අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දෙවරක් ම පාසලෙන් | සිළුමිණ

අ.පො.ස. (සාමාන්‍ය පෙළ) දෙවරක් ම පාසලෙන්

අ.පො.ස. සාමාන්‍ය පෙළින් තරුණ ජීවිතවල ඉරණම තීරණය කරයි. සෑම පවුලකම ආසන්න ඥාති දරුවෙක් මෙම විභාගයට පෙනී සිටින හෙයින් මෙම විභාගය සෑම පවුලක් කෙරෙහි ම යම් බලපෑමක් කරයි. ඔවුන්ගේ බලාපොරොත්තුව සියලු දරුවෝ සමත් වෙනවා දකින්නට ය. එහෙත් එම බලාපොරොත්තුව එලෙසින් ම ඉටු නොවේ.

2016 දී සා.පෙළ විභාගයට (ප්‍රථම වරට) පෙනී සිටි සංඛ්‍යාව 286257 කි. මේ අයගෙන් අසමත් ව‍ූ සංඛ්‍යාව 85875 කි. 2017 දී මෙම සංඛ්‍යාව තරමක් ඉහළ යනු ඇත. විභාගය අසමත් වීම නිසා ඉතා අනර්ථකාරී ප්‍රතිඵල ගෙන දෙයි. උසස් පෙළට, විශ්වවිද්‍යාලයට, තාක්ෂණික විද්‍යාලයකට ප්‍රවේශවීම වළක්වයි. රැකියාවකට අයදුම් පත්‍රයක් යැවීම වළක්වයි. අසමත් වන්නෝ හැඳුනුම්පතක් නැති, ඇඩ්ඩ්‍රස් නැති තත්ත්වයකට පත්වෙති. අවුරුදු 11 ක් තිස්සේ නොයෙක් බාධා මැද පාසලට බඩගා අන්තිමට හිස් අතින් ගෙදර නැවතී අවසානයේ කල්ලි අතර අනාථවීම ඛේදවාචකයකි.

සෑම කෙනෙකුටම ගැළපෙන ජීවන වෘත්තියක් අවශ්‍ය වේ. සා.පෙළ අසමත් වන්නන්ට රැකියාවක් සොයා ගැනීමට බාධාවක් වන්නේ ඵලදායි වෘත්තීය පුහුණුවක් සඳහා ප්‍රවේශවීමට හෝ කිසිම ඇබ‍ෑර්තුවකට අයදුම්පතක් ඉදිරිපත් කිරීමට ඔවුන්ට නොහැකි වීම හේතුවෙති. සා.පෙළ සමත්වූවන්ට වඩා අසමත් ව‍ූවන්ගේ රැකියා විරහිත භාවය ඉහළින් පැවතීම (Education for All, Unesco – MoE 2008) එම තර්කය නිවැරැදි බව සනාථ කරයි.

රැකියා විරහිත භාවයට හේතුව වෘත්තීය පුහුණුවක් නැති වීම යැයි තාවකාලිකව පිළිගනු ලැබුව ද අනෙකුත් සමාජ අවශ්‍යතාවලට හේතුව වෘත්තිය පුහුණුවක් නැතිකම ද සා.පෙළ අසමත් වීම ද යන ප්‍රශ්නය ඉස්මතු වේ.

දරුවන්ගේ මෙන් ම දෙමවුපියන්ගේ අවශ්‍යතාව කුමක්ද? 11 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවන්ගේ අවශ්‍යතාව ක්ෂණික ප්‍රාර්ථනය පහළ මට්ටමේ වෘත්තිකයකු වීමට පුහුණු වීම නොව සා.පෙළ සමත් වීමයි. ඔවුන්ගේ අවශ්‍යතාව වෘත්තිය පුහුණුවක් නම් 8,9,10 යන ශ්‍රේණි‍යක් අවසානයේදී රටේ විසිරී පවත්නා කාර්මික විද්‍යාල 38, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන 244, ජාතික තරුණ සේවා සභාවේ මධ්‍යස්ථාන 50 යන ඒවායින් එකකට ගොස් පුහුණුවක් ලැබිය හැකිව තිබුණි.

තවද සා.පෙළ මූලික සුදුසුකම නොමැතිව ලබාගත හැකි වෘත්තීය පාඨමාලාව කුමක්ද? පුහුණුව කුමක්ද? අවුරුදු දෙකක පුහුණුවක් ලැබුව ද ඔවුන් පිළිගන්නා ස්වාමිවරු කවුරුද? එ නිසා ප්‍රසිද්ධ සටන් පාඨයට අප වසඟ විය යුතු නැත. සා.පෙළ අසමත් වන අයගේ ප්‍රමුඛතාව ක්ෂණික අපේක්ෂාව දෙවනවරට හෝ සා.පෙළ සමත් වීමයි.‍

සා.පෙළ අසමත් වූවන්ගේ මනෝභාවය ද අවශ්‍යතාව ද විසඳුම ද දසක කීපයකට පෙර විසූ වගකිව යුත්තෝ දැන අනුකූලව කටයුතු කළහ. සා.පෙළ අසමත් වූවන් අඛණ්ඩව එම පාසලේ එම පන්තියේ ම ඉගෙනීමට සලස්වා දෙවන වරට ද විභාගයට පෙනී සිටීමට උගන්වා විභාගය සමත් කර දුන්හ‍. එම සේවය දිගින් දිගටම කරගෙන යෑමට නොහැකි වූයේ එම ක්‍රමයේ පැවැති දුබලතාවක් නිසා නොවේ. ශිෂ්‍ය ගහනය වර්ධනය වීමේ ප්‍රතිඵලයක් වශයෙන් පාසල්හි ඉඩකඩ මඳවූ නිසා ය. එම ඉඩකඩ නැවත සැපයිය හැකි නම් ඉහත කී සේවය ද සැලැස්විය හැකි විය යුතු ය. එම ඉඩකඩ සලස්වන්නේ කෙසේ දැයි බලමු‍.

මගේ වෙනත් යෝජනාවක් අනුව ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම වඩා යෝග්‍ය වන්නේ 5 වැනි ශ්‍රේණියේ දී නොව 6 වැනි ශ්‍රේණියේ දී ය. එවිට ශිෂ්‍යයන් ඇතුළත් වන්නේ ද්විතීය පාසලේ 6 වැනි ශ්‍රේණියට නොව 7 වැනි‍ ශ්‍රේණියට ය. ඒ අනුව දිවයිනේ ද්විතීය පාසල්හි හය වැනි ශ්‍රේණියේ සියලු පහසුකම් ගුරුවරු අතිරික්ත වේ.‍ අපගේ අදහස නම් සා.පෙළ විභාගය පැවැත්වීම යෝග්‍ය වන්නේ 11 වැනි ශ්‍රේණියේ දී නොව 10 වැනි ශ්‍රේණියේ දී ය. එවිට 11 වැනි ශ්‍රේණියේ සියලු පහසුකම් ගුරුවරු නිදහස් වේ. මෙසේ පන්ති දෙකක් සඳහාම යටිතල පහසුකම් නිර්මාණය වේ. මේ ඉඩකඩ සා.පෙළ අසමත් වන ශිෂ්‍යයන්ට පාසලේ අඛණ්ඩව රැඳෙමින් දෙවැනි වරට සූදානම් වන පන්තියක් පැවැත්වීමට පහසුකම් ඕනෑවටත් වඩා නිර්මාණය වෙයි.

10 වැනි ශ්‍රේණියේ දෙසැම්බර් මස පවත්වන සා.පෙළ විභාගයට පෙනී සිටින ශිෂ්‍යයෝ අද මෙන් ‍සමසක් ඉබාගාතේ යන්නේ නැතිව කෙළින් ම ඊළඟ වර්ෂයේ ජනවාරියේදී යෝජිත 11 වැනි ශ්‍රේණියට පිවිසෙති.

එහිදී සා.පෙළ ප්‍රතිඵල එන තුරු සියලු ශිෂ්‍යයෝ සමසක වෘත්තීය තාක්ෂණික පාඨමාලාවක් හදාරති. (මේ අතර එක් පාඨමාලාවක් සා.පෙළ සඳහා විද්‍යාව/ ගණිතය විය හැකි ය.) සා.පෙළ ප්‍රතිඵල අනුව සුදුසුකම් ලද්දෝ ජූලි මාසයේදී උසස් පෙළ පන්තියට ප්‍රවේශ වෙති. අසමත් වන්නන් සහ ඉහළ සම්මාන අපේක්ෂා කරන්නන් පුනරීක්ෂණ පන්තියට ඇතුළත් වනවා ඇත. මෙහිදී ඉංග්‍රීසි, ගණිතය හා විද්‍යාව යන විෂයයන් කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ඇත. මේ හේතු කොට ගෙන මඟ හැරෙන විවිධ බාධාවන්ට අමතරව උපකාරක පන්තිවලට ගාස්තු ගෙවීමට නොහැකි වී‍ෙම් දුෂ්කරතාව ද මඟ හැරෙනු ඇත.

මෙවර ඕනෑකමකින් හා අධිෂ්ඨානයකින් ඉගෙන ගන්නා අසමත්තු දෙසැම්බර් විභාගයට සාර්ථකව මුහුණ දී තම අවශ්‍යතාව ඉටු කර ගන්නවා ඇත. සා.පෙළ දෙවැනි වරට පෙනී සිටීමෙන් පසු අඛණ්ඩව ඊළඟ වර්ෂයට (12 වැනි ශ්‍රේණියට) ප්‍රවේශව තවදුරටත් හය මාසයක අවුරුද්දක වෘත්තිය පුහුණුවක් ලැබීම ද ඔවුන්ට පහසුකම් සැලසේ. මේ ව්‍යාපෘතිය යටතේ වර්ගීකරණයකින් තොරව සා.පෙළ සියලු ශිෂ්‍යයෝ අවම වශයෙන් හය මාසයක වෘත්තිය පුහුණුවක් ලබති.

පළමු වරට අසමත් වන්නෝ දෙවැනිවර සා.පෙළ සමත් වෙති. එපමණක් නොව තවත් සමසක හෝ අවුරුද්දක හෝ වෘත්තීය පුහුණුවක් ද ලබති.

 

 ඒ.එම්.එස්. ජයවීර

ජාතික අධ්‍යාපන ආයතනයේ

විෂයමාලා සංවර්ධන අංශයේ

හිටපු අධ්‍යක්ෂ 

Comments