
අද මාව හඳුන්වන්නේ සනුකගේ පියා කියලයි
සංගීත් වික්‍රමසිංහ
නව පරපුරේ කලාවට සම්බන්ධව සිටින බොහෝ තරුණ කලාකරුවන්ගේ මවු පියන් කලාවට සම්බන්ධයි. කලාවට සම්බන්ධ මවුපියන් පුන් සඳක්වී හාත්පස එළිය කරද්දී ඒ එළියෙන් බැබලෙන දූ දරුවන් තරුලෙස හැඳින්වීමට අපි කැමැතියි. කලා ලෝකය එළිය කරන මේ මවුපිය දූ දරුවන් පිළිබඳව බොහෝ රසබර තොරතුරු ඇතුළත් 'සඳ වට රන් තරු'රසඳුන නව වසරේ ගෙන එනු ලබන නවතම විශේෂාංගයයි. මෙවර 'සඳ වට රන් තරු'විශේෂාංග ආරම්භ කරන්නේ දක්ෂ ගිටාර් සහ කී බෝඩ් වාදන ශිල්පී සංගීත් වික්‍රමසිංහ සහ ඔහුගේ පුත් ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහයි.
අම්මා ගීතයට තාත්තා හරිම කැමැතියි
සනුක වික්‍රමසිංහ
සංගීතය අපේ පිය පරම්පරාවෙන් ලැබුණු උරුමයක්. මගේ පියා දයා වික්‍රමසිංහ. ඔහු තමයි 1955-1980 කාලයේ ශ්‍රි ලංකා යුද හමුදාවේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමේ නායකයා. පියා සංගීත විද්‍යාලයේ නිර්මාතෘ ලයනල් එදිරිසිංහ මහතා යටතේ හොරණෑ, තම්මැට්ටම්, ගැටබෙර ආදී දේශීය සංගීත භාණ්ඩ වාදනය කිරීම හදාරා තිබෙනවා. එවකට සිටි ජනාධිපතිවරයාට යුද හමුදාවේ පෙරදිග තූර්ය වාදක කණ්ඩායමක් ආරම්භකිරීමට අවශ්‍යවී ලයනල් එදිරිසිංහයන්ගෙන් එයට සුදුසු පුද්ගලයකු විමසූ විට එතුමා ඒ සඳහා යෝජනා කර ඇත්තේ මගේ පියා. ඒ අනූව මගේ පියා යුද හමුදා පෙරදිග තූර්ය වාදක කණ්ඩායම ආරම්භ කරනවා . ඉන් පසුව කොළඹ ආනන්ද, නාලන්ද, බුඩිස් ලේඩිස් ආදි පාසල්වල පෙරදිග තූර්යවාදක කණ්ඩායම් ඇරැඹුවෙත් ඔහුයි. තාත්තගෙ තාත්තා සීයාත් හොඳ ටීටර් ශිල්පියක්. ඔය විදිහට ඇවිත් මමත් පුංචි කාලෙ සිටම සංගීතයට වැඩි නැඹුරුවක් දැක්වුවා. මගේ මව සීතා වික්‍රමසිංහ. ඇයත් සංගීත ගුරුවරියක්. අපේ ගෙදර මටත් නංගිලා දෙදෙනාටත් කුඩාකල සිටම දකින්න ලැබුණෙ සංගීත පරිසරයක්. ගම්පහ සිද්ධාර්ථයට පහ වසර දක්වා පාසල් ගිය මම පහෙන් පසුව කොළඹ රාජකීය විදුහලට ඇතුළත් වුණා.
ශක්ති හා එක්වෙයි
1980 වසරේ උසස්පෙළ අවසන්කර යාළුවොත් සමග සංගීත කණ්ඩායමක් පටන්ගත්තා. අසූ අටවනතුරු සංගීත කණ්ඩායම සමග වැඩකළ මම ඉන්පසු විදෙස් ගත වුණා.යළිත් මම මවු රටට එන්නේ 1991 වසරේදි. ලංකාවට පැමිණ ආනන්ද පෙරේරාගේ ශක්ති සංගීත කණ්ඩායමට සම්බන්ධ වුණා.ටික කාලයකින් ශක්ති සංගීත කණ්ඩායම අතිශයින් ජනප්‍රියත්වයට පත්වුණා. 1992 දෙසැම්බර් 11 සනුක පුතා බිහිවන්නේ අප සංගීත කණ්ඩායම දිවයිනේ අතිශය ජනප්‍රියව සිටි අවධියේදියි. මමත් බිරිය රේණුකාත් සනුක ඉපදෙන්න වසර ගණනකට පෙරයි පුතෙක් ඉපදුණු විට ඔහුට සනුක යන නම තබමුයි කියා අදහස්කරගෙන සිටියේ. මගේ නමේ 'ස' යන්නත් බිරියගේ රේණුකා නමේ කොටසකුත් එකතුකර සනුක යන නම තබනවා.පුතා ඉපදුණාට පසු මගේ සංගීත දිවිය තවත් සාර්ථක වුණා.අනූ තුන වසරේදි ශ්‍රියා කැසට් පටය හොඳ ආදායමක් ලබමින් රසිකයන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත්වන්නේ ඔය කාලයේදී.
පරම්පරා උරුමය පුතාටත්
ඔය විදිහට සංගීතය මගේ ජීවිතයේ කොටසක් බවට පත්වන විට එය දකින මගේ පුතා සනුකත් බහතෝරන්නෙ ගීත කොටස්. පුතා දකින්නෙත් අහන්නෙත් සංගීත පරිසරයක්. ළදරු පාසල් යන කාලය වනවිට ගීත කොටස් මුමුණන්න පටන් ගත්තා. ගම්පහ ගෝතමී පාසලේ පහ වසර දක්වා අධ්‍යාපනය හදාරා ශිෂ්‍යත්වය සමත්ව කොළඹ රාජකීය විදුහලට ඇතුළත් කරනවා. සනුක උසස් පෙළට හැදෑරුවේ මැත්ස්. ඔහු තොරතුරු තාක්ෂණ උපාධියක් ලබා තිබෙනවා. ඒ කුමක් කළත් පරම්පරාවෙන් අපට ලැබුණු දේ පුතාටත් උරුම වුණා. ඒ ගැන මට කියාගන්න බැරි සතුටක් තිබෙන්නේ. මොකද වඩුවගෙ පුතා දොස්තර වුණොත් වඩු කර්මාන්තය බිඳ වැටෙනවා. ඒ වගේ කලාකරුවන්ගේ දරුවනුත් කලාවේ නියැළෙන එක හොඳයි. නමුත් පියා කරපුදේම පුතා කරල පියාගේ ගීත ටික විතරක් කියල කලාවේ රැඳී සිට පලක් නෑ. නව නිර්මාණ කරමින් නව ගමනක් යන එක තමයි කළ යුත්තෙ. එතකොටයි ඔහුගේ පැවැත්ම රඳා පවතින්නෙ. මගේ පුතා සනුක අද ඒ දේ කර තිබෙනවා. ඔහු ඔහුටම ආවේණික ශෛලයකින් මගේ ආරෙන් මිදී සාර්ථක ගමනක් යනවා. එයට ඔහු ලැබූ අධ්‍යාපනයත් මගේ මග පෙන්වීමත් බොහෝ ඉවහල් වුණා. ඇත්තටම කියන්න සතුටුයි අද බොහෝ පිරිසක් මාව හඳුන්වන්නෙ සංගීත් ලෙසින් නොවෙයි සනුකගෙ පියා ලෙසින්. ඒ ගැන මම ආඩම්බරයි.'
සංගීත් පුතු සනුක ගැන එසේ කියද්දී පුතු සනුක පියා ගැන මෙසේ කීවා.
'ඇත්තටම අද මම මෙතරම් ආඩම්බරයෙන් කලාවේ රැඳී සිටින්නේ තාත්තාගේ ආශීර්වාදයෙන්. තාත්තා තනු නිර්මාණය, සංගීතය, ගායනය යන තුන් අංශයටම දක්ෂයකු වු නිසා මමත් අද මේ තුන් අංශයටම දක්ෂතා දක්වනවා. එය මට මගේ සංගීත දිවියේ මෙතරම් ඉක්මනින් සාර්ථකවීමට ඉවහල් වුණා. අදවන විට මගේ සමගාමී මිතුරු ශිල්පීන්ටද තනු නිර්මාණයෙන් සංගීතයෙන් ගීත නිර්මාණයට මම සහාය වනවා. මමත්, මල්ලිත් කුඩා කාලයේ සිටම දැක්කේ අපේ නිවසේ සංගීත පරිසරයක්. තාත්තා ගීත වලට මෙලඩි දානවා. සංගීත භාණ්ඩ වාදනය කරනවා.
හත වසරේ සිට සංගීතය හැදෑරුවා
මට සිතුණා කවදා හෝ ගායකයෙක් වෙනවා කියා. හත වසරේ සිට අමරනාත් රණතුංග මහතාගෙන් සම්භාව්‍ය සංගීතය හැදෑරුවා.එසේ ලබා ගත් දැනුමත් මගේ නව නිර්මාණ සාර්ථකකර ගැනීම සඳහා ඉවහල් වුණා. සංගීතය හැදෑරුවත් නිර්මාණශීලී ගුණය නැත්නම් කලාවේ රැඳෙන්න අපහසුයි. මට පරම්පරාවෙන් ඒ දේවල් ලැබී තියෙනවා. මම කළේ ඒවා වැඩි දුරටත් පොලිෂ්කරගත්ත එක.තාත්ත අසූව දශකයට සුදුසු නිර්මාණ කරද්දී මම කළේ 2017ට ගැලපෙන ඒවා. මගේ අම්මා කියන ගීතයට තාත්තා හරිම කැමැතියි. ඔහු කියන්නෙ එය මම ගායනාකරන්නෙ හදවතින්ම කියල.
මල්ලී සංගීතයට එනවා නම් කැමැතියි
මල්ලි සමිත වික්‍රමසිංහ කාර්මික අංශයෙන් ඉදිරියට යන්න උත්සාහ කළත් මම කැමැතියි ඔහුත් සංගීතයට සම්බන්ධ වෙනවනම්. අප පවත්වාගෙන යන සිංහ රෙකෝඩ්ස් නිර්මාණ සමාගමට මල්ලිගේ සහාය ලැබෙනවානම් තාත්තා ගොඩක් සතුටුවෙයි. තාත්ත ගායනාකරන ගීත සහ සංගීතය සැපයු ගීත රසවිඳින්න මම බොහෝ කැමැතියි.ඒවායෙන් අපට ගන්න බොහෝ දේ තිබෙනවා.අලුතෙන් ගීතයක් කළත් ඒ ගැන තාත්ගෙ මතය සහ වෙනස්කළ යුතු තැන් විමසනවා.මගේ මිතුරු කලා කරුවන්ටද හොඳ සහයෝගයක් ලබා දෙමින් හොඳ නිරමාණ කරමින් සංගීත දිවියේ නමක් රැන්දු ගායකයෙක් වීමේ අධිෂ්ඨානය කරා ගමන් කරනවා.'