
ඉන්ද්‍රචාපගේ සමීප රූප අතරට ලංකාවේ නමගිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් එයාගෙ නෝනමහත්තයට නුවර එළියෙ ග්‍රෑන්ඩ් හෝටලයේදී ලක්ෂ 38 වියදම් කරල හදපු අතුරුපසක් කවන පින්තූරයක් හසුවෙනවා.මේ ප්‍රවෘත්තිය මුහුණු පොත පෝස්ට් එකකින් හෙළිදරව් වුණාට පස්සෙ ඒ පෝස්ට් එකට තිබුණු ප්‍රතිචාර කොමෙන්ටු ඉන්ද්‍රචාප කියෙව්වා සඳුදා දවල් වෙනකල්. සංචාරක ව්‍යාපාරේ ප්‍රවර්ධනය කියා කිව්වත් ඉන්ද්‍රචාපගෙ සමීප රූපයට එහෙම එකක් පෙනුණෙ ම නෑ. ඒත් අන්තර්ජාලයෙ ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙ මානව හිතවාදී ගතිගුණ මනාව පෙන්වන සැබෑ ක්‍රිකට් නායකයන්ගෙ සමාජ සත්කාර වැඩසටහන් කීපයක්ම ගැන තොරතුරු හසුවුණා ඉන්ද්‍රචාපගෙ සමීප රූපයට. මෙන්න ඒ කට්ටිය.
ඕස්ට්‍රේලියාවෙ හිටපු නායක ස්ටීව් වෝ කියන්නෙ පිහිටක් අවශ්‍ය අයට උදව් කරන්න බැරිනම් ඒක ක්‍රිකට් නොවේ කියල. ( If you don't help people who are in need,it's just not Cricket ) ඔහු ඕස්ට්‍රේලියානු නායකයා විදියට ක්‍රිකට් කණඩායමේ ජයග්‍රහණ වෙනුවෙන් කළ සේවයට වගේම ඔහුගේ සමාජ වගකීම් වැඩකටයුතු, පුණ්‍යාධාර ව්‍යාපෘති අගයමින් ‘2004 වර්ෂයේ ඕස්ට්‍රේලියානුවා‘ ලෙසත් නම් කරනවා. ඔහු විසින් ස්ථාපිත කළ ස්ටීව් වෝ පදනම දුප්පත් දරුවන්ගේ අධ්‍යාපන හා සෞඛ්‍ය සේවා වෙනුවෙන් පිහිටුවන ලද්දක්.
ඉන්දියාවේ තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස ප්‍රකට යුවරාජ් සිං ක්‍රීඩකයා පිළිකා රෝගයට ගොදුරුවීමෙන් අනතුරුව සුවය ලබාගත් පසු, යුවරාජ් සිං පදනම පිහිටුවා පිළිකා රෝගයට ගොදුරු වූ රෝගීන්ට පිහිටවනවා. ඔහු පවසන්නේ රෝගය කලින් හඳුනාගෙන ප්‍රතිකාර කිරීමෙන් රෝගයෙන් සුවය ලබන්නට හැකි බවත් තම පදනම රෝගීන්ට ඊට උපකාර කරන බවත්ය.
එංගලන්ත කණ්ඩායමේ සිටි විශිෂ්ට තුන් ඉරියව් ක්‍රීඩකයෙක් වූ ඉයන් බොතම් ද සමාජ සත්කාරය වෙනුවෙන් කැප වූ ක්‍රීඩකයෙක්. ඉයන් බොතම් බීෆි පුණ්‍යාධාර අරමුදල( බිෆී යනු ඉයන් ඇමතූ සුරතල් නමකි ) Ian Botham Beefy's Charity Fund පිහිටුවීමට යුරෝ මිලියන 12 ක් වෙන්කරනවා. ඒ පමණක් නොවෙයි, ලෝකය පුරා ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතරේ පුණ්‍යාධාර තරගාවලීන් ද සංවිධාන කර තියෙනවා. ටෝන්ටස් මිස්ග්රෝව් පාක් Tauntous Misgrovs Park රෝහලට තම පාදයේ ඇඟිල්ලක ආබාධයකට ප්‍රතිකාර ගන්න යන බොතම්ට වැරැදීමකින් ළමා වාට්ටුවක් හරහා යන්නට සිදුවෙනවා. එහිදී ඔහු සතියකට වඩා කාලයක් ජීවත්වීමට වාසනාව නැති දරුවන් දකිනවා. ලියුකේමියා, මොළයේ ඉදිමුම වැනි රෝග සඳහා අරමුදල් එක් කිරීමට පදනම කටයුතු කරනවා. 2004 දී බොතම් නයිට් පදවියකින් රජයෙන් පිදුම් ලබන්නේ ක්‍රීඩාවෙන් මෙන්ම සමාජ සත්කාර කටයුතුවලින් රටට කළ සේවය ඇගයීමක් ලෙස.
පාකිස්තානයට ලෝකශූරතාව ගෙන ආ විශිෂ්ටයා වන ඉම්රාන් කාන් විසින් පාකිස්තානයේ පළමු පිළිකා රෝහල පිහිටුවන්නේ තම මවගේ නමින්. ෂවුකට් කනුම් නම් මේ රෝහලින් සෞඛ්‍ය සේවා සඳහා 75% ක නොමිලේ ප්‍රතිකාර ලැබෙනවා.
පාකිස්තානයේම තවත් තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙස වාර්තා රැසක් හිමි ෂහිඩ් අෆ්රිඩි 2014 දී ෂහිඩ් අෆ්රිඩි පදනම පිහිටුවන්නේ පාකිස්තාන ජනතාවගේ මූලික සෞඛ්‍යය අවශ්‍යතා හා අධ්‍යාපනය වෙනුවෙනි. මාතෘ රෝහලක් මගින් නොමිලයේ ප්‍රතිකාර ලබා දීමත් පදනමේ කාර්යයක්.
රිකී පොන්ටිං සමාජ සත්කාරය වෙනුවෙන් ඉදිරිපත් වූ තවත් විශිෂ්ට ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයෙක්. 2003/2007 කාලයේ ක්‍රීඩා කළ පොන්ටිං ගේ පදනම මූලික වශයෙන් පිළිකා රෝගයෙන් පීඩා විඳි තරුණ හා ළමා කොටස් සඳහා පිහිටට පැමිණි පදනමක්.
ග්ලෙන් මැග්‍රාත් පදනම පිහිටුවා ඇත්තේ ඕස්ට්‍රේලියාවේ වේග පන්දු යවන්නෙක් ලෙස ප්රකටව සිටි මැග්‍රාත් , පිළිකා රෝගයෙන් මියගිය තම බිරීඳ ජැනීගේ නමින්. 2008 දී ඈ පියයුරු පිළිකාවකින් මිය ගිය ද ඇගේ මතකයෙහි ජීවත් වූ ග්ලෙන්, පියයුරු පිළිකාවෙන් පෙළෙන දහස් ගණන් කාන්තාවන්ගේ සුවසෙත උදෙසා තම අරමුදලින් උපකාර කළ බව කියැවෙනවා.
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ බ්‍රෙට් ලී තම පදනම පිහිටුවන්නේ දරුවන්ගේ ශක්‍යතා ඉදිරියට ගැනීමට සංගීතය බලවත් මෙවලමක්ය යන විශ්වාසයෙන්. ක්‍රිකට් හා සංගීතය අතර බැඳීමක් ඇතැයි විශ්වාස කළ බ්‍රෙට් ලී දරුවන්ට ආදරය කළ ඔවුන්ට උපකාර කිරීමට පදනමේ ආධාර යෙදවූ ක්‍රීඩකයෙක්.
පන්දු යැවීමේ ලෝක වාර්තාව සතු ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් 2000 දී පිහිට වූ යහපත සඳහා වූ පදනම මගින් දකුණේ සීනිගම ප්‍රදේශයේ ජනයාගේ අධ්‍යාපන,සෞඛ්‍ය,හා නිවාස ප්‍රශ්න සඳහා සෙත සැලසුණු බව ලාංකිකයන් දන්නා කරුණක්. මුරලි ගේ මේ සද්කාර්යයට, ශ්‍රී ලංකාවේ, ඕස්ට්‍රේලියාවේ හා එංගලන්තයේ ක්‍රීඩකයන්ගේ ද සහාය ලැබෙනවා.
සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට වඩා මෙවැනි සමාජ සත්කාර සඳහා කෝටිපති ශ්‍රීලාංකික ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නෙත් සිත් යොමුවන්නේ නම් එය ඔවුන් සැබෑ වීරයන් ලෙස ජනතාවගෙන් පිදුම් ලැබීමට සුදුස්සන් වනු නියතය.