එදා මනමේ 'කුමාරි' කලා භූෂණ සම්මා­න­යෙන් පිදුම් ලබයි | සිළුමිණ

එදා මනමේ 'කුමාරි' කලා භූෂණ සම්මා­න­යෙන් පිදුම් ලබයි

 අපේ රටේ ෂෙල්ටන් පෙරේරා කලා පරපුර කවුරුත් දන්නේ ගීත ගායනය ඇතුළු විශේෂ කුසලතා රැසකින් පිරිපුන් කලා පවුලක් ලෙසයි. එම පරපුරේ හැකියාවන් රැසක් උපතින්ම රැගෙන පැමිණි ශිල්පිනියක් ලෙස තොටෙගමගේ භද්‍රා කුමාරි හැඳින්විය හැකියි.ෂෙල්ටන් පෙරේරාගේ ආදරණීය නැගණිය වන ඇය පසුගියදා කලාභූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබුවාය.ඒ ගැන තොරතුරු කියන්නට පසුගියදා පත්තර මහ ගෙදරට ගොඩ වු කුමාරි අප සමග කළ කතා බහයි මේ.

• කලාකරුවකුට හෝ කලාකාරියකට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන කලාභූෂණ සම්මානයෙන් ඔබ පසුගියදා පිදුම් ලැබූවා. ඒ ගැන මතකය අවදි කළොත්..

පසුගිය 33වැනි වාර්ෂික කලාභූෂණ රාජ්‍ය සම්මාන උළෙලේදි ජීවිතයට එකවරක් පමණක් පිදුම් ලබන කලා භූෂණ රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලැබූවා.එය පිරිනමන්නේ වයස අවුරුදු හැට සම්පූර්ණ වු විටයි. බොහෝ දෙනාගේ ඉල්ලීම මත මමත් එම සම්මානයට අයැදුම්කළා.අයැදුම්පත් රැසක් අතරින් මා තෝරාගෙන තිබුණා.අයිරාංගනී සේරසිංහ,ශ්‍රියානි අමරසේන සහ මට එදින එම සම්මානය අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය ඇමතිතුමා අතින් පිරිනැමුණා.මට මෙම සම්මානය හිමි වූයේ ශ්‍රි ලාංකේය කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කළ සේවාව වෙනුවෙන්.

• ඔබ ටවර්හෝල් නාට්‍ය සම්ප්‍රදායේ සිට එන රංගන ශිල්පිනියක්..

වයස අවුරුදු හතේදි නීතිඥ ජෝන් ද සිල්වාගේ වෙස්සන්තර නූර්තියෙන් රංගනයට පිවිසියේ.එහි මන්ද්‍රි දේවිය වූයේ රුක්මණී දේවියයි .ඇයගේ දියණිය ලෙස රඟපෑවේ මම. ඉන් පසුව ටවර්හෝල් නාට්‍ය 20කට පමණ රංගනයෙන් දායක වී තිබෙනවා.ඉන් පසුවයි වේදිකා නාට්‍ය රංගනයට පිවිසෙන්නේ.

• වේදිකාවේදි ලැබූ අද්දැකීම් සිහිපත් කළොත්..

නූර්ති කලා ශිල්පිනියක් වු මම 1966න් පසුව වේදිකා නාට්‍යයට පිවිසෙන්නේ කීර්ති ශ්‍රි නිශ්ශංකගේ ඉරි කෑලි තුනක් වේදිකා නාට්‍යයෙන්.ඉන් පසුව සුර අසුර, සිකුරු වන්නම,වටකුරු පැංචා,ගිරග්ග සමජ්ජ, රන් සෙවණ, චිත්‍රාගේ ප්‍රේමකතා,කුන්ත නෝනා ආදී වේදිකා නාට්‍ය රැසක රඟපෑවා. 1972සිට 1980 දක්වා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරි ලෙසත්, සිංහබාහු නාට්‍යයේ සිංහ සීවලී ලෙසත් රඟපෑවා.

• පුංචි තිරයේත් ඔබ කලක් ජනප්‍රියව සිටියා..

කාලයක් පුංචි තිරයේ ජනප්‍රිය චරිතයක්ව සිටියා. කන්දෙ ගෙදර,මඩොල් දූව,බෝඩිම,සංක්‍රාන්ති සමය, සිටු මැඳුර,බඹර අසපුව, ඉරට හඬන මල්, පවිත්‍රා, අඳුරට එළි, වීදුරු ගෙවල්, කෝපි කඩේ, සත්සර රංගන ආදි ටෙලිනාට්‍ය සියයකට පමණ රංගනයෙන් දායකවුණා.මෑතකදී නම් ටෙලිනාට්‍යවල රඟපෑමට නොහැකි වුණා.

• සිනමාවටත් සම්බන්ධ වූවාද..

වාර්තා චිත්‍රපට දහයකට වැඩි සංඛ්‍යාවකට රංගනයෙන් දායක වූවා.

• ටවර් හෝල් රංගන ශිල්පිනියක,වේදිකාව,සිනමාව,පුංචි තිරය මෙන්ම හඬ කැවීම් ශිල්පිනියක්,නිවේදිකාවක් මෙන්ම ගායිකාවක් ලෙසින්ද ඔබ රසිකයන් අතර ජනප්‍රියයි.මේ තරම් හැකියාවන් රැසක් ලබන්නට තරම් වාසනාවන්ත වූයේ කොහොමද..

ටවර් හෝල් නූර්ති ශිල්පිනියක් වූයේ වයස අවුරුදු හතේදි.ඒ උපතින් ලැබුණු කුසලතාවයෙන්. නමුත් පසු කාලයේදි ශ්‍රි ලංකා රූපවාහිනී අභ්‍යාස ආයතනයේ නිවේදිකාවක් ලෙස පාඨමාලාවක් හැදෑරුවා. ස්වාධීන රූපවාහිනී සේවයේ වැඩසටහන් නිෂ්පාදනය හා රඟපෑම පිළිබඳව පාඨමාලාවක්ද, 1971 ලයනල් වෙන්ඩ්ට් ශිල්ප කේන්ද්‍රයේ ගායනය, නර්තනය,රඟපෑම වෙනුවෙන් පාඨමාලාවක්ද,ටවර්හෝල් රඟහල පදනම විසින් ඉන්දීය මහාචාර්යවරු ඉදිරියේ පවත්වනු ලැබූ නාට්‍ය නිෂ්පාදනය හා රඟපෑමේ පාඨමාලාවක්ද හැදෑරුවා.හැකි සෑම විටම අලුත් අලුත් දැනුම ලබාගෙනයි මෙපමණ කාලයක් කලාවේ රැඳී සිටින්නේ. ඒ නිසා වෙන්න ඇති මේ වන විටත් ශ්‍රි ලංකා ගුවන්විදුලි සංස්ථාවේ ස්වදේශීය සේවය, වෙළෙඳ සේවය, ජාතික ක්‍රීඩා විකාශය, සිටි එෆ්.එම් සේවය, මැද පෙරදිග සේවය, එන්.එස්. බී රන්මසු රාත්‍රිය වැඩසටහන්වල නිවේදිකාවක ලෙස වැඩකරන්නේ. එයට අමතරව ටවර්හෝල් රඟහල පදනමේ නිවේදිකාවක්, ගායිකාවක්, රංගන ශිල්පිනියක්,නූර්ති ගී ශිල්පිනියක් හැටියට කටයුතු කරනවා.හඬ කැවීමේ ශිල්පිනියක් ලෙසත් විදේශ චිත්‍රපට රැසකට හඬ කවනවා.

• දශක ගණනාවක් කලාවේ එකලෙස ජනප්‍රිය වී සිටීම ලෙහෙසි පහසු නෑ. කෙසේද මේතරම් කාලයක් නිර්මාණයන්හී නිරතවෙමින් රසිකයන්ගෙන් ලැබෙන ජනප්‍රියත්වය එකලෙස රඳවා තබාගෙන සිටින්නේ..

කලා ක්ෂේත්‍රයේ මෙතරම් දුරක් පැමිණෙන්න ලැබුණේ මගේ සැමියා නිසයි.ඔහු හමුනොවුනානම් කලාව තුළ දශක පහක් පමණ ඉන්න ලැබෙන්නේ නෑ.සැමියා සංගීත අධ්‍යක්ෂවරයෙක්, ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් වන රංජිත් යාපාද අල්විස්. කෝපිකඩේ සහාය අධ්‍යක්ෂවරයා ලෙසත් කලක් වැඩකළා.අදටත් ඔහු කලාවට සම්බන්ධයි. මගේ කලා කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබාදෙනවා.මගේ පවුලේ සහෝදරයන් හයයි, සහෝදරියයි. ඒ හැමෝම වගේ කලාවට සම්බන්ධයි. ෂෙල්ටන් පෙරේරා එක සහෝදරයෙක්.අපේ පවුල කලා පවුලක් වීමත් ක්ෂේත්‍රයට එන්න බලපෑවා.මගේ දුව සඳුනිකා ඉන්දීවරී නුගේගොඩ ළදරු පාසලක ගුරුවරිය ලෙස සේවය කරනවා. ඇය කලාවට සම්බන්ධවීමට වැඩි කැමැත්තක් දක්වන්නේ නෑ. මුනුපුරා මෙත්සර කොළඹ මහානාම විද්‍යාලයේ දෙක වසරේ ඉගෙනුම ලබනවා. ඔහු නම් සංගීතයටත්, රංගනයටත් කැමැත්තක් දක්වන බව පේනවා. සමහරවිට පුතා ලොකු වෙනකොට කලාවට සම්බන්ධවෙයි කියා හිතනවා.

• දශක ගණනක සිට කලාවේ නිරතවෙන ඔබට නිසි ඇගයීමක් ලැබුණා යැයි සිතනවාද..

පසුගියදා ලැබුණු කලාභුෂණ සම්මානය ගැන ලොකු සතුටක් තිබෙනවා. එයට අමතරව සරසවි නිර්මාණ ප්‍රසාද සම්මානයත් පසුගියදා ලැබුණා. 1976 රාජ්‍ය නාට්‍ය උළෙලේ සුගත් සමරකෝන්ගේ අමල් බිසෝගේ චරිතයටත්, කරුණාරත්නයන්ගේ උඩහ ගෙදර රත්තරන් නාට්‍යයේ කළ රංගනයටත් විශිෂ්ඨ සම්මාන කුසලතා හිමිවුණා.මේ හැමදේටම වඩා රසිකයන්ගෙන් ලැබෙන ආදරය වටිනවා. මග තොටේ ගියත් ඔයා නේද ඉස්සර මනමේ කුමාරි ආදිය විමසනවා.අද සිටින රංගන ශිල්පිනියන්ගෙන් නිළි රැජන රුක්මණී දේවිය සමග රඟපෑව නිළියක ලෙස මෙතරම් දුරක් රංගන ක්ෂේත්‍රයේ නියැළි සිටීමට ලැබීම ගැන සතුටුයි. 

 

Comments