
උන්ගේ ළතෝනිය හෝරා දෙකක් යන තුරුම මුළු කැලේම රැව් දුන්නා. පහුව දා එළි වෙන කොට නැඟුණ සිහින් කෙඳිරියෙන් අපේ හිත තරමක් කලබල වුණ තරම මං කොහොම කියන්නද? මුළු හේනම පීරලා එහාට මෙහාට ගිය අපට හම්බු වුණේ පුංචිම පුංචි එකෙක්. එයාගේ හොඬේ වැල් අතර පැටලිලා තිබුණ. අමාරුවෙන් කෙඳිරි ගලා එහාට මෙහාට ඇඹරුණා?. අනේ පුංචි එකෙක්. අපි මෙයාට නමක් දාමුද අයියේ? නම් දාන්න කලින් කන්න දෙමු. අන්න අතර පැහුන කැකිරි ෙගඩි තියෙනව. මෙයා ඒවාට ගොඩක් ආස වේවි. මල් නැන්දගේ පොඩි එවුන් ගෙනා කැකිරි කාලා එයා හොඳට බඩ පුරවාගත්තා.
වනන්තරේ තිබුණේ තිත්ත කළුවර පමණි. හරියටම අමාවක දවස. පුංචි පැලේ ලාම්පු තෙල් කුප්පුයක් දැල්වෙමින් තිබුණි. මම පඳුරකට මුවා වුණෙමි. හැම පැත්තෙන්ම ඇසුණ වෙඩි හඬ කන් බිහිර කරවන තරම්ය. මෑත වූ සල් ගසේ සුවඳ මා විටන් විට අතීතයට ගෙනයයි. ''අදත් මයේ හිතේ අලි ඇවිල්ලා.'' තිත්තවැල්ලේ මට කියනවිට මං පඳුර ළඟ තවත් පහත් වුණේ ජීවිත ආරක්ෂාව උදෙසාය. පහත් කන්දට. අලි ඒම පුරුද්දක් වුවත්, එන්න එන්ම ඒ පුරුද්ද වැඩි වුණේ නිරායාසයෙනි. ඒ දවස්වල මං පොඩි ඉස්කෝලේ ගියේ පහත් කන්ද ප්‍රාථමික විද්‍යාලයට.
අපේ ගෙදර ඉඳලා උංගිගේ ගෙදරට තිබුණේ හූ තුනක් විතර. සේදගේ ගෙදරට තිබුණේ හූ පහක දුර. මගේ තාත්තා කළේ හේන් වගාව. සමහර දවසට මාත් තාත්තා එක්ක පැල් රකින්න යනවා.
වල් ඌරන් එළවන එක ඒතරම් ලේසි නොවුණට ඒ දේ නොකෙරුවොත් හේනක් නෑ. රෑ දහය දොළහ වෙනකොට වල් ඌරෝ එන්නේ පොදි පිටින්. ඒ විතරක් ද අලි රංචු යාන් ඔයෙන් දිය බීලා හිමින් සීරුවේ අපේ හේන පැත්තට පල්ලම් බහිනව. තාත්තා දන්න අලි භාෂාවෙන් වැකියක් දෙකක් කිවුවහම උන් උන්ගේ පාඩුවේ හීන් සැරේ මාරු වෙනව. හේනේ අස්වනු නෙළන කාලයට මල් නැන්දලා ආව අපේ අහ.
මල් නැන්දට හිටියේ පොඩි එවුන් දෙන්නයි. ඒ ඈයෝ මට හරි එකතුයි.
කොහොමත් කොල්ලො දෙන්න නම් ඉස්කෝලේ වැඩවලට කියාපු හොරු දෙන්නා. පොතක් අතට ගන්න කිවුවහම හිමිහිට මාරු වෙනව. ගෙඩි නෙළන කාලෙට පොඩි එවුන් දෙන්නත් අපේ හේනට එනව. රෑ ලන්තෑරුම් පත්තු කරගෙන හේන බලාගන්න කොට උන් දෙන්නා හයියෙන් කවි කියනව.
ඔය කවි පොත්වලද තියෙන්නෙ? මල් නැන්දා හිනා වෙලා එහෙම ඇහුවහම පොඩි එවුන් දෙන්න බඩ පැලෙන්න හිනාවෙනව. මේව අපි හදපු ඒවා. එහෙනං වල් ඌරො බයවේවි.
ඒ දවසත් අද වගේ අමාවක දවසක්. මට මතකයි අලි රංචුවක්ම අපේ හේනට ආව. ඈ.....බොල අලි රංචුවක්. අනේ කොලූ ගනින් ඔය තුවක්කු බටේ. බය වෙන්න අහසට වෙඩිල්ලක් තියන්න. තාත්තා මගේ අතින් තුවක්කුව ගත්තේ උදුරලා වගේ. අනේ එපා.... එපා..... මල් නැන්දා තාත්තගේ අත අල්ලා ගත්ත. නෑ නංගියේ අහසට. තාත්තා තිබ්බ වෙඩිල්ලට අලි රංචුව සීසී කඩ ගිය.
උන්ගේ ළතෝනිය හෝරා දෙකක් යන තුරුම මුළු කැලේම රැව් දුන්න. පහුව දා එළි වෙන කොට නැඟුන සිහින් කෙඳිරියෙන් අපේ හිත තරමක් කලබල වුණ තරම මං කොහොම කියන්නද? මුළු හේනම පීරලා එහාට මෙහාට ගිය අපට හම්බු වුණේ පුංචිම පුංචි එකෙක්. එයාගේ හොඬේ වැල් අතර පැටලිලා තිබුණ. අමාරුවෙන් කෙඳිරි ගලා එහාට මෙහාට ඇඹරුණ.
අනේ පුංචි එකෙක්. අපි මෙයාට නමක් දාමුද අයියේ? නම් දාන්න කලින් කන්න දෙමු. අන්න අතර පැහුන කැකිරි ෙගඩි තියෙනව.
මෙයා ඒවාට ගොඩක් ආස වේවි. මල් නැන්දගේ පොඩි එවුන් ගෙනා කැකිරි කාලා එයා හොඳට බඩ පුරවා ගත්ත. දැන් හරි අපි මෙයාට දාමු ආදර පැංචා කියලා. මේ බලන්න මෙයාගේ ඇස් දෙක ආදරණීයයි. පොඩි එවුන් ගේ කතාවට මං එකඟ වුණා.
අපි ආදර පැංචාව මාස හතරක් පහක් අපේ හේනේ තියා ගත්ත. අලි රංචුව නොවැරැදීම ආදර පැංචා බලන්න එනව.
හැබැයි අපේ හේන විනාස කළේ නැහැ. එක දවසක් ආදර පැංචා එයාගේ රැහේට එකතු වුණා. ආයිත් පැත්ත පළාතේ ආවේ නැහැ.
මං හේනට ගිය බොහෝ දවස්වලට හඳ දිහා බලාගෙන කල්පනා කරනව. ඇත්තටම අපේ ආදර පැංචා ආයි කවදා දකින්නද?. එදා හොඳටම වැස්ස. මමයි තාත්තයි විතරමයි. හේනේ කඩුල්ල කවුදෝ පනිනව මට ඇහුනා. පුතේ අලි ඇවිල්ලා. තාත්තා මාව කූද්ද ගත්තා. ඒත් ඒ සද්දේ නැවැතුනා. තාත්තා හීන දකිනව. මෙහේ අලි නැහැ. මං ආයිත් ගුලි ගැහිලා නිදා ගත්තා.
අපේ අට්ටාලේ තිබුණේ කොස් ගහක් මුදුනේ. එකපාරටම මගේ කකුලේ සීතල මොකද්දෝ ගෑවුණා. මං ගැස්සිලා ඇහැරුණා. ආදර පැංචා. එයා ලොකුවෙලා. මං එයාගේ ඔළුව අත ගෑවා.
ඇත්තට ඒ කළුවරේ මං එයාව හඳුනාගත්තේ එයාගේ නළලේ තිබුණ ලපයෙන්. ඒ ලපය මට අතගෑවහම අහුවුණා. පැංචා ඔයා........ මොනාද ඕනේ? දැන් තියෙන්නේ කෙසෙල් ඇවැරි දෙකක් විතරයි. රසම රස කැකිරි කඩන්න බැහැ මේ කළුවරේ. පැංචා හා.... කියලා එයාගේ හොඬෙන් මට සංඥා කළා. ඒ පාර එයා යන්න හැරුණා. මං එයාගේ හොඬේ බදාගෙන හිටිය.
මං ඔයාට ගොඩක් ආදරෙයි. ඒ කාලේ මං ඔයාව දකින කොට ඔයා ගොඩක් පොඩියි. දැන් ඔයා තරුණ ඉලන්දාරියෙක් නේ.
වල් අලි ගැන මගේ හිතේ තිබුණ බය මුළුමනින්ම ඉවත් වුණේ ආදර පැංචා නිසා. මල් නැන්දාගේ පොඩි එවුන් දාපු නම අපූරුයි.
ඒ දවස්වල මං සාමාන්‍ය පෙළ ගත්තා. හැමදාම ඉස්කෝලේ එවන්න කියලා ලොකු ඉස්කෝලේ මහත්තයා තාත්තාට තරයේම අවවාද කළා. තාත්තා, එහෙමයි මහත්තයෝ කියලා එකඟ වුණ නිසා මට ඉස්කෝලේ යන්න වුණා.
අකුරු සාස්තරේ ඉගෙන ගත්තේ සිදාදියට යන්න නෙවෙයි. නම විතරක් හරියට ගළපා ගන්න විතරයි මට ඕනේ වුණේ.
පන්තියේ ඉස්කොලේ හාමිනේගේ තරවටුව නිසා මගේ හේන් ගමන ඉබේම නතර වුණා. තාත්තා කියපු විදිහට ආදර පැංචා අපිව හොයාගෙන ඇවිත් තිබුණා. ඒත් මං හිටියේ නැති නිසා මුකුත් නොකාම ගියා කියලා තාත්ත කිවුව.
ඇත්තටම එයාට මාව බලන්න ඕනේ ඇති. විභාගෙ ඉවර වුණ ගමන් මං හේනට ගියේ පැංචා ආයි එයි කියලා. ඒත් කවදාවත් ආවේ නැහැ. එක එක අලි රංචු අපේ හේනට ආව. ඒත් පැංචා ඒ අය අතරේ හිටියේ නැහැ.
කාලය ගෙවී ගියා. අපේ ගමට අලින්ගෙන් තිබුණේ ලොකු කරදරයක්. සමහර දාට අපි නිදි නෑ. මං නම් නිදාගත්තේ නැත්තේ ආදර පැංචා ඒවි කියලා. ඒත් ආවේ නෑ. මං දවසක් දෙකක්ම තිත්තවැල්ලේ එක්ක කැලෑ වැදුණා. ඒ දවසේ තමයි වෙඩි වරුසාවක් ඇහුණේ. මං කන් දෙක වහගත්තා. එකපාරටම සීතල මොකද්දෝ මගේ ඇඟේ ගෑවුණා. ඇයි...... මං කෑගැහුවා.
මේ මොකද පැංචා....... අනේ අදත් අමාවක. පැංචා..... මං කෑගැහුවා. ඒත් එයා මගේ දුක අහන්න හිටියේ නෑ. එයාගේ ඔළුවෙන් ලේ බේරුණා. මං කෑගහලා අයියනායක දෙවියන්ට කිවුව. ඒත්....ඒ වෙනකොටත් පණ ගිහිං. ඒ හැම අමාවකම මං මේ සල් ගහ ළඟට එනව. ඒ මල් කඩන්න නෙවෙයි. අමාවකේ ලැබුණ ආදරය මෙනෙහි කරන්න.