සිනා කතා | සිළුමිණ

සිනා කතා

හම්බවුණේ නැද්ද ?

“ඔය මොකද අනේ පසළොස්වක පෝය ලබන්ඩ සුමාන දෙකකටත් වඩා කල් ‍තියෙද්දී ඔයා මේ සිල් රෙද්දක් පොරවා ගෙන හැඩ බලන්නේ ? කොහෙන්ද හැබෑට ඔයාට මේ අලුත්ම සිල් රෙදි?” තම මිතුරියගේ නිවසට ගොඩවු සේපාලිකා සිල් රෙද්දක් පොරවාගෙන තම නිවසේ කණ්ණාඩිය ඉදිරිපිට සිටි රෝහිණී දෙස බලා ඇසුවේ තරමක කුහුලකිනි.

“ඇයි අනේ ඔයා මේ සිල් රෙදි හම්බවුණේ නැද්ද ? ඊයේ රෑ අපේ මැම්බර් මහත්තයා හැම ගෙදරකටම වගෙ මේ සිල් රෙදි බෙදා ගෙන ගියානේ.” රෝහිණී කීවා ය.

එහෙමවත් කරමු

“බලන්ඩකො අනේ දැන් අපි කසාද බැඳලා අවුරුදු කීයක් නං ගතවුණාද ? කෝ ! තවමත් අපිට දරුවෙක් ලැබෙන පාටක් නැහැනෙ. කොයිතරම් දොස්තරලා ළඟට ගියත් කප්පරක් දේවාල වලට භාරහාර වුණත් වැඩක් වුණයැ.” කල්‍යාණි තම සැමියා දෙස බලා කීවේ කනස්සල්ලෙනි.

“ඒවයින් පලක් නැහැ හාමිනේ. දැන් ඔය හාල්,පොල් හිඟවුණාම ආණ්ඩුව කරන්නෙ ඒ හිඟ දේවල් පිටරටින් ගේන්ඩ තීරණය කරන එකනෙ. ඉතින් අපිත් ඔය පි‍ටරටින් වත් ළමයෙක් ගෙන්න ගන්ඩ බලමු.” ප්‍රේමදාස කීවේ තම බිරිඳ අස්වසමිනි.

කොහොම කියන්ඩද ?

“චද්‍රසිරි මහත්තයා, මොකද කියන්නෙ ? අපේ කවි ජවනිකාව හොඳට කෙරුණා නේද ? ඒක එතරම් දිග වැඩි නැහැනෙ.”සාහිත්‍ය උත්සවය අවසානයේ එහි සංවිධායක වරයකු වු චන්ද්‍රසිරි වෙතට පැමිණි සේන ඇසුවේ පුළුල් සිනාවක් පාමිනි.

“දිග වැඩි වුණාද කියල නං මට හරියටම කියන්ඩ අමාරුයි සේන. ඒක කොයි වේලේ ඉවර වුණාද කියල මට හරි නිච්චියක් නැහැ. මොකද ඒක පටන් අරන් ටික වෙලාවක් යනකොට මට නින්ද ගියානෙ.”චන්ද්‍රසිරි කීවේ ය.

දතක් කකියනවද?

“මොකද හාමිනේ අපේ දුව උඩ තට්ටුවට වෙලා හරියට හරකෙක් මරන්ට ගෙනියනවා වගෙ විලාප තියන්නෙ. පොඩ්ඩක් විපරං කරලා බලන්ඩ එපායැ. දුවගෙ දතක් කකියන්ඩ අරං වත්ද ?” දැදිගම තම බිරිඳ දෙස බලා කීවේ තම නිවසේ උඩු මහල වෙත තම අවධානය යොමු කරමිනි.

“එහෙම අමාරුවක් නෙමෙයි ‍අනේ. ඊයෙ රෑ රූපවාහිනී චැනල් එකක තිබුණු අර ස්ටාර් අවසන් මහා තරඟයෙදී දිනුව තරු වලට ලැබුණු තෑගි කන්දරාව දැකලා ඒත් අපේ දුවත් දැන් ඉඳලම ඊළඟ පාරේ තරගෙදි සින්දු කියන්ඩ පුරුදු වෙනවා නොවැ. “ බිරිඳ කිවේ සිනාවක් පාමිනි. 

Comments