
ඉතාලිය හරහා මෙජිගොරියේ රටට කරන මෙම සංචාරයේදී අප දැක බලා වන්දනාමාන කරගත් ස්ථාන බොහෝමයකි. ඒ අතරින් ඉතාලියට පාතැබූ පළමු දිනයේ මුලින්ම අප ගියේ පාප් වහන්සේ වැඩසිටින ලොව කුඩාම රාජ්‍යය වන වතිකානයටයි. වතිකානයේ සාන්ත පීතර චතුරස්‍රය සහ සිස්ටීන් දෙව්මැඳුර දැකගත් අප ඊළඟට ගියේ වතිකාන කෞතුකාගාරය දැක ගැනීමටයි. ගඩොලින් තැනූ දැවැන්ත තාප්පයකින් වටවුණු වතිකානයේ පසුපස මෙම වතිකාන කෞතුකාගාරයට පිවිසෙන දොරටුව තිබෙනවා. අපගේ මඟ පෙන්වන්නිය රොබින් මහත්මිය සමඟ එහි ඇතුළු වුණු අපට ඇය මඟ නොහැර ඇය අසලින්ම සිටිමින් ගමන් කරන්නට සිදුවූයේ විවිධ රටවල සංචාරකයින් දහස් ගණනක් එය නරඹන්නට පැමිණ සිටි හෙයිනි.
වතිකාන කෞතුකාගාරය යනු අතීතයේ වැඩ සිටි පාප් වහන්සේලා භාවිතා කළ හා උන්වහන්සේලා එක්රැස් කළ විවිධ කලා නිර්මාණ එක්රැස් කර මහජන ප්‍රදර්ශනය පිනිස තබා ඇති ස්ථානයයි. මෙහි පුබුදු යුගයේ ( රෝමයේ පුනරුද යුගයේ) වටිනා නිර්මාණ රාශියක් තිබීම වැඩි වටිනාකමක් ලැබීමට හේතුවකි. මෙම කෞතුකාගාරය තුළ සංරක්ෂණය කර ඇති මුළු නිර්මාණ දළ වශයෙන් 70 000 ක් පමණ වන අතර මහජන ප්‍රදර්ශනයට තබා ඇත්තේ එයින් 20 000 ක පමණ සංඛ්‍යාවකි. මෙම කෞතුකාගාරය ආරම්භ කර ඇත්තේ දෙවැනි ජුලියස් පාප් තුමා විසිනි. මෙහි ආරම්භය සිදුවූ ආකාරය රොබින් විස්තර කර දුන්නේ මෙලෙසිනි.
රෝමයේ මේරි මෙජර් බැසිලිකාව අසල මිදි වත්තක තිබී ක්‍රි.ව. 1506 ජනවාරි 14 වැනිදා විශාල සර්පයින් විසින් ලැවොකූන් සහ ඔහුගේ පුත්‍රයන්ට පහරදෙන ආකාරය දැක්වෙන කිරිගරුඬ ප්‍රතිමාවක් (Laocoon) සොයාගෙන තිබෙනවා. එම දිනවල වතිකානයේ කලා කටයුතු වල නියැලී සිටි මයිකල් ආන්ජලෝ සහ ගියුලියානෝඩා සැන්ගලෝ යන දෙදෙනාට මෙම ප්‍රතිමාව පෙන්වා ඇති අතර එහි වටිනාකම පහදා දීමෙන් පසු පාප්තුමා විසින් එය මිලදීගෙන මෙහි තැන්පත් කර තිබෙනවා.එයින් මාසයකට පසුව මහජනයාට දැකගැනීමට අවස්ථාව ලබාදී ඇති අතර එය මෙම කෞතුකාගාරයේ ආරම්භය ලෙස සැලකෙනවා.
මෙම කෞතුකාගාරය පවත්වාගෙන ගොස් ඇත්තේ කුඩා ගොඩනැගිල්ලක වන අතර නව ගොඩනැගිල්ලක් හදන තුරු Art gallary කොටස Borgia Apartment ස්ථානයේ පවත්වාගෙන ගොස් ඇති අතර ii වැනි පියුස් පාප්තුමා නව ගොඩනැගිල්ලක් තැනීමට අවසර ලබා දෙන තෙක් මෙම ගොඩනැගිල්ල තනා 1932 ඔක්තෝබර් 27 වැනිදා විවෘත කර තිබෙනවා. මෙහි ලියනාඩෝ ඩාවින්සි ගේ වනගත ශාන්ත ජෙරම්, කාවේගියස් සිතුවම් කළ භූම දානය, පෙරුගිනොස් සිතුවම් කළ ශුද්ධවන්තයන් සමඟ සිටින මැඩෝනා සහ දරුවා, මළවුන්ගෙන් නැගිටීම, ෆිලිප්පෝ ලිප්පි සිතුවම් කළ මරුසුපිනි අභිෂේකය වැනි අතිශයින් දුර්ලභ සිතුවම් දැකගත හැකියි. මෙම කෞතුකාගාරයට නූතන ආගමික චිත්‍ර ඇතුළත් කිරීම ආරම්භ කර ඇත්තේ 1973 වසරේදී. ඒ අනුව කාලෝ කාරා, ජෝර්ජියෝ ඩි චිරිකෝ, වින්සන්ට් බෑන් ගොහ්, පෝල් යූජින්, මාක් චැගාල්, පෝල් ක්ලී, සැල්ටඩෝ ඩාලි සහ පැබ්ලෝ පිකාසෝ යන චිත්‍ර ශිල්පීන්ගේ සිතුවම් මෙහි දැකගත හැකියි.
මෙම කෞතුකාගාරයේ දැකිය හැකි නිර්මාණ අතර මූර්ති වලට සුවිශේෂී ස්ථානයක් හිමිවෙයි. ඒ අනුව නිර්මාණවල ඇති විවිධත්වය මත මෙම ගැලරි කොටස් 4 කින් සමන්විත වෙයි.
පියෝ ක්ලෙමෙන්ටිනෝ ( Museo Pio- Clementino), චියරමොන්ටි (Museo Chiaramonti), ග්රෙගරියානෝ එට්රුස්කෝ (Museo Gregoriano Etrusco)සහ ග්රෙගරියානෝ එගිසියානෝ (Museo Gregoriano Egiziano) ලෙස ඒවා හඳුන්වයි.
පියෝ ක්ලෙමෙන්ටිනෝ ගැලරිය 1771 වසරේදී 14 වැනි ක්ලෙමන්ට් පාප්තුමා විසින් ආරම්භ කර ඇති අතර 6 වැනි පියුස් පාප්තුමා එය විශාල කර තිබේ. පෞරාණික මෙන්ම පුබුදු යුගයට අයත් ප්‍රථිමා මෙන්ම ග්‍රීක සහ රෝම ප්‍රථිමා මෙහි දැකගත හැකියි. විශේෂයෙන් කොන්ස්තන්තීනු අධිරාජයාගේ මව වන ශාන්ත හෙලේනා තුමියගේ සහ දියණියගේ ප්‍රථිමාව, ග්‍රීක දෙවඟනක් නිද්‍රාවක පසුවන ප්‍රථිමාව (Sleeping Ariadne), පුරාතන උඩුකය ප්‍රථිමා, පුරාතන යුගයේ වෙස්මුහුණු, ඇපලෝ සහ දේව සොයුරියන් නම දෙනා මෙන්ම පුරාතන සත්වයින්ගේ ප්‍රථිමා මෙහි දැකගත හැකියි.
චියරමොන්ටි ගැලරිය 7 වැනි පියුස් පාප්තුමා ගොඩනගා තිබේ. මෙහි යොදා ඇති චියරමොන්ටි යනනම උන්වහන්සේ පාප් පදවිය ලබන්නට පෙර තිබූ වාසගමයි. මෙම කෞතුකාගාරයේ ඇති විශාලම ආරුක්කු ඇති ගැලරිය මෙයයි. මෙහි සිවිලිම මයිකල් ආන්ජලෝගේ සිතුවම් සහ චිත්‍ර වලින් අලංකාර වී තිබේ. ඔගස්ටස් අධිරාජ්‍ය යාගේ ප්‍රථිමාව, නයිල් නදියේ ප්‍රථිමාව හර්කියුලීස් වීරයාගේ ළමා කාලය දැක්වෙන ප්‍රථිමා මෙහි දැකගත හැකිය. පයෝධර විශාල සංඛ්‍යාවක් සහික සශ්‍රීකත්වයේ දෙවඟනගේ ප්‍රතිමාවද මෙහි දැකගත හැකි අතර මෙම ප්‍රථිමාවල ජීවමාන මිනිසුන්ගේ මෙන් මාංශ පේශි නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. එසේම සාමාන්‍ය ජනයාට විවෘත නොවුණු කොටසක ශිලා ලේඛන 3000 ක් පමණ තිබේ.
ග්රෙගරියානෝ එට්රුස්කෝ ගැලරිය කුඩා ගැලරි 8 කින් සමන්විත වන අතර 16 වැනි ග්‍රෙගරි පාප්තුමා 1836 මෙය ගොඩනගා තිබේ. පුරාවිද්‍යාත්මක කැනීම් වලින් සොයාගත් මැටි බඳුන්, ලෝකඩ නිර්මාණ, ගල් මිනීපෙට්ටි වැනි දේ මෙහිදී දැක ගත හැකිය.
ග්රෙගරියානෝ එගිසියානෝ ගැලරියේදී දැක ගත හැක්කේ ඊජිප්තු නිර්මාණයි. පරණ ගිවිසුම සමඟ සම්බන්ධයක් ඇති නිර්මාණ මෙහි ඇති අතර බයිබලයේ පරණ ගිවිසුම අධ්‍යයනය කරන්නකුට වැදගත් තොරතුරු සහ විද්‍යාත්මක වටිනාකමක් ඇති පැපිරස් , සත්ව මමි, සහ Book of Dead හි අනුරුවක් මෙහිදී දැකගත හැකිවීම විශේෂත්වයයි.
මෙහි ඇති තවත් ගැලරියක් වන්නේ වතිකානු ඓතිහාසික ගැලරියයි.( Vatican Historical Museam) මෙහි 16 වැනි ශත වර්ෂයේ සිට වර්තමානය දක්වා පාප් වහන්සේලාගේ උඩුකය චිත්‍ර, පාප්තුමන්ලා පාවිච්චි කළ සහ ගමන් බිමන් යාමට භාවිතා කළ ගැල් වල සිට මෝටර් රථ දක්වා නිර්මාණ දැකිය හැකිය. එසේම මුල් යුගයේ ගල් මිනී පෙට්ටි, සොහොන් කොත්, ප්‍රථිමා ආදියද තිබේ.
මෙම කෞතුකාගාරයේ ඇති තවත් ගැලරියක් වන්නේ සිතියම් ඇතුළත් ගැලරියයි. මෙහි මුළු ඉතාලියම ඇතුළත් කොට නිර්මාණය කරන ලද භූ ලක්ෂණ සිතියම දැකගත හැකිය.එසේම අතින් නිර්මාණය කරන ලද අන්තිම භෝජනය, උත්ථානය වැනි ජේසුස් වහන්සේගේ ජීවිතයේ විවිධ අවස්ථා නිරූපිත විශාල බුමුතුරුණු මෙහිදී අප විශ්මයට පත්කරයි. දවස් ගණනාවක් ගත කළද නරඹා අධ්‍යයනය කළ නොහැකි තරමේ ඓතිහාසික, කලාත්මක, පෞරාණික නිර්මාණ වලින් පිරුණු මෙම කෞතුකාගාර සංකීර්ණය දැකගන්නට ලැබීම සැබැවින්ම වාසනාවකි.
ලබන සතියේ ජේසු බිලිඳුන් ඉපදුණු ගව ඔරුව දැකගන්නට Santa Maria Maggiore බැසිලිකාවට යමු.