එළිදක්වමින් ගී ලොවට පිවිසි පසන් වසරේ මුල් භාගයේ දී වලාකුළක් සේ ඇවිත් ගීතය රසිකයන්ට තිළිණ කළේය. ‘ආලවන්දනා‘ ගීතයේ පදරචනය ගාමිණි කරුණාරත්නගෙනි. සංගීතය විශාරද නිර්මල හේරත්ගෙනි. ‘ආලවන්දනා‘ සිඩී තැටියක් ලෙස ද නිකුත් වී තිබේ. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයේ ආදී ශිෂ්‍යයකු වන පසන් ඉදිරියේදී එක් වසරක් තුළදී ගීත 02 ක් එළිදැක්වීමට බලාපොරොත්තු වෙයි. ඔහුගේ ලිපිනය නො-80, රජවීදිය,මහනුවර.

තිලක් පුෂ්පකුමාර


දිවි රඟ මඩලෙන් බැස ගිය අදීශ කාංචන

කලා ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනාගේ හිත් දිනාගත් ආදරණීය සහෘර්ද කලාකරු අදීශ කාංචන පසුගිය සෙනසුරාදා අළුයම අපෙන් සමුගත්තේය.

1967 අප්‍රේල් මස 12 වන දින උපන් ඔහු ඉසිපතන විද්‍යාලයෙන් සිප්සතර හදාරා පාසල් වියේදීම කැපී පෙනෙන රගර් ක්‍රීඩකයෙකු, ශිෂ්‍ය භටයෙකු මෙන්ම විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ සමාජිකයෙකු ලෙද කටයුතු කර තිබේ. කලාශුරී විනී රන්වල ගේ ‘සයිලාසනය‘ වේදිකා නාට්‍යයෙන් කලා ලොවට පිවිසි අදීශ උත්ඨාන, බලරංග, දේශාධිපති, ප්ලැටූන් ඇතුළු වේදිකා නාට්‍යය රැසක රංගනයේ යෙදී තිබේ. ප්‍රනීත් ජයතිලක අධ්‍යක්ෂණය කළ ‘අපේම වැරදි, හිනා විනාඩිය, තවත් සාම කුමාරයෙක්, එක කඳුළු කතාවක්‘ යන නාට්‍යය වලද, සුමිත් ගල්හේන අධ්‍යක්ෂණය කළ සැඟවුණු අමුත්තෝ, රජවත්ත යන ටෙලිනාට්‍යය සහ සක්විති දඩයම චිත්‍රපටයේ ද රංගනයේ නියළී ඇත. මීට අමතරව ඉනෝකා සත්‍යාංගනී හා වසන්ත මොරගොඩ නිර්මාණය කළ වාර්තාමය වැඩසටහන් මෙන්ම ප්‍රචාරක දැන්වීම් රැසක ද රංගනයේ යෙදී ඇත. අතුල රන්සිරිලාල් යටතේ ජාතික රූපවාහිනියේ හඩ කැවීම් ශිල්පියකු සහ රන්සිරි මහතා අධ්‍යක්ෂණය කළ ‘කල්පාන්තේ කතාවක්,ඉසිදාසි, සිරි දළදාවත‘ යන නාට්‍යය වලද රංගනයෙන් දායක විය. ස.රි.ග.ම මාස්ටර් වේදිකා නාට්‍යය අධ්‍යක්ෂණය කරමින් අධ්‍යක්ෂවරයකු ලෙස ද කටයුතු කළේය. වේශ නිරූපන ශිල්පියෙක්, නිවේදකයෙක්, රංගන ශිල්පියෙක් හා අධ්‍යක්ෂකවරයකු වූ අදීශ කලාකරුවාට නිවන් සුව පතමු.


රුක්මණී දේවි සැමරුම් ගී ප්‍රසංගය හෙටයි

රුක්මණීදේවි අනුස්මරණ සංගමය වෙනුවෙන් එහි නිර්මාතෘ හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සංවිධානය කරන රුක්මණී දේවි සමරු ගී ප්‍රසංගය හෙට(15) පෙ.ව 10.00ට කොළඹ ටවර් රඟහලේදි නොමිලයේ පැවැත්වේ.ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විශේෂ ව්‍යාපෘති ඇමැති ආචාර්ය සරත් අමුණුගම මහතා සහ විශේෂ ආරාධිත අමුත්තා ලෙස දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය හේමකුමාර නානායක්කාර, සම්භාවනීය සහභාගිත්වය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සනත් වීරසුරිය, ටවර් හෝල් රඟහල අධ්‍යක්ෂ පාලන හා සංවර්ධන ලාල් රත්නවීර, සංස්කෘතික අධ්‍යක්ෂ අනුෂා ගෝකුල, ග්‍රන්ථ කතෘ සේනක ජයතිලක යන මහත්ම මහත්මීහු සහභාගි වෙති.

 


අස්වැන්න වැඩ අරඹයි

1971 වර්ෂයේදී රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලද ජයසේන ජයකොඩි ශූරීන්ගේ අස්වැන්න නවකතාව ටෙලි සිතුවමකට නැගේ. ඒ වෙනුවෙන් පැවැති මුහුරත් උළෙල කොළඹ කිංග්ස්බරි හෝටල් පරිශ්‍රයේදි පසුගියදා පැවැත්විණි. වන ජීවි හා බුද්ධශාසන ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා, උතුරු මැද පළාත් මහ ඇමැති පේෂල ජයරත්න, ජනාධිපති ලේකම් ඔස්ටීන් ප්‍රනාන්දු, ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් සේනක අබේගුණසේකර, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදි එඩ්වින් ආරියදාස යන මහත්වරු එහි ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගී වුහ. අස්වැන්න සඳහා සැම්සන් කුමාරගේ අධ්‍යක්ෂණයෙන්ද, අජිත් ගුණතිලක නිෂ්පාදනයෙන්ද එක්වෙයි. මෙහි රංගනයෙන් දායකවන ජගත් චමිල, නිල්මිණී තෙන්නකෝන්, පාලිත සිල්වා, ක්ලීටස් මෙන්ඩිස්, ඩබ්ලිව් ජයසිරි, ආනන්ද වික්‍රමගේ , සරත් චන්ද්‍රසිරි , කාංචන කොඩිතුවක්ක, ජනිත් වික්‍රමගේ, සනෝජා බිබිලේ,මුතූ තරංගා, ලක්ෂිකා ජයවර්ධන, රොෂානා ඔන්ඩච්චි, උපුල් වීරසිංහ, රියන්ස්ලි වීරරත්න, යසෝදා රසදුනි, සහ හඳුන්වාදෙන ළමා නළුවන්වන සචින් කුමාරගේ, ශෂීන්ද්‍ර කුමාරගේ,රංගනයෙන් දායකවෙති.

ඡායාරූප - නිශ්ශංක විජේරත්න

Comments