ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට- 06 | සිළුමිණ

ඉතා­ලිය හරහා මෙජි­ගෝ­රි­යට- 06

දෙවරක් ගින්නෙන් විනාශවී යළි ගොඩනැගූ කතෝලික සභාවේ මවු පල්ලිය සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව

 

පසුගිය සතියේ අප ඔබ කැඳවාගෙන ගියේ ඉතාලිය හරහා මෙජිගෝරියට ගිය සංචාරයේදී අප පළමුවෙන්ම ගිය වතිකානය තුළ ඇති සාන්ත පීතර බැසිලිකාව තුළටයි. එහිදී ආගමික, ඓතිහාසික මෙන්ම පෞරාණික වටිනාකම් වලින් යුතු දැවැන්ත නිර්මාණ පිළිබඳව විස්තර කරමින් යන ගමනේ තවත් දැවැන්ත නිර්මාණ කිහිපයක් ගැන අද ඔබට විස්තර කරන්නටයි මේ සූදානම.

මෙහිදී දැක ගත හැකි අති විශිෂ්ට නිර්මාණ දෙකක් පිළිබඳව සඳහන් කළ යුතුමය. ඒ මයිකල් ආන්ජලෝගෙන් පසුව බිහිවුණු තවත් විශිෂ්ට නිර්මාණ ශිල්පියකු වූ Gian Lorenzo Bernni විසින් කර ඇති ලෝකඩ පුටුව සහ අල්තාරය ආවරණය කරන වියනයි.

බෙර්නිනී කුඩා අවධියේ මෙම බැසිලිකාව නිර්මාණය කරන විට නැරඹීමට පැමිණ ඇති අතර , කවදාහෝ මෙහි නිර්මාණ කරන්නට එන්නට ඔහු අධිෂ්ඨාන කරගෙන තිබෙනවා. ඒ අනුව වයස 20 දි පමණ මෙහි නිර්මාණ වලට සම්බන්ධ වන බෙර්නිනී සාන්ත පීතර තුමන් වාඩිවී සිටි පුටුව තිබුණු ස්ථානයේ ලෝකඩ වලින් පුටුවක් නිර්මාණය කර තිබෙනවා.

බෙර්නිනි කළ අති විශිෂ්ට නිර්මාණය වන්නේ මෙහි ප්‍රධාන අල්තාරය ආවරණය වන අයුරින් නිමවා ඇති දැවැන්ත ලෝකඩ වියනයි.

මෙය නිිර්මාණය කිරිමට බෙර්නිනී ලෝකඩ ලෝහ ටොන් 32 ක් භාවිතා කර ඇති අතර ඔහුට ඒ සඳහා වසර 9 ක් ( 1623- 1634) ගතවී තිබෙනවා. මෙය මුලින්ම නිර්මාණය කිරීමට සැලසුම් කර ඇත්තේ කාලෝ මැඩනි නම් නිර්මාණ ශිල්පියා විසිනි. එසේම කාලෝ නිර්මාණ ශිල්පියා සැලසුම් කර වැඩ අවසන් නොකළ නිර්මාණ කිහිපයක්ම බෙර්නිනී විසින් නිම කර තිබේ. ඝාණ්ඨාර කුලුණ ද ඒ අතර එක් නිර්මාණයක්.

මෙම බැසිලිකාවේ පොළොව යට ඇත්තේ පාප් වහන්සේලා ඇතුළු ප්‍රභූවරුන්ගේ සිරුරු මිහිදන් කර ඇති ස්ථානයයි. සුදු පැහැ කිරිගරුඬ පාෂාණ ගලින් කළ මෙම සොහොන් ගෙයට පිවිසෙන පියගැට පෙළ ඇත්තේ බැසිලිකාවේ මැදට වන්නටයි.

අප නිහඬව එහි ඇතුළු වීමු. මෙහි සියයකට අධික සිරුරු මිහිදන් කර තිබේ. පාප්තුමන්ලා 91 ක් දෙනකු, දෙවැනි ඔටෝ රෝමන් අධිරාජ්‍යයා, ජේම්ස් ෆ්‍රැන්සිස් එඩ්වඩ් ස්ටුවර්ට් සහ ඔහුගේ පුතුන් දෙදෙනා, බිලොස් පැස්කාටි කාඩිනල් තුමා, රජකම අතහැර කතෝලික ආගම වැළඳගත් ස්වීඩනයේ ක්‍රිස්ටිනා රැජන, සාන්ත ඉග්නේෂෂ් ඔෆ් එන්ටියෝප් යන අයගේ සිරුරු මේ අතර තිබෙනවා. එසේම මෙහි මෑතක තැන්පත් කර ඇත්තේ දෙවැනි ජුවාම් පාවුලු පාප් වහන්සේගේ සිරුරයි. ඒ 2005 අප්‍රියෙල් 8 වැනිදා.

අපට මේ සියල්ල දැකබලා ගන්නට තිබුණේ ඉතා අඩු කාලයකි. එහෙත් ඔබ මෙම ස්ථානය දැක බලා වන්දනා කරන්නට යන්නේ නම් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් වෙන් කරන්නට සූදානමින් යන්නැයි මම ඔබට යෝජනා කරන්නේ ආගමික වශයෙන්, ඓතිහාසික වශයෙන් මෙන්ම නිර්මාණශීලීබවෙන් අනූන නිර්මාණ දහස් ගණනක් මඟනොහැර හොඳින් දැකගත යුතු බැවිනි.

සාන්ත පීතර බැසිලිකාව නැරඹීමෙන් පසු වතිකානයේ දැකගත යුතු , නැරඹිය යුතු ස්ථාන සියල්ලක්ම අප දැකගෙන අවසන්. අප වතිකානයෙන් පිටතට පැමිණ බස්රථයට නැගගත්තේ රෝම නගරයේ ඇති තවත් වැදගත්ම ස්ථානයක් වෙත යන්නටයි. ඒ කතෝලික සභාවේ මහපල්ලිය, පාප් වහන්සේට අයත් ඉතාලියේ පිහිටි බැසිලිකා හතරෙන් පැරැණිම සහ ප්‍රධානම බැසිලිකාව ලෙස සැලකෙන සාන්ත ජෝන් ලැටරන් බැසිලිකාව (St. John Lateran Basilica) වෙත යන්නටයි. වතිකාන නගරයේ සිට කි.මී. 4 ක පමණ දුරකින් පිහිටි මෙම ස්ථානය වෙත ළඟා වූ අපට අපගේ මඟ පෙන්වන්නිය රොබින් ගෙන් ඉතා වටිනා දිගු විස්තරයක් ලැබිණි. මෙම දේවස්ථානය කැපකර ඇත්තේ නව ගිවිසුමේ කතුවරයකු මෙන්ම ජේසුස් වහන්සේ භෞතීස්ම කළ ස්නාවක ජුවාම් තුමා සහ ජේසුස් වහන්සේගේ ගෝලයන් අතරින් වැඩිම ආදරය දිනූ ශුද්ධ වූ ජුවාම් තුමා වෙනුවෙනි.

සාන්ත ජෝන් බැසිලිකාව ගොඩනැගීමේ ඉතිහාසය විමසීමේදී පළමු කොන්ස්තන්තීනු අධිරාජයාගේ කාලයේ මෙම ස්ථානයේ බලකොටුවක් තිබී ඇති අතර පසුකාලීනව අධිරාජයා මෙය රෝමයේ රදගුරුතුමන්ට පරිත්‍යාග කර තිබෙනවා. ක්‍රි.ව.311 සිට 314 දක්වා පාප්තුමන් ලෙස කටයුතු කළ Miltiades පාප්තුමන්ගේ සිට 5 වැනි ක්ලෙමන්ට් පාප්තුමන් දක්වා (ක්‍රි.ව. 1309) දක්වා පාප්වහන්සේලා වැඩසිට ඇත්තේ මෙහිය. 1309 සිට 1370 දක්වා කාලය තුළ පාප්තුමන්ලා වැඩසිට ඇත්තේ ප්‍රංශයේ Avignon වලය. පාප්තුමන්ලා ප්‍රංශයේ වැඩසිටින කාලයේ දෙවරක් මෙය ගිනි ගෙන විනාශ වීගොස් තිබේ. එසේම භූමි කම්පාවකට පවා අසුවී මෙය විනාශ විමට ලක්වී තිබේ.

ඉන්පසු පාප්තුමන්ලා යළි රෝමයට පැමිණිමෙන් පසු උන්වහන්සේලාට පදිංචිය සඳහා සාන්ත පීතර බැසිලිකාව අසල වතිකාන මන්දිරය තනා ඇත්තේ මෙම ස්ථානය ගරාවැටීමට ලක්ව තිබූ නිසාවෙනි. පසුව 5 වැනි සික්ස්ටස් පාප්තුමන් විසින් මෙය නැවත ඉදිකිරීමට උත්සාහ කර තිබෙනවා.

වර්තමානයේ අපට දැකගත හැක්කේ ඉන්පසු වැඩිදියුණු කොට ගොඩනැගූ බැසිලිකාවයි. අප දැන් සිටින්නේ සාන්ත ජෝන් බැසිලිකාවේ ඇතුළුවන දොරටුව අසලය. මෙම බැසිලිකාවට ගාම්භීර බවක් ගෙනදෙන මෙහි අභිමානවත් බව පෙන්වන දැවැන්ත කුලුණු වලින් මෙන්ම ඉහළ ප්‍රතිමා වලින් සහ කැටයම් වලින් අලංකාර කර මෙහි ඉදිරිපස පෙනුම වැඩිදියුණු කිරීමට කටයුතු කර ඇත්තේ 12 වැනි ක්ලෙමන්ට් පාප්තුමන් විසිනි. උන් වහන්සේ මෙහි ඉදිරිපස පෙනුම නිර්මාණය කිරීම සඳහා කෙනකු තෝරාගැනීමට එම යුගයේ සිටි ගෘහ නිර්මාණ ශිල්පීන් අතර තරගයක් පවත්වා තිබේ. එම තරගයෙන් ජයග්‍රහණය කර ඇත්තේ ඇලෙක්සැන්ඩෝ ගැලීලි නම් ගෘහ නිර්මාණ ශිල්පියා වන අතර ඔහු බාරොක් ශෙලියට අනුවඉදිකිරීම් කර මෙහි වැඩකටයුතු 1735 දී අවසන් කර තිබෙනවා. එසේම මෙය ලෝකයේ ඇති ක්‍රිස්තියානි මවු පල්ලිය බව දැක්වෙන පුවරුවද මෙහි පිවිසුම අසල දැකගත හැකියි. මෙම බැසිලිකාවට පිවිසීමට ඇති ප්‍රධාන දොරටුවට දකුණු පසින් ඇත්තේ පිත්තල වලින් නිර්මාණය කරන ලද ශුද්ධ වූ දොරයි. මෙය ජුබිලියට පමණක් විවෘත කරන අතර අවසන් වරට විවෘත කර ඇත්තේ 2015 දෙසැම්බර් මාසය ජුබිලිය වෙනුවෙන් ෆැන්සිය ජාප්තුමන් විසිනි. මෙහි පිවිසීමට ඇති ප්‍රධාන දොරට වම් පසින් වැරැන්ඩාව කෙළවරේ පළමු කතෝලික අධිරාජයා වන කොන්ස්තන්තීනු අධිරාජයාගේ දැවැන්ත පිළිරුවකි.

මෙහි අභ්‍යන්තරයට පිවිසි කළ මුලින්ම නෙත ගැටෙන්නේ දැවැන්ත ප්‍රථිමා සමුහයකි. ඒ ජේසුස් වහන්සේගේ ගෝලයින් 12 දෙනාගේ ප්‍රතිමා වෙයි. 1718 දී 10 වැනි ඉනසන්ට් පාප්තුමා විසින් ෆ්‍රැන්සිස්කෝ බොරෝමිනි නම් නිර්මාණ ශිල්පියාට මෙහි අභ්‍යන්තරයේ අලංකරණ කටයුතු පවරා ඇති අතර ඔහුගේ අධීක්ෂණය යටතේ රොකෝකෝ මූර්ති ශිල්පීන් විසින් මෙම ගෝලයින් 12 දෙනාගේ පිළිම නිර්මාණය කර තිබේ.

මෙම බැසිලිකාවේද ස්වර්ගස්ථ වූ පාප් වහන්සේලා විසි දෙනකුගේ පමණ දේහයන් තැන්පත් කර තිබී ඇත.

වරින් වර සිදුවුණු ගරාවැටීම් නිසා එ්වා විනාශවී ගොස් ඇති නමුත් 6 දෙනකුගේ පමණ දේහයන් තැන්පත් කර ස්ථාන හඳුනාගෙන ඇත. ගින්නෙන් විනාශ නොවී ඉතිරි වුණු 4 වැනි Anastasius පාප්තුමන්ගේ දේහය තැන්පත් කළ පෙට්ටිය වර්තමානයේ වතිකාන කෞතුකාගාරයේ තැන්පත් කර ඇත. අතීතයේ දිව්‍ය පූජා අවස්ථාවලදී ගීතිකා ගායනා කිරීමේදී භාවිතා කරන ලද තවමත් වාදනය කළ හැකි තත්වයේ පවතින දැවැන්ත පැරැණි ඕගන් තුනක් මෙම බැසිලිකාවේ අභ්‍යන්තරයේ දැකිය හැකිය. එසේම දේවස්ථානයේ ආරුක්කුවකින් වෙන්කර ඇති ගෝලාකාර සිවිලිමක් සහිත කොටසේ Cosmatesque ශෛලියෙන් අඳින ලද සිතුවම් දැකිය හැකිය.එසේම දේවස්ථානය අභ්‍යන්තරයේ 12 වැනි ශතවර්ෂයේ අඳින ලද සිතුවම් ගණනාවක්ම මෙහිදී දැකගත හැකියි.

12 වැනි පියුස් පාප් තුමන් විසින් දෙවැනි ලෝක යුද සමයේ යුදෙව්වන්ට නාසීන්ගෙන් බේරී සැඟවී සිටිමට මෙම ස්ථානයේ ඉඩ ලබාදී තිබෙනවා.

ලබන සතියේ ශුද්ධ වූ පියගැට පෙළ  

Comments