සිනා කතා | සිළුමිණ

සිනා කතා

ආපු දෙන්කො!

“හාමිනේ ඔහේ හැමදාම උදේට ගේ අතුගාලා කුස්සිය මුල්ලේ තියන කොස්ස මොකද අද මේ කවදාවත් නැතුව ඉස්තෝප්පුවේ දොර මුල්ලෙන් තියල.”

චන්ද්‍රසිරි කුස්සිය දෙසට හැරී උස් හඬින් විමසුවේ අනපේක්ෂිත ලෙසින් නොනිසි තැනක රැඳුණු කොස්ස දැකීමෙන් වික්ෂිප්තවය.

“ඇයි අනේ ඔයාට ඒකවත් තේරෙන්නෙ නැද්ද? දැන් ඔය ඡන්දෙ ඉල්ලන අපේ හිටපු මැම්බර් මහත්තුරු අද ඉඳලා ගෙවල් ගානෙ එනවලු නේද?” ශාන්ති කීවේ කෝපය සඟවා ගනිමිනි.

පුරුදු නොවී පුළුවන්ද?

“ඔයා දැන් වරුවක් තිස්සේ කණ්ණාඩිය ඉස්සරහ හිටගෙන කට පළල් කරලා හිනාවෙනවා. දෙකට නැමිලා ආයුබෝවන් කියල ආචාර කරනවා. මොකද අනේ ඔයා ඒ සැරේ නාට්‍යයක රඟපාන්ඩ තනියම පුරුදු වෙනවාවත් ද?” මද වේලාවක් තම සැමියාගේ අමුතු හැසිරීම දෙස විශ්මයෙන් බලා සිටි මැටිල්ඩා ඇසුවා ය.

“ඔයා මේ විකාර කතා කරනවද? නාට්‍ය රඟපාන්ඩ පුරුදු වෙනවා නෙමෙයි මම මේ ඡන්දෙදි ජනතාවට මුහුණ දෙන්න පුරුදු වෙනවා.” රෝහිත කීවේ ය.

කරන්ඩ ඕනෙ ඒකද?

“උඹලා තරහ වෙන්ඩ නං එපා. මම පරක්කු වුණේ සාධාරණ හේතුවක් ඇතුව. වැඩ ඉවරවුණු ගමන් මම ගෙදර ආවේ වොෂ් එකක් දාගෙන ඉක්මනට මෙහේ එන්ඩ හිතාගෙන. ඒත් ගෙදරට ගොඩවෙන ‍කොට අපේ වයිෆ්කාරයා කට අතකින් තද කරගෙන කෙඳිරිගානවා, කට අරින්ඩ බැරි විදියට දතක කැක්කුමක් අල්ලලා. ඉතින් එයාව දත් දොස්තර ළඟට එක්ක යන්ඩ වුණා. ඒකයි පරක්කු වුණේ.” තම මිතුරන් හා එක්ව කලින් සංවිධානය කළ සාදයට පමාවීමට හේතු දක්වමින් සෙනෙවි කීවේ සමාව අයදමිනි.

“උඹනං පුදුම බඩුවක් තමයි මචං. යකෝ, උඹමනෙ අපිට හැමදාම කියන්නෙ උඹේ ගෑනි කට ඇරියාම පළාතක් ම ඉවරයි කියලා, ඒ කට පාලනය කරගන්ඩ බ ැරුව උඹ පුදුම අමාරුවක වැටිලා ඉන්නේ කියල. ඉතින් දතක් නරක්වෙලා හරි ඒ කට වැහිලා තියෙන කොට, උඹ කරන්ඩ ඕනෙ ඒ කට ඇරගන්ඩ දත් දොස්තර කෙනෙක් ළඟට යන එකද?” සේනාධීර කීවේ හිස් වීදුරුවක් සෙනෙවි වෙත දිගු කරමිනි.

කුලේ නිසා මුළා වෙයිද?

“ඔයා මට ඇත්තම කියන්ඩ කුලේ. මාව කසාද බඳිනවයි කියල පොරොන්දු වෙලා ඔයා මාව මුළාවේ දාන්නෙ නෑ නේද?” පෙම්වතිය තම පෙම්වතාගෙන් ඇසුවේ බස් රථයේදී ය.

“ඔයාට පිස්සුද මල්කාන්ති, මම කවදාවත් ඔයාව මුළා කරන්නෙ නැහැ. මොකද ඔයා‍මේ විදියට හිටපු ගමන් සැක පහළ කරන්ඩ ගත්තෙ.” කුලසේකර තම පෙම්වතිය දෙස බලා ඇසී ය.

“නෑ අනේ අපේ ඔෆිස් එකේ කොල්ලකේ දවල් ලන්ච් ‍බ්රේක් එකේදි කෑම කන ගමන්, මගේ දිහා බලලා ‘සමාන වී ඉපදී දිවි තලාවේ - කුලේ නිසා ලොව සමහරු මුළාවේ’ කියල සිංදුවක් කිව්වනෙ.” මල්කාන්ති කීවේ ශෝකයෙනි. 

Comments