නව වසරේ ප්‍රාර්ථනා ඉටු කර­ග­න්නට සැර­සෙන කලා තරු | සිළුමිණ

නව වසරේ ප්‍රාර්ථනා ඉටු කර­ග­න්නට සැර­සෙන කලා තරු

දින සති මාස ගෙවී ගොස් හෙට දිනයේ නව වසරක් උදාවෙනවා. නව වසරේ උදාවත් සමග අපි හැමෝගෙම සිත් දහසක් බලාපොරොත්තුවලින් පිරී යනවා.මෙය ලොව කාටත් පොදුය.ඒ සැම දෙනෙක්ම අලුත් වසරේ උදාවත් සමඟ ඉදිරියේදී ඉටු කරගන්නට අදිටන් කර ගන්නා ප්‍රාර්ථනා තිබෙනවා‍. කලා ලෝකයේ නමක් දිනූ ජනප්‍රිය ප්‍රවීණ තරු කිහිපයක්ම උදාවන 2018 නව වසරේ සාර්ථක කර ගන්නට අදිටන් කරගත් නව බලාපොරොත්තු ගැන රසඳුනට අදහස් දැක්වුයේ මෙලෙසයි.

කලා කටයුතු වෙනුවෙන් චිත්‍රාගාරයක් අරඹනවා

හැමදෙනාම වගේ මමත් මගේ රසිකයන්ට 2018 වර්ෂය සුබම සුබ නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා. කලාකරුවන් ලෙස අප හැමදෙනාටම තම නිර්මාණාත්මක හැකියාව ගෞරවාන්විතව ගෙන යාමට ඉදිරියටත් හැකිවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා‍. මගේ මතය හැටියට මේ රටට වැදගත් වෙන්නේ කලාකරුවන්ගේ කාර්ය භාරය නිවැරැදිව ඉටු වුණොත් විතරයි. මොකද අද සමහර කලාකරුවන් කරන්නේ ඇවිලෙන ගින්නට පිදුරු දාන එක. එහෙම කලාකරුවන්ට කරන්නට වෙලා තිබෙන්නේ ඔවුන් ක්ෂේත්‍රයේ යම් පසුබ‍ෑමකට ලක්ව ඇති නිසයි. 2018 වසරේදී මේ තත්ත්වය දුරු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම දේශීය ටෙලිනාට්‍ය, චිත්‍රපට, නාට්‍යය කලාවන්ගේ ප්‍රමාණාත්මක දියුණුවක් ඇති කරන්න පුළුවන් නම් ඒ ඔස්සේ රසිකයනට උසස් ප්‍රතිලාභයක් ලබා දෙන්න පුළුවන්. එවන් වකවානුවක් ඇතිවේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

‍මම ලබන වසරේ කලාකරුවන්ට අවශ්‍ය නිර්මාණාත්මක වටපිටාව පවත්වාගෙන යන්නට අවශ්‍ය මූලික අඩිතාලමක් දමන්නට සැලැසුම් කර තිබෙනවා. නිර්මාණ කටයුතු කරන්නට පුළුවන් චිත්‍රාගාරයක් නිර්මාණය කිරීම එම බලාපොරොත්තු වයි. එකම තැනකින් රංගනය, වැඩමුළු, පටිගත කිරීම්, දෙබස් කැවීම් මේ සියල්ල කරන්න පුළුවන් තැනක් ආයතන පරිශ්‍රයක් ලෙස තමයි මෙය ඉදිවන්නේ. එය තමයි 2018 වසරේ මූලිකම බලාපොරොත්තුව.


ජන ගීයට ජන සංගීතය නැවුම් මුහුණුවරක් ගෙන එනවා

අලුත් අවුරුද්ද සෞභාග්‍යවත් වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. හැමදාමත් වගේ 2018 වසරේ දීත් ජන ගීතය හා ජන සංගීතය වෙනුවෙන් වැඩකටයුතු ගණනාවක් ඉටු කර ගන්නට සැලසුම් කොට තිබෙනවා.

ඒ අතර ප්‍රධාන වශයෙන්, රංගිරි TV සහ රංගිරි FM හි පැයකට වතාවක් ජන ගීතයක් විකාශය වෙනවා. ඒත් එක්කම ලක් FM සහ ඒ ෆ්ලස් නාළිකා සමඟ එකතු වෙලා ජනගී ඇසුරින් නිර්මාණය වූ ගීත පටන් ගත්තා. මේ කටයුතු 2018 වසරේදී සාර්ථකව ඉදිරියටත් කරගෙන යාම බලාපොරොත්තුවයි.

ඒත් එක්කම රන්වල බලකායේ ‘යක්කු බොලව්’ රූපමය සංයුක්ත තැටිය 2018 වසරේදී එළිදක්වන්න කටයුතු සූදානම් කරනවා.

ඒ ආශ්‍රයෙන් ම කුඩා ළමයි සඳහාත් සංයුක්ත තැටියක් හා DVD එකක් නිර්මාණය කරන්නට සැලැසුම් සකස් කළා. ඒ වගේ ම ජන සංගීතය ඔස්සේ විවිධ ටෙලිනාට්‍යය වගේ ම වැඩසටහන් සඳහා මම නිර්මාණය කළ තේමා ගීත එකතු කොට රූපමය සංයුක්ත තැටියක් එළිදක්වනවා.

 


කලාව වෙනුවෙන් කැපවෙනවා

අලුත් අවුරුද්ද හැමදෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.

හැමදෙනාටම වගේ 2018 වර්ෂය මටත් වැදගත්. මොකද මේ වසරේ ඉටු කරගන්න බැරිවුණු කටයුතු වගේ ම රංගන කටයුතුත් නව වසරේ දී ඉටුකරගන්නට බලාපොරොත්තු වෙනවා. මේ දවස්වල වැඩි වශයෙන් ම ‘කොන් කළ දෝණි’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වල තමයි යෙදිලා ඉන්නේ.‍

ඒ වගේ ම නව වසරේ දී මම රංගනයෙන් දායක වූ චිත්‍රපට තුනක් තිරගත වීමට නියමිතයි.

‘සුපර්ණා’, ‘විශ්ම’, ‘මා’ ඒ චිත්‍රපට තුනයි. ඒ පිළිබඳවත් ලොකු බලාපොරොත්තුවක් තිබෙනවා. කොහොම වුණත් ලැබ‍‍ූ නව වසර මම රංගනය වෙනුවෙන් කැප වෙන වසරක් වේවි.


2018 වසරේදී අලුත් ම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා

අධ්‍යක්ෂවරයෙක්, සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස මාව ඉදිරියට ගෙන ගිය මගේ රසිකයින්ට, ප්‍රේක්ෂකයින්ට ලබන්නා වූ 2018 වසර සියලු පැතුම් ඉටුවන ප්‍රීතිමත් වසරක් වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. 2018 නව වසරේදී ඉට‍ු කරගත යුතු බලාපොරොත්තු කිහිපයක් ම තිබෙනවා. මේ වනවිට චිත්‍රපට කිහිපයකම සහාය අධ්‍යක්ෂවරයා ලෙස මම කටයුතු කරනවා. ඒ චිත්‍රපට නව වසරේ දී තිරගත වීමට නියමිතයි. ඒ වගේ ම තවත් චිත්‍රපට කිහිපයකටම ආරාධනා ලැබිලා තිබෙනවා. තවත් නවතම කතා තේමාවකින් යුතු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීම 2018 වසරේදී මගේ එක් බලාපොරොත්තුවක්. ඒ වෙනුවෙන් මේ දිනවල තිරපිටපත රචනා කරමින් සිටිනවා. ඉදිරි වසර අලුත්ම චිත්‍රපට පෙළකින් මාව හමුවන වසරක් වේවි. ඒ වගේ ම චිත්‍රපට 100 ක් සහාය අධ්‍යක්ෂණය කිරීම සඳහා යන ගමනේ අලුත් ම පිටුවක් 2018 වසරේදී සම්පූර්ණ වේවි.


කලා නිර්මාණ සමඟ ඉදිරියට යනවා

මේ ලබන්නා වූ නව වසර සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ලංකාවාසීන් සියලුම දෙනාටත් ලොව පුරා විසිරී සිටින මගේ රසිකයන් හැමදෙනාටත් මම පළමුවෙන් ම ප්‍රාර්ථනා කරනවා.

ආර්ථිකය අතින්, සමාජ, සංස්කෘතික වගේ ම දේශපාලනික වශයෙනුත් හොඳ යහපත් පරිසරයක් 2018 වස‍ෙර් දී ඇති වී හැම දෙනාගේ සිත්වල තිබෙන බලාපොරොත්තු ඉටුවේවා කියා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ ම මගේ හ‍ිතෙත් ඉටුකරගත යුතු පැතුම් නම් කිහිපයක් ම තිබෙනවා. ඒ අතර කලා කටයුතු විශේෂයි. මේ වසරේ කරගෙන ආ නිර්මාණ කිහිපයක් ම ලබන වසරේත් ඉදිරියට ගෙන යන්නට බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම නව නිර්මාණ කිහිපයක් ම ලබන වසරේත් ඉදිරියට ගෙන යන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ම නව නිර්මාණ කිහිපයකටම 2018 වස‍‍‍රේදීත් දායක වෙන්නට මට අවකාශ සැලසේවි.

“හැමදාම කල්දාන ඔබේ විවාහය 2018 වසරේදී සිදුවේවිද?” (චන්දික සිනහවෙයි) ඒක 2017 වසරේ නම් සිදුවෙන්නේ නැහැ කියන එක දැන් කියන්න පුළුවන්. ඒත් ඉතින් 2018 වසර කොහොම වේවිද කියන්න බැහැ. මට ඕන විදිහට මගේ දෛවය විසින් තමයි ඉදිරි අනාගතය තීරණය වෙන්නේ. කොහොම වුණත් මට කලා නිර්මාණ සමඟ නම් ඉදිරියට යාවි.” 

 

Comments