භූ චලන සහ බොරු චලන මැද ගැස්සෙන පැද්දෙන ජීවිතේ | සිළුමිණ

භූ චලන සහ බොරු චලන මැද ගැස්සෙන පැද්දෙන ජීවිතේ

ඇත්තටම භූ චලන සහ ග්‍රහ පිහිටීම් අතර ඍජු සහ සමීප සම්බන්ධයක් තිබේද? ඒ අතරින් සඳු ග්‍රහයාගේ පිහිටීම තීරණාත්මක සාධකයක්ද? ලොව හෙල්ලූ මහා භූ චලන සමඟ එකී ලෝකායතන ජ්‍යොතිෂ සිද්ධාන්තය ඉතා මැනවින් සමපාත වන්නේද? යනු විවෘතව විමසා බැලීම වටී.

කාලයක් පුරා නොකියා සිටි එක්තරා රහසක් හෙළිදරවු කිරීමට කාලය එළඹ තිබේ. ජ්‍යොතිෂය පිළිබඳව ප්‍රාමාණික උගතකු වූ මගේ මිතුරකු සමඟ මවිසින් කරන ලද සම්මුඛ සාකච්ඡාවක් මීට වසර ගණනාවකට පෙර සිළුමිණ පුවත්පතේ පළවිය. එම සාකච්ඡාවේදී ඔහු කියා තිබුණේ ග්‍රහ චලන සහ භූ චලන අතර සමීප සම්බන්ධයක් තිබෙන බවයි. ඒ බව සනාථ කිරීමට අපි නිදසුන් මාලාවක් ද ඉදිරිපත් කෙළෙමු. එහි කිසියම් පොදු රටාවක් තිබූ අතර අතීතයේ සිදු වී ඇති මහ පරිමාණ භූ චලනවලින් වැඩි ප්‍රමාණයක් සිදු වී ඇත්තේ නිශ්චිත පොදු ග්‍රහ පිහිටීමක් පවතින විට බවත් බැලූ බැල්මට විද්‍යාමාන විය. ඒ ලිපිය පළ වී මාස කිහිපයක් ගිය තැන භූ ගර්භ විද්‍යාව පිළිබඳ ප්‍රාමාණික උගතකු විසින් මහා සොයා ගැනීමක් කරන ලද බැව් ප්‍රචාරය කෙරිණ. ඒ අනුව භූ චලන පිළිබඳව කල්තබා පුරෝකතනය කළ හැකි සිද්ධාන්තයක් ඔහු විසින් සොයා ගෙන තිබේ. එයින් නොනැවතුණ ඒ වියතා අහවල් අහවල් දිනවල භූ චලන සිදුවන බව ද ප්‍රසිද්ධියේ කීවේය. ඔහුගේ අනාවැකිකීම් භූ ගර්භබ විද්‍යාවට එකඟ නැති බවත් එසේ කිරීම නොමනා බවත් කියමින් ඔහුගේ ක්ෂේත්‍රය තුළින් ම විරෝධතා මතුවිය. මේ අතර තමාට ගුප්ත බලයක් ඇති බැව් කියමින් රූපවාහිනි කැමරා ඔස්සේ මතු වූ තවත් පුද්ගලයකු කියා සිටියේ පස් මිටක් අතට ගත්විට කොයි කාලයේ භූ චලනයක් හට ගනීද යන බව කිව හැකි බවයි. මේ පුද්ගලයා ද අහවල් අහවල් දිනවල භූ චලන හට ගන්නේ යැයි කීවේය. ඔහුට එරෙහිව මතු වූ භූ ගර්භ විශේෂඥයන් නැවත පෙන්වා දුන්නේ එවැනි ක්‍රමවලින් භූ චලන පිළිබඳව අනාවැකී කීමට හැකියාවක් නැති බවයි. ඉතිං අපි බලා සිටියෙමු.

භූ ගර්භ විද්‍යාඥයන් කී පරිදිම භූ චලනයක් තබා ඊට ආසන්නයෙන් යන ස්වභාවික විපතක්වත් එකී දිනවල සිදු වූයේ නැත. පස් මිටක් අතට ගෙන භූ චලන ගැන අනාවැකි කිව හැකි බැව් කී පුද්ගලයා ආගිය අතක් නැතිව අතුරුදන්ව සිටි නමුත් තමා විසින් සොයා ගන්නා ලද අලුත්ම සිද්ධාන්තය අනුව අහවල් අහවල් දිනවල භු චලන හට ගන්නේ යැයි පුරෝකතනය කළ භූ ගර්භ විශේෂඥයාට නම් එලෙස අතුරුදන් වීමට නොහැකි වූ හෙයින් ඔහු මේ සිද්ධියෙන් මහත් අසීරුවට පත්විය. තවත් ටික කලකට පසුව වෙනත් පුවත්පතක අපූරූ සම්මුඛ සාකච්ඡාවක් පළ වී තිබිණ. එහිදී අනාවරණය වූයේ පුදුම කතාවකි. අර භූ ගර්භ විශේෂඥයා විසින් භූ චලන පිළිබඳව අනාවැකී කීමට යොදා ගෙන තිබුණේ ජ්‍යොතිෂයේ එන ග්‍රහ පිහිටීම් ය. එහෙත් ඔහුට ජ්‍යොතිෂය තබා තත්කාල කේන්දරයක් සාදා ගැනීමට තරම්වත් ඒ විෂය පිළිබඳව දැනුමක් අවබෝධයක් නොතිබූ බැව් ඔහු ලවාම ප්‍රකාශ කැර ගැනීමට තරම් සම්මුඛ සාකච්ඡාව මෙහෙය වූ උගත් මාධ්‍යවේදීයා ඉතා දක්ෂ ලෙස ක්‍රියාකර තිබිණ.

කිසිම පෞද්ගලික නාමයක් හෝ ඔවුන්ගේ අනන්‍යතාව හෝ හෙළිදරවු නොකරමින් මේ සිද්ධිය මෙලෙස සටහන් කෙළේ ඒ සිද්ධියට සමාන භූ චලනයක් සහ සුනාමි භීතියක් නැවත පැතිරෙන්නට පටන් ගැනීම නිසාය. භූ ගර්භ විද්‍යාඥයන් එකහෙළාම පුන පුනා පෙන්වා දෙන්නේ මොනම ආකාරයේ භූ චලනයක් හෝ කල්තබා කිවහැකි සිද්ධාන්තයක් හෝ ක්‍රමවේදයක් හෝ නූතන විද්‍යාව සතුව නැති බවයි. අර මුලින් කියන ලද භූ ගර්භ විශේෂඥයා අමාරුවේ වැටුණේ ඒ සීමාව ඉක්මවා යෑමට උත්සාහ ගැනීම නිසාය. ප්‍රතිඵලය අසාර්ථක වූ නමුත් ඔහු ගත් වෑයම පැසසිය යුතු වන්නේ එතුමා විද්‍යාවට අලුත් දෙයක් එකතු කිරීමට සහ අදාළ විෂය ක්ෂේත්‍රය පෝෂණය කිරීමට අවදානම නොතකා ඉදිරිපත් වීම නිසාය. වඩාත් අපගේ සිත් ගන්නේ බොරුවක් මිථ්‍යාවක් යැයි බ්‍රොයිලර් විද්‍යාත්මක ක්‍රමවේදයෙන් ගර්හාවට ලක් කෙරෙන පැරණි දැනුම් පද්ධතියක් වූ ජ්‍යොතිෂය අත්හදා බැලීමක් ලෙස ඒ සඳහා යොදා ගැනීමය. එහෙත් එතුමාට ජ්‍යොතිෂය පිළිබඳව ප්‍රාමාණික දැනුමක් හෝ අත්දැකීමක් නොතිබූ නිසාදෝ ඒ අනගි වෑයම අපතේ ගියේය. අනෙක් අතට ඔහු පුරෝකථනයන් ඉදිරිපත් කිරීමට ඉක්මන් වූවා වැඩිද යන සැකයත් අප හමුවේ මතු වෙයි.

ඇත්තටම භූ චලන සහ ග්‍රහ පිහිටීම් අතර ඍජු සහ සමීප සම්බන්ධයක් තිබේද ? ඒ අතරින් සඳු ග්‍රහයාගේ පිහිටීම තීරණාත්මක සාධකයක්ද ?. ලොව හෙල්ලූ මහා භූ චලන සමඟ එකී ලෝකායතන ජ්‍යොතිෂ සිද්ධාන්තය ඉතා මැනවින් සමපාත වන්නේද ? යනු විවෘතව විමසා බැලීම වටී. මේ මහා භූ කම්පන නිසා මිනිස් ජීවිත මිලියන ගණනක් විනාශ වූ අතර ඒවා මහා ඛේදවාචක ලෙස ඉතිහාසයේ වාර්තා වෙයි. මතු දැක්වෙන්නේ ලෝකයේ මෙතෙක් හටගත් අතිදරුණුතම භූ චලන 20 ක් පිළිබඳ තොරතුරු කිහිපයකි. ඒ සෑම භූ චලනයක් ම රිච්ටර් මාපකයේ 8.4 සිට 9.5 දක්වා වූ පරාසයකට අයත් වෙයි.

1. (රිච්ටර් /9.5 / Bio-Bio, Chile Valdivia Earthquake 1960-05-22 /19:11 /38.14°S 73.41°W )

2. (රිච්ටර් /9.2 / Southern Alaska 1964 Great Alaska Earthquake, Prince William Sound Earthquake, Good Friday Earthquake /1964-03-28 / 03:36 60.91°N 147.34°W )

3. (රිච්ටර් /9.1 / Off the West Coast of Northern Sumatra. Sumatra-Andaman Islands Earthquake, 2004 Sumatra Earthquake and Tsunami, Indian Ocean Earthquake /2004-12-26 / 00:58 3.30°N 95.98°E) ශ්‍රී ලංකාවට බලපෑ මහා සුනාමි ඛේදවාචකය

4. (රිච්ටර් /9.1 / Near the East Coast of Honshu, Japan Tohoku Earthquake /2011-03-11 / 05:46 38.30°N 142.37°E )

5. (රිච්ටර් /9.0 / Off the East Coast of the Kamchatka Peninsula, Russia Kamchatka, Russia /1952-11-04 / 16:58 52.62°N 159.78°E )

6. (රිච්ටර් /8.8 / Offshore Bio-Bio, Chile Maule Earthquake /2010-02-27 / 06:34 36.12°S 72.90°W)

7. (රිච්ටර් /8.8 / Near the Coast of Ecuador 1906 Ecuador–Colombia Earthquake/1906-01-31 / 15:36 0.96°N 79.37°W )

8. (රිච්ටර් /8.7 / Rat Islands, Aleutian Islands, Alaska Rat Islands Earthquake /1965-02-04 / 05:01 51.25°N 178.72°E )

9. ( රිච්ටර් /8.6 / Eastern Xizang-India border region Assam, Tibet /1950-08-15 / 14:09 28.36°N 96.45°E)

10. (රිච්ටර් /8.6 / off the West Coast of Northern Sumatra /2012-04-11 / 08:39 2.33°N 93.06°E)

11. (රිච්ටර් /8.6 / Northern Sumatra, Indonesia Nias Earthquake /2005-03-28/ 16:10 2.09°N 97.11°E )

12. (රිච්ටර් /8.6 / Andreanof Islands, Aleutian Islands, Alaska /1957-03-09 / 14:23 51.50°N 175.63°W)

13. ( රිච්ටර් /8.6 / South of Alaska Unimak Island Earthquake, Alaska /1946-04-01 / 12:29 53.49°N 162.83°W )

14. (රිච්ටර් /8.5 / Banda Sea /1938-02-01 / 19:04 5.05°S 131.61°E )

15. ( රිච්ටර් /8.5/ Atacama, Chile Chile-Argentina Border /1922-11-11 / 04:33 28.29°S 69.85°W )

16. ( රිච්ටර් /8.5 / Kuril Islands /1963-10-13 / 05:18 44.87°N 149.48°E)

17. (රිච්ටර් /8.4 / Near the East Coast of Kamchatka Peninsula, Russia Kamchatka, Russia /1923-02-03/ 16:02 54.49°N 160.47°E )

18. (රිච්ටර් /8.4 / Southern Sumatra, Indonesia /2007-09-12/ 11:10 4.44°S 101.37°E )

19. ( රිච්ටර් /8.4 / Near the Coast of Southern Peru Arequipa, Peru Earthquake /2001-06-23 / 20:33 16.27°S 73.64°W )

20. (රිච්ටර් /8.4 / Off the East Coast of Honshu, Japan Sanriku, Japan /1933-03-02 / 17:31 39.21°N 144.59°E )

කුමන උපාධි සහතික තිබුණ ද ඔහු හෝ ඇය කුමන ක්ෂේත්‍රයක ප්‍රවීණයකු වූවද යම් දෙයක් දුටු මතින් ඒ දෙය පිළිගැනීම හෝ නො පිළිගැනීම හෝ ගර්හා කිරීම තරම් නිවට පණ්ඩිතකමක් අන් කිසිවකට සමාන කළ නොහැකි බැව් ඉතිහාසය විසින් පුන පුනා අපට පසක් කැර දෙන සත්‍යයකි. එහෙත් බොහෝ දෙනෙකු යමින් සිටින්නේ ද ඒ මාවතේමය. එයින් ඇත්ත වටහා ගැනීම පමා වෙයි. නැතිනම් කිසිදා ඔවුන් විසින් ඇත්ත මේ යැයි වටහා ගන්නේ නැත. විශේෂයෙන් ම එක් දැනුම් පද්ධතියකින් පුරෝකතනය කෙරෙන සිද්ධියක් ඊට පරිබාහිර දැනුම් පද්ධතියකින් තේරුම්ගත නොහැකිවනවා පමණක් නොව ඒ පුරෝකතනය ප්‍රතික්ෂේප කිරීමද කළ නොහැක. ඉහත දැක්වූ මහා භූ චලන සහ ග්‍රහ පිහිටීම් අතර කිසියම් සුවිශේෂ සම්බන්ධයක් තිබේදැයි ඊට අදාළ මූලධර්ම ඇසුරින් විමසා බලමු.

( ඉතිරි කොටස ලබන සතියේ )

Comments