ජීවිතය දිගු වේවා... | සිළුමිණ

ජීවිතය දිගු වේවා...

විතානයන්ගේ සාහිත්‍ය විචාරය ඉතා සංයමයකින් යුතුය. බැන හඬ ගැසීම් නැති එම විචාරය සුහද සංවාදයක විලාසය මවාපායි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සමඟ ගුණසේන විතානයන් කළ විවාදය ඉතා ප්‍රකට ය. විවාදය නිම වනවාත් සමඟ මහාචාර්ය සරච්චන්ද්‍රයෝ ගුණසේන විතානයන්ගේ නිවසට පැමිණි අසිරිමත් මොහොත අමතක කළ නොහැකිය.

ගුණසේන විතානයන්ගේ නිර්මාණවලියෙහි අනගි මිණිමුතුසේ දිලෙන ළමා සාහිත්‍ය කෘති දරුවනට සුමිහිරි මකරන්දයක් වූ බව නිසැකය. “මහීගේ දරුවෝ” ළමා කෘතිය ජර්මන් භාෂාවටත්, ඉංග්‍රිසි භාෂාවටත් පරිවර්තනය කර පළකර ඇත. “පුදුම නලාව” යුක‍්රේනයේ දරුවන් අතර ඉතා ප්‍රකට ය. “දතසුදු මාමා, හඳයගෙ පංගුව” වැනි ළමා කෘතීන් ගෙන් කරුණු මුදු ගුණයෙන් සදිසි චරිතයන් නිර්මාණය වූවා පමණක් නොව, එයින් දරුවන්ගේ අාධ්‍යාත්මික ලෝකය ද ආලෝකවත් වූ බව නොරහසකි. අභ්‍යාස වෘද්ධ භාවයෙන් සපිරි විතානයන් ළමා සාහිත්‍ය තුළින් නව මිනිසා ගොඩනැඟීමට ගත් වෙහෙස ප්‍රශංසනීය වේ. අද සිදුවී ඇත්තේ අභ්‍යාසයෙන් තොරව වගකීම් නොමැතිව ළමා පොත් වෙ‍ෙළඳපොළ වෙත ගලා ඒමය.

ගුණසේන විතානයන්ගේ සාහිත්‍ය දිවි ම‍ඟෙහි ඉතා අනගි පැතිකඩක් වූයේ හෙළයේ මහගත්කරු මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ඇසුරය. දෙවන ‍ලෝක යුද්ධය නිසා මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ට අහිමි වී ගිය කුඩා අවදියේ උපන් මහගෙදර නැවත ආපසු ලබාදීමට කැපවූයේ ගුණසේන විතානයන්ය. ඒ පිළිබඳ ඔහු ලියා ඇති ‘වාර්තා කිරීමක් පමණි’ කෘතිය අතීත මතකය අමතන භාව ප්‍රකාශනයකි.

ගුණසේන විතානයන් ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලයේ සභාපති තනතුර හොබවමින් සාහිත්‍යයට කළ සේවය අතිමහත් ය. එහෙත් එය නොහඳුනාගත් පිරිසක් ද වූහ. කිසිදු වැටුපක් නොගෙන අධ්‍යාපන අමාත්‍යාංශයට ඔහු කළ මෙහෙවර ඉතා විශිෂ්ට ය. නින්දා අපහාස, කර්කශ විවේචන පමණක් නොව පැසසුම් සමසිතින් විඳ ගැනීමේ අපූරු ශක්තියක් විතානයන් සතු ය. මිනිසුන්ගේ දුබලකම්වලට දයාබරව සිනාසීම පමණක් නොව සෙනෙහස පෑ මිනිසුනට වුවද එකසේ සැලකීම විතානයන්ගේ චරිතයේ එක් ලක්ෂණයකි. පියකරු මතකයන් සේම අමිහිරි වේදනාවන්ගෙන් ද විතානයනගේ ජීවිතය සැරසී ඇති බව නිසැකය. ජාතික සමගිය නිර්මාණවලට පමණක් සීමා නොකළ විතානයෝ ඩොමිනික් ජීවා, මහාචාර්ය කෛලාසපත්, මහාචාර්ය සිවතම්බි, ක්ලීඩා බෙගම් සිවගුරුනාදන්, කේ සාන්දන් සාහිත්‍යකරුවන් සමඟ මිත්‍ර සන්ථවයකින් පසුවූහ; සාමය වෙනුවෙන් දෑත් දිගුකළහ; අන්තවාදය වෙනුවෙන් වෙඩි බෙහෙත් නොසැපහූහ. අන්තවාදීන් විසින් ගිනිබත් කරනු ලැබූ යාපනේ පොත්ගුල දැවෙන අයුරු සිය­ැසින් ම බලා හඬා වැටුණ එකම සිංහලයා ද ගුණසේන විතානයන් ය. ජීවිතයේ දිගු කලක් සාහිත්‍ය චාරිකාවේ නිරතවූ ගුණසේන විතානයන්ට චිරජීවනය පැතීමට සිරිලාල් කොඩිකාරයන්ගේ පබැදුම වඩාත් උචිත ය.

“මේ මහඟු සේවය
තව තවත් ඉටුවීමට
ජීවිතය දික්වේවා
තව හැත්තෑ පස්වසක්” 

Comments