මර්සලීන් ජයකොඩි ගීයෙහි වෙසෙසියාව | සිළුමිණ

මර්සලීන් ජයකොඩි ගීයෙහි වෙසෙසියාව

නූතන සිංහල ගීතය පිළිබඳ වැ කැරෙන විමර්ශනයෙක දී හමු වන විශිෂ්ට ගීත රචකයන් කිහිප දෙනා අතර මර්සලීන් ජයකොඩි පියතුමා ද නිසැක වැ ම ගැනේ. සිංහල ගීතයෙහි පැවැති තරමක් රළු, නොසකස් බව හැඳින එය වඩාත් ශ්ලිෂ්ට, මාධුර්ය සම්පන්න කලාංගයක් බවට පත් කිරීමට පු‍රෝගාමී ව‍ූ රචකයන් අතර ජයකොඩි පියතුමාට ද වෙසෙසි තැනක් හිමි වේ.

මර්සලීන් ජයකොඩි පියතුමා වනාහි ගද්‍ය, පද්‍ය රචනය, ප්‍රාචීන, ප්‍රතිචීන සංගීතය ආදියෙහි මෙන් ම ‍ඉංගිරිසි, ලතින්, ග්‍රීක ආදී භාෂාවල ද මහත් නෛපුණ්‍යයක් දැක්වූවෙකි. එ වුව ද එතුමා ගෙන් විශිෂ්ට සේවාවක් සිදුවූයේ සිංහල ගීත රචනා කලාවට බව විවාද රහිත වැ පිළිගත හැකි කරුණෙකි. මේ ලිපියෙහිලා තැන් ගැනෙනුයේ ජයකොඩි පියතුමන් ගේ ගීත රචනාවල පැනෙන විශේෂතා කිහිපයක් පිළිබඳ වැ කෙටි විමැසුමෙක යෙදීමයි.

ජයකොඩි පියතුමන් සිංහල ගීත රචනයට ප්‍රවිෂ්ට වූ විසි වැනි සියවසේ මධ්‍ය භාගය වනවිට නාඩගම් ගී අවදිය ගෙවී, නූර්ති ගීත ද කෙමෙන් වියැකෙමින් ග්රැමපෝන ගීය උදා වී පැවැතිණ. එයට බෙහෙවින් විෂය වූයේ බුද්ධාගමය හා සම්බන්ධ මාතෘකා, උපදේශ, ජාතිවාක්සල්‍යය වැනි කරුණු යි. ග්රැමපෝන ගීත නිබන්ධනයන් ගීතයේ කලාත්මක භාවයට වඩා එයින් කළ හැකි සමාජ ශෝධනය, සදාචාර වර්ධනය වැනි කාර්ය කෙරෙහි අවධානය යොමු කළ බවත් පෙනී යයි. කවිය ආගමයක් නො වතුදු ආගමයට ආදේශකයකැයි ඇතැම් විචාරකයන් පවසන හෙයින්, කවියේ ම ප්‍රශාඛාවකැයි ගත හැකි ගීතය එසේ යොදා නැතිව වරදක් ලෙස දැකිය නොහැකි ය. එහෙත් ගීතය කලාංගයක් වනුයේ එහි කලාත්මක භාවය කෙරෙහි දු සැලැකිල්ල යොමු කළ යුතුම ය.

ගීත රචනයෙහි මාධ්‍යය වන භාෂාව ගැන සලකන කල්හි ද පෙනෙනුයේ මේ නිබන්ධකයන් මිශ්‍ර භාෂා ව්‍යවහාරයට වඩාත් නැඹුරු වූ අයුරුයි. එසේ පණ්ඩිත ප්‍රිය භාෂාවකට ඔවුන් වඩාත් රුචි වූයේ ඇතැම් විට, රචනයේ සම්භාව්‍ය භාවය රැකගන්නට විය හැකි ය. රචනයෙහි කාව්‍යාක්ත මත භාවය කෙරෙහි දු එතරම් සැලැකිල්ලක් නො දැක්විණ‍. ව්‍යංග්‍යාර්ථ, ධ්වනිතාර්ථ ආදිය යෙදීමට ඔවුන් අතර පෙලැඹීමක් නොවී ය.

මේ තත්ත්වයෙහි වෙනසක් කැරුණේ ආනන්ද සමරකෝන් විසිනැයි කීම නිවරදය. ඔහු ප්‍රේමය, ස්වභාව සෞන්දර්යය ආදිය තම ගීතවලට වස්තු විෂය කැරගත්තාක් මෙන් ම, එක්තරා දුරකට සරල, රසවත් බස් වහරක් ද උපයෝගි කැරගත් බව පෙනේ. එය වඩාලාත් තීව්‍ර වූයේ සුනිල් සාන්තයන් ගේ සම්ප්‍රාප්තියත් සමඟ ය. සුනිල් සාන්තයන් ගේ ගී ද වස්තු විෂය විසින් ගත් කල්හි සමරකෝන් ගී හා සමාන ව‍ූයේ වී නමුදු වඩා දියුණු ලකුණු දැරී ය. බස වඩාත් රසවත් ද වියත් ද සරල ද වී ය.

මර්සලීන් ජයකොඩි පියතුමා සිංහල ගීත ලෝකයෙහි වඩාත් ප්‍රකට වන්නට වූයේ ද මෙ කල්හි ය‍. එතුමාගේ ගීත් සුනිල් සාන්තයන් ගැයූ (තමන් ගේ හා වෙනත් රචකයන් ගේ හා) ගීතත් අතර එක්තරා සමානත්වයක් දක්නා ලැබිණි. එ ද බෙහෙවින් ම බස් වහර පිළිබඳ වීය.

සුනිල් සාන්තයන් ගේ ගීවලින් එකක් දෙකක් හැරුණු විට අනෙක් සියල්ල පැබැඳුණේ නුමුසු හෙළ බසින් හෙවත් අමිශ්‍ර සිංහල භාෂා ව්‍යවහාරයෙනි. ජයකොඩි පියතුමාගේ ගී පැබැඳුම් ද එසේ ම පැබැඳුණේ විය. එයට බෙහෙවින් හේතු ව‍ූයේ මේ දෙදෙන ම හෙළ හවුල හා සබඳකම් ඇත්තන් වීම යි.

ජයකොඩි පියතුමාගේ භාෂා පටුත්වය හෙළ හවුල ඔස්සේ ලැබුණකැයි කීම නිවැරදි ය. එතුමා තුන් වන ශ්‍රේණි‍ෙයන් පසු සපුරා ම ලබා ඇත්තේ ඉංගිරිසියෙන් කළ ඉගැන්වීමෙකි. එහෙයින් කාව්‍ය කරණයට ප්‍රමාණවත් සිංහල භාෂා නිපුණත්වයත් එ තුමා කෙරේ ව‍ූ හයි නොසිතිය හැකි ය. එතුමා ගේ ම ලියැවිලිවලින් හෙළි වන පරිදි, සිංහලය මැනැවින් හදාරා ඇත්තේ හෙළ හවුලේ දෙ වන නයුවාණන් (නායකයාණන්) ව‍ූ ජයන්ත වීරසේකරයන් ගෙනි. වීරසේකරයන් මරදානේ සිය නිවෙසේ සිට පියතුමා විසූ බොරැල්ලේ දෙව් මැඳුරට පයින් ම ගොස් සිංහලය උගන්වා එන සිරිතක් පැවැති බව කියැවේ.

හෙළ හවුලින් අනුදත්තේ කෙටි, සරල, කෝමල වදනින් හොබනා පිරිසුදු හෙළ බස් වහරයි. ජයකොඩි පියතුමාගේ හැම ගීයෙක ම යෙදී ඇත්තේ ඒ බස් වහර බව සැලැකිල්ලෙත් විමසා බැලීමේ දී මැනැවින් පෙනේ. එතුමාගේ සුප්‍රකට ‘රේඛාවේ’ ගීත පමණක් නොව, කිතු බැති ගී පවා විමැසීමේදී මෙ කරුණ මැනැවින් පෙනෙයි. ‘නෙළුම් පිපීලා පෙති විසිරීලා’, ‘රෑ තරු බබළනවා’ වැනි ගී එහි ලා මනා නිදසුන් වෙයි. කිතු බැති ගීය හෙළ බස් වහරින් ඔප කළ අනෙක් තැනැත්තා නම් ජයකොඩි පියතුමාට ද වැඩිදුරක් හෙළ හවුල් ම‍ඟෙහි ගිය මෝසැසි (මෝසස්) පෙරේරා පියතුමායි. ජයකොඩි පියතුමාගේ ගී බස් වහරෙහි සියත් ලකුණු (ස්වාධීන ලක්ෂණ) හොඳින් දක්නා ලැබේ. එ‍කක් නම් අව්‍යාජත්වය යි. ගීතයට ආටෝපයක් දෙනු සඳහා භාවාත්මක නොවූ විසිතුරු වදන් යෙදීම මෙහිලා දක්නා නො ලැබේ. හැම වදනක් ම මෙන් ශබ්ද ධ්වනියෙන් ද අර්ථ ධ්වනියෙන් ද පරිපූර්ණ ය. පියතුමා ඉංගිරිසි කාව්‍ය සාහිත්‍ය‍යෙහි ලා ගැඹුරු දැනුමෙකින් හොබනා බව ඉතා පතළ නමුදු සිංහල ගීත රචනයෙහිලා එහි ආභාසය නොලද තරම් වීය‍. (ජය‍කොඩි පියතුමා ඉංගිරිසි ගීත රචනයෙහි ද ප්‍රවීණයකු වූ බව මෙහි ලා සටහන් කළ යුතු ය) ගීත රචකයකු වශයෙන් එ තුමා හා සම කාලිකයකු වූ ද එ තුමාටත් වඩා හෙළ හවුල් මඟෙහි ඉදිරියට ගියා වූ ද එතුමා සේ ම ඉංගිරිසි සාහිත්‍යය පිළිබඳ අවබෝධයෙන් යුක්ත වූ ද විශිෂ්ට රචකයකු ව‍ූ හියුබත් දිසානායකයන්ගේ ඇතැම් ගීත හා ජයකොඩි පියතුමාගේ ගීත සසඳා බලන කල්හි යට කී කරුණු මැනැවින් පැහැදිලි වනු ඇත. දිසානායකයන් ගේ ‘සුවඳ රෝස මල් නෙළා’, ‘කෝකිලයන්ගේ’, ‘මේ හෝපලු වනයේ’ වැනි ඉතා උසස් පැබැඳුම්හි පවා යම් දුරකට කෘත්‍රිම භාවයක් තැවැරී ඇතැයි නොපෙනෙන්නේ නො‍වේ. ජයකොඩි පියතුමා ම පවසා ඇති පරිදි, ඉංගිරිසියට හුරු වැ තුබූ සිය ඇඟිල්ල (අත) සිංහලයට - සිංහල කවියට - හුරු වන්නට වූයේ හැත්තෑ පස් වන වියෙන් පසු ව ය. එයින් කියැවෙන්නේ එ තුමා ගේ සුප්‍රකට ගීත ලියන අවදියේ දී බෙහෙවින් හුරු වැ සිටියේ ඉංගිරිසි රචනයට බව යි. එසේ නම්, ඉංගිරිසි ආභාසයෙකින් තොර වැ අව්‍යාජ සිංහලත්වයක් මේ ගී වල දක්නා ලැබෙනුයේ කෙසේ ද? එයට පිළිතුර පියතුමාගෙන් ම ලැබේ.

“මගේ පසුබිම ගැමි ය. ගමේ කජු ගහ, අඹ ගහ, කහට ගහ, බක් මී ගහ, දිය කඩිති, වැව්, වෙල්, පන්විල් මගේ සිතැඟියෙහි ගැබ් වී තිබේ.

“මා නො දැන සිටි මල් ගහක් ගමේ තිබුණේ නැත. ඇළේ කබර ගොයා ද විලේ කොක් රෑන ද හොඳින් දැන සිටියෙමි. ඔවුනට මා කතා කළේ නම කියා ය.

“එදා මා දුටු කබර ගොයාත්, නෙළුම් මලක්, කොකුන් රැළත් පසු කලෙක මගේ ගීවලට ආවා මතක ය.”

පියතුමා ම පවසන පරිදි,

“බාල වියේදී දකින ඇහෙන දේ පසු කලෙක බලපාන සැටි මෙයින් පෙනේ.”

මෙරට කිතු සසුනට ‘දේශීයත්වය’ ගෙන ආ තැනැත්තා ලෙස මර්සලින් ජයකොඩි පියතුමා හඳුන්වනු ලැබේ. එතුමා ගේ ගීත රචනා මඟින් හෙළි වන පරිදි මේ දේශීයත්වය, ඇතැම් කතෝලිකයන් මෙන් බටහිර නැඹුරුවේ අච්චුවට වාත්තු කළ කෘත්‍රිම දේශීයත්වයක් නො ව අව්‍යාජ සිංහල දේශීයත්වය යි.

ජයකොඩි පියතුමාගේ ගීත අතුරින් බෙහෙවින් ජනප්‍රිය වැ ඇත්තේ චිත්‍රපට ගීත යි. ඉනුදු රේඛාවේ ගීත විශිෂ්ටතම සේ ගැනේ. එහි ලා සුනිල් සාන්තයන් ගේ ද දායකත්වයක් ඇතැයි හෙළි වැ ඇත. ‘මනමාලයෝ’ චිත්‍රපටයට ලියූ ‘චිංචි පිංචි පුංචි පැංචි’ ගීතය කලාත්මක වැ එ තරම් නොවටනේ වුව ද (ඇතැම් විදග්ධ රචකයන් අතරින් බැහැර කැරෙන) ජන සාහිත්‍යය ෙකරේ එතුමා දැක්වූ දැඩි නැඹුරුව එයින් විශ ද වේ. මෙ ද කුඩා කල්හි ලද ගැමි පසුබිමෙහි සැබෑ අත්දැකීම්වල ම පලයෙකැ යි සැලැකිය හැකි ය. (මේ ගීයෙහි අරුත නොවටහාගෙන එය සකස් කළ සංගීතඥයකු අතින් ගීයට මහත් හානියක් සිදු වැ ඇත.)

චිත්‍රපට ගීත බොහෝ විට ලියන්නට සිදු වනුයේ චිත්‍රපට කථාවට - එහි සිද්ධිවලට - ගැළපෙන පරිදි ය. එයින් රචකයා ‍ෙග් සාමර්ථ්‍යය සපුරා හෙළි නොවිය හැකි ය. ජයකොඩි පියතුමාගේ ගීත වනාහි චිත්‍රපටයෙන් වෙන් කොට ගත් කල්හි පවා කලාත්මක අගයෙන් ඉතා ඉහළ තැනක් ලබයි. (කොළඹ සන්නිය චිත්‍රපට ගීතය දුර්වල රචනයක් වුව ද චිත්‍රපටයට ගැළැපෙයි.)

ජයකොඩි පියතුමාගේ නිසර්ග සිද්ධ කවිත්වය ගීත රචනයෙහිලා පිළිබිඹු වන විශිෂ්ටතම අවස්ථාව ලෙස සැලැකිය හැක්කේ ‘කහවන් ගොයමට’ ගීය යි‍. මෙය එක් අතෙකින් ගත් කල්හි ඉතා මනහර වැ ස්වභාවෝක්තිය ගීත රචනය සඳහා යොදාගත් අවස්ථාවකි. එ බඳු රචනා සිංහල ගීත අතර ඉතා දුර්ලභය. අනෙක් අතින්, ජයකොඩි පියතුමාගේ ගීත රචනා කලාවේ අනන්‍ය ලක්ෂණයක් වන පදයෙන් නොගැඹුරු අරුතින් ගැඹුරු නව කාව්‍යෝක්ති නිර්මාණය සඳහා සුවිශිෂ්ට උදාහරණය වන්නේ ද මේ වෙයි.

විහඟ වලා - ගුවන වෙළා

දුර අහසේ නොපෙනී යනවා

කවියක් ගීයට හැරුණ කලක් සේ

ඉපනැලි නළියනවා

කුරුලු රැළක් පියාහඹා යෑම විහඟ වලාවක් ගුවන වෙළා ගැනීම ලෙස දැක්වීම අපූර්ව ‍කාව්‍යෝක්තියෙනි. කෙත් යායක් උඩින් පියාඹා යන විශාල පක්ෂි සමූහයක් නිරූපණය කිරීමට අත්‍යන්තයෙන් උචිත වූ යෙදුමෙකි. කවියක් ගීයට හැරුණ කලක් සේ යනු ද අතිශය මනහර කාව්‍යෝක්තියකි. මෙහි කවිය නම් කුඹුරයි. ගීය නම් ඉපනැලි සුළඟට සෙලැවීම යි.

මුතු අමුණා - ගී මුමුණා

දුර වෙරළට රැළි ඇද්දෙනවා

මින්නේරිය වැව පටසළු ඇඳගෙන

උන්සිලි පැද්දෙනවා

මින්නේරිය වැවේ සෙමෙන් රළ ගසන අයුරු, එයින් නැගෙන සිහින් හඬ මෙයින් දැක්වෙනුයේ වක්‍රෝත්තියෙන් රසවත් වූ වෙසෙසින් සිත් බඳනා නැවුම් කව් යෙදුමෙකිනි.

‘සුදු සඳ එළියේ නල මත පොපියන’, පොඩි රේඛාවෙක රැස් රේකාවෙත මැණිකෙක මුළු ඉරණම සැතැපේ.” වැනි යෙදුම් ද ඉතා අපූර්ව කාව්‍යෝක්ති වෙයි.

මේ සියල්ල සලකන කල්හි මර්සලින් ජයකොඩි පියතුමාගේ ගීත භාෂා ව්‍යවහාරය අතින් ද කාව්‍යාත්මක භාවය අතින් ද ඉතා විශිෂ්ට වූ ද අනන්‍ය ලක්ෂණ සහිත වූ ද ශ්‍රේෂ්ඨ සිංහල ගීත රචනා සමූහයක් ලෙස නො පැකිළ අගය කළ හැකි වෙයි.

 

ශ්‍රීනාත් ගණේවත්ත

Comments