අවු­රුදු නම­ය­කට පස්සේ මගේ ආද­රය සැබෑ වෙනවා | සිළුමිණ

අවු­රුදු නම­ය­කට පස්සේ මගේ ආද­රය සැබෑ වෙනවා

සිනමාව තුළ අපි වඩාත් දකින්න කැමැති නිළියන් අතර ඇය ඉන්නේ මුල්ම තැන කිව්වොත් නිවැරැදියි. ඒ තරමටම ප්‍රේක්ෂකයන් ඇද බැඳ තබා ගැනීමට ඇයට තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. ඇගේ නර්තනය ද ඊට දෙවැනි නැහැ. ඒ නිසාමයි ඇයට ප්‍රේක්ෂකයන් ආදරේට 'Dancing Queen' කියලා කතා කරන්නේ. මේ වෙනින් කවුරුත් නොවේ අනුෂා දමයන්ති නම් වූ හැඩකාරියයි. අද රසඳුන තුන්වැනි පිටුව හැඩ කරන්නේ ඇයයි.

 දැන් විවාහයට සුදානම් ද?

විවාහය කියන එක මට දැනුණේම නැති දෙයක්. මම නිදහස ගරු කරන කෙනෙක්. කොහොම වුණත් මේ අවුරුද්දේ නම් විවාහ වෙනවා. දැන් ඒකට සුදානම් වෙනවා.

අපිට ආරංචි වුණු හැටියට නම් අනුෂාගේ හිත සොරාගෙන තියෙන්නේ ව්‍යාපාරිකයෙක්.

ඒ කතාව ඇත්ත. එයා ව්‍යාපාර ක්ෂේත්‍රයට සම්බන්ධයි. ඒත් කාලයක් එයා කලාවට සම්බන්ධ වෙලා හිටියා. දැන් නම් කලාකටයුතු වලින් ඈත් වෙලා.

ඔයාලගේ ආදර කතාවට කොච්චර කාලයක් වෙනවද?

ඒ ආදරේ......ට... ඇත්තම කිව්වොත් අවුරුදු 9 ක්. ඒ ආදරේ මං දිහා බලාගෙන හිටියා. ඉතින් මේ අවුරුද්දේදී ඒ කියන්නේ අවුරුදු නමයකට පස්සේ ඒ ආදරේ සැබෑ වෙනවා.

අනුෂා එක පාරට ඔහුට කැමැත්ත දුන්නද?

අයියෝ නෑ . කාලයක් ගිහිල්ලා හම්බවුණු කැමැත්තක්.

හිත දිනාගත් ආදරවන්තයා මුණගැසුනේ කොහොමද?

එයා මගේ ආදරවන්තයා වීම ලස්සන කතාවක්. එයා මගේ රසිකයෙක්. රසිකයෙක් හැටියට තමා මට මුලින්ම කතා කළේ. ඉතින් කතා කළාට පස්සේ ඒ කතා කරන විදිය, අහපු ප්‍රශ්න ඒවා ටිකක් අමුතුයි කියලා මට තේරුණා. ඊට පස්සේ අපි දෙන්න දිගටම කතා කළා. පසුකාලීනව ඒක ආදරයකට පෙරළුණා. එයා ඇත්තටම ගොඩක් හොඳ මානුෂික කෙනෙක්. ආදරණීය කෙනෙක්. වැදගත් කෙනෙක්. ගැහැනු ළමයකුට කැමැති වෙන්න ඕන හැම ලක්ෂණයක්ම එයා ළඟ තිබුණා. ඒ වගේ කෙනෙක් ලබන්නත් වාසනාව තියෙන්න ඕන. ඒ හැමදේම හරි ගියා. මම වාසනාවන්තයි.

නර්තනය වෙනුවෙන් කැපවෙන ඔබ තමන්ගේම ප්‍රසංගයක් නැත්නම් නර්තනායතනයක් පවත්වන්න අදහසක් නැද්ද?

ඔය දෙකම කාලෙක ඉඳන් තිබුණු මගේ බලාපොරොත්තු දෙකක්. ඒකට වැඩකටයුතු සුදානම් කරගන්න ඕන ඉතින්. හැමදේකටම වෙලාවක් තියෙනවා වගේම වෙලාවක් එයි කියලා විශ්වාස කරනවා. ඒක හෙමිහිට සිදුවේවි.

ප්‍රේක්ෂකයන් ආදරේට අනුෂාට කතා කරන්නේ 'Dancing Queen' කියලා.

මාව දැක්කහම හැමෝටම මතක් වෙන්නේ මගේ dancing පැත්ත. ඒ හැමෝම මගේ නර්තනයට ගොඩක් ආසා කරනවා. ඒ නිසයි මාව Dancing Queen කියලා හඳුන්වන්නේ. මගේ රංගනයට කැමැති අය මගේ නර්තනයටත් කැමැතියි. මාව ඒ දෙකෙන්ම අමතනවට මම කැමැතියි. මාත් එක්ක ගොඩක් අය එකතු වුණේ මගේ නර්තනය නිසා. මම සිනමාවට එන්නෙත් නර්තනය නිසා. නර්තනයෙන් තමා මට ජිවිතේ හැම දෙයක්ම ලැබුණේ. නර්තනය, රංගනය කියන්නේ මගේ ජිවිතේ ඇස් දෙක වගේ, මම හරි ආදරෙයි.

ටෙලිනාට්‍ය සහ සිනමාව අතරින් ඔබ වැඩි තැනක් දීලා තිබෙන්නේ සිනමාවට. ඒ ඇයි?

ඔව්. අනිවාර්යෙන්ම. මම සිනමාවෙන් නේ ආවේ. මෑතක් වෙනතුරුම මම සිනමාවේ තමා වැඩි දායකත්වයක් ලබා දීලා තියෙන්නේ. මම ටෙලි නාට්‍ය වලට ආවේ හරිම අඩුවෙන්. ආවේ නැති තරම්. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ දේට යනවා කියන අදහස තිබුණා. මම චිත්‍රපට 60 කට වඩා කළා. ටෙලි නාට්‍ය ගත්තොත් 10ට ත් අඩු සංඛ්‍යාවක් තමා මගේ තියෙන්නේ. ඒ කියන්නේ ටෙලි නාට්‍යවලට අකැමැතියි කියන එක නෙමෙයි.

සිනමාව තුළ මුණගැසුණු හොදම නළුවා කවුද කියලා ඇහුවොත්?

ඒක කියන්න බෑ. ඒක අපිට අපේ චරිතෙන් චරිතෙට හම්බවෙන්නේ. මගේ තියෙන වාසනාවට, මම සිනමාවට ආවේ O/L කරන්නත් කලින්. එහෙම ඇවිල්ලා මට ලංකාවේ සියලුම දැවැන්තයන් සමඟ රඟපාන්න ලැබුණා. මම හිතන්නේ මට ගාමිණී ෆොන්සේකා ශුරින් , ජෝ අබේවික්‍රම ශුරින් හැරුණු කොට අනිත් සියලුම දැවැන්ත නළු නිළියෝ සියලු දෙනාත් එක්ක රඟපාන්න අවස්ථාව හම්බවුණා. ඒ වකවානුවේ ආපු කිසිම කෙනකුට ඒ වගේ වාසනාවක් හම්බ වුණේ නැහැ.

රංගනය පැත්තෙන් මොනවද වැඩ කටයුතු?

පසුගිය දවස්වල 'අයියයි නංගියි', 'සීතල යුද්දේ' කියලා චිත්‍රපට දෙකක් කළා. දැන් ඒ දෙකේ වැඩකටයුතු අවසන් 'දන්කුඩ බණ්ඩා' කියලා අලුත් ළමා නාට්‍යකට රංගනයෙන් දායකත්වය දක්වනවා. ලස්සන අම්මා කෙනෙක් ගේ චරිතයක්. ඒක වැඩි දවසක් යන්න කලින් බලාගන්න පුළුවන් වේවි. ඊට අමතරව 'ලව් යු බොස්' කියලා මේ දිනවල සියත නාළිකාවේ ටෙලි නාට්‍යයක් විකාශනය වෙනවා. නර්තන ප්‍රසංග සඳහා සහභාගී වෙනවා.

Comments