සිනා කතා | සිළුමිණ

සිනා කතා

තෙල් දාන්නෙ කොහොමද?

“මේ බණ්ඩක්කා මීට වඩා ගොඩක් රහයි, හීනියට පෙති කපලා, තෙලෙන් බැදලා ගත්තා නං. ගෙදර තෙල් පොඩ්ඩක් වත් තිබුණෙ නැති හින්දයි මම මේ කිරි ටිකක් දාලා ඒක උයලා ගත්තෙ.” දිවා ආහාර ගනිමින් සිටි තම සැමියාගේ පිඟානට බණ්ඩක්කා ව්‍යංජනයෙන් ටිකක් බෙදමින් ශාන්ති කීවා ය.

“ඔයා මේ බණ කතා කරනවා. බණ්ඩක්කා බඳින්ඩ තෙල් කොහෙන් හොයන්ඩද හාමිනේ, මම මගෙ බයිසිකලේට තෙල් ටිකක් ගහගත්තෙ හන්දියේ ෂෙඩ් එක ළඟ දිග පෝලිමේ පැය කීයක් නං ලැගලද?” චන්ද්‍රසිරි කීවේ සරදම් සිනාවක් පාමිනි.

ඒවා ලාබයි

“අපේ නංගිලා ඒගොල්ලන්ගෙ ළමයි තුන් දෙනත් එක්ක නිවාඩුවට අපේ ගෙදර ඇවිත් යන්ඩ එනවයි කියල කෝල් කරලා කියපු හින්දනෙ මං ඔහේට කිව්වේ පොඩි එවුන්ට බොන්ඩ පැණි බීම බෝතලේකුත් ගේන්ඩයි කියල. කෝ! ඒක අමතක වුණාද?” අමිතා තම සැමියා කඩපොළෙන් ගෙනා මලු පිරික්සමින් විමසුවා ය.

“මට ඒක අමතක වුණේ නැහැ හාමිනේ. ඒත් පැණි බීම හුඟක් ගණන් ගිහින් තියෙන හින්දා මම ඒ තුන්දෙනාට බොන්ඩ බියර් ටින් තුනක් ගෙනාවා‍. ඒවා ලාබයි” කරුණාසේන කීවේ සිනාවක් දක්වමිනි.

විකට ජවනිකාවක් නෙමෙයිද?

“සාහිත්‍ය උත්සවයේදී ඒකෙ පෙන්නන්ඩ ඕනෙ කලාකාරයන්ගෙ නිර්මාණනෙ.‍ ඒ වෙනුවට ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ විකට ජවනිකාවක් පෙන්නුව එක නං ගැළපෙන්නෙ නැහැ. අනික ඒක පැය භාගයක් තිස්සෙ ඔහේ ඇදු‍ණනෙ.” සාහිත්‍ය උලෙළ නිමා වීමෙන් පසු තේ බොමින් සිටියදී බුහාරි, වි‍ෙජ්සිංහ දෙස බලා කීවේ ය.

“බලාගෙන ඉන්ඩ බැරි තරමට කම්මැලි වුණාට ඒක ඉදිරිපත් කරල තිබුණෙ කලාකාරයෝ කට්ටියක්. විජේසිංහ, බුහාරි නිවැරැදි කරවමින් කීවේ ය.

“හැබෑද? වයසක ගෑනු උදවිය ළමිස්සියෝ වගෙ වේදිකාවේ ඇඹරෙන කොට මට නං හිතුණෙම ඒක ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙ විකට ජවනිකාවක් කියලමයි” බුහාරි කීවේ ය.

ඒකත් ආපදාවක්

“හැබෑට චන්ද්‍රදාස ළමයෝ, උඹලගේ ගේ තියෙන්නෙ කන්ද උඩනෙ. ඉතින් උඹ මොකද මේ පසුගිය අවුරුද්ද අග ආපු ගංවතුරෙන් ආපදාවට පත්වුණු මිනිස්සුන්ට දෙන ආධාර මුදල් ගන්ඩ මේ පෝළිමට එකතු වුණේ?” මාගරට් නෝනා තමාට මඳක් ඔබ්බෙන් පෝළිමේ සිටින චන්ද්‍රදාස දෙස බලා විමසුවේ සාවඥ ස්වරයකිනි.

“ආපදා කිව්වම ඒක ගංවතුරට විතරක් සීමා කරන එක වැරැදියිනෙ මාගරට් අක්කෙ. මම කසාද බැන්දෙත් ඔය ගංවතුර ආපු කාලයෙදිම නොවැ. කසාදයක් කරගන්න එකත් සුළු පහේ ආපදාවක්ද?” චන්ද්‍රදාස කීවේ බැරෑරුම් හඬකිනි. 

Comments