වෛර යකින්නගේ වත | සිළුමිණ

වෛර යකින්නගේ වත

සද්ධර්මරත්නාවලී පරිකථා 9

මිනිස් සිත දුෂ්‍ය කරන ප්‍රධාන සිතුවිල්ලක් ලෙස වෛරය ලෝක ඉතිහාසය පුරා ක්‍රියාත්මක වී තිබේයි. වෛරය එත්තරා රෝගයක් වන අතර වෛරයේ රෝග නිධානය තැන්පත් වු සිතකින් එය උගුලුවා දැමිය ‍නොහැකිවා මෙන් ම භවයෙන් භවය එහි ප්‍රතිඵල තමා පසු පසින් පැමිණෙන බව බෞද්ධ ඉගැන්වීම වෙයි. වෛරය මානසික වශයෙන් ඇති වන රෝගයක් පමණක් නොව එහි පල කායිකව පවා පුද්ගලයාට බලපෑම් ඇති කරවයි. කෙනෙකු තුළ පහළ වන ඊර්ෂ්‍යා සිතුවිල්ලක් බරපතළ වු වි‍ට වෛරය ගොඩනැගේ වෛරය භාවිත ක්‍රියාවක් වු කල්හි එයින් වන විපාක මුළු ලොවක් වනසාලන්නට වුව සමත් වෙයි. මේ නිසාම බුදු සමය වෛරය නසන්නට අපමණ ප්‍රතිකාර යෝජනා කෙරෙන දහමකි. මෙත් සිත දියුණු කර ගැනීමෙන් ම වෛර සිත දුරු කර ගත හැකි ආකාරය කියා දෙයි.

දඹදෙණි යුගය යුද්ධ ආක්‍රමණවලින් පසු ගොඩනැගෙන යුගයක් වන හෙයින් මිනිස් සමාජයෙහි එකිනෙකා තුළ වෛර ගිනිදැල් අවසන් නොවීය. වෛරයෙන් මිනිසා වැනසෙන අයුරු ප්‍රත්‍යක්ෂව දුටු ධර්මසේන හිමියෝ තම ධර්ම ප්‍රබන්ධය ඔස්සේ වෛරයෙහි ප්‍රබලබව පෙන්වා එහි ප්‍රතිඵල ද කටුක බව පෙන්වා දීම උදෙසා ධම්මපදට්ඨකථාවෙන් කාළි යකින්නගේ කථා පුවත ප්‍රබන්ධ කළහ. එය “කාළී නම් යකින්නගේ වස්තුව” වෙයි. කථාව අරඹන්නේ “වෛර බැන්දවුන්ගේ වෛරය නිවාගන්ට බැරිව දාගෙන යන ගින්නක් බොහෝ පැන් ඇති තැනකට පැමිණ නිවෙන්නා‍ සේ” බුදුන් හමුව දහම් අසා අවසන් කළ කාළි යකින්නගේ වස්තුව දක්වන බව කීවෙනි.

යටගිය දවස එක් ගෘහපතියෙක් පියා මිය ගිය කල්හි පියාගේ කර්මාන්ත පවරා ගනිමින් මහලු මවද පෝෂණය කරමින් ජීවත් වෙයි. එවිට මව සිතන්නේ තමා රැකෙන්නේ පුතෙකු පෝෂණය කළ බැවින් බවත් තමාගෙන් පසු පුතුට රැකෙන්නට විවාහයක් කරදීම සුදුසු යයි සිතා “ පුතා තොපට සරණක් ගෙන වුත් නිල කරමෝදැයි විචාළෝය.” එහෙත් එවිට එයට පුතුගේ ප්‍රතිචාරය වුයේ “මැණියන් වහන්ස ඒ නොකැමැත්තෙමි. එසේ වු අවුලක් කර ‍නොලා දිවි පමණින්ම නුඹ වහන්සේ‍ට උපස්ථාන කෙරෙමි. මගේ ඒ පින්කමට බාධා නුවුව මැනව යි කිවුය. පුතුගේ අදහස වුයේ මෑණියන් රැක බලා ගැනීම තමා අතින් කෙරෙන විශාලතම පින්කමක් බවයි. බිරියක් ගෙනා කල ඒ කාර්යයට බාධා වන බව පුතුගේ අදහස විය. එවිට මෑණියන්ගේ අදහස වුයේ “පුතා එසේ නොකියව තොප ගෙයි .....ගන්නා දුක් දුටු කලට මා සිතට සැප නොවෙයි.” එනම් තමන් වෙනුවෙන් පුතු දරන වෙහෙස ගැන මව කම්පා වෙයි. එවිට පුතු සිතන්නේ බිරියත් ගෙනා කල මව තුටු වන්නේ නම් එයට එකඟ වීමයි. ඒ අනුව මෑණියෝ සුදුසු බිරියක් නිසි නැකැතකින් පුතුට සරණ පාවා දුන්හ.

ඒ සරණ කළ බිරිය දරු ඵල නැති කෙනෙකි. එයින් වර්ග පරම්පරාව රැකෙන්නේ නැත. එය කතු වරයාගේ වදනින් දැක්වෙන්නේ “ ඵලප්‍රතිලාභය නිසා ලවාලු ගස කොළෙයි පලදා නැත්තේය” යනුවෙනි. කොළ මිස ගෙඩි නැති ගසක් මෙනි. එයින් ඵලක් නැති කල මව යෝජනා කරන්නේ දැන් මු වඳයෝය. දරුකෙනෙකුත් නැතිව කෙසේ ජීවත් වෙමුද ? වෙනත් සරණක් ගෙනෙන ලෙසයි. පුතු දැඩිව අකමැති වු මුත් පසුව නිහඬ වෙයි.

බිරිය කල්පනා කරන්නේ වෙනත් බිරියක් ගෙනා කල ඔහු දරුවන් වදන්නේ නම් තමාට ඇති සියලු සැලකිලි නැතිවන බවයි. එබැවින් ඇයට අවශ්‍ය පරිදි එය සිදු විය යුතු බවයි. ඇය තරුණියක ඇති නිවසට ගොස් කියා සිටින්නේ “මම වඳයෙමි නුඹගේ දුවණියෝ දරු කෙනෙකුත් ලද්දේ නම් ඌ ඒ සම්පතට හිමි වෙති” යනුවෙනි. අනතුරුව දෙවන බිරයක් ද නිවසට ගෙනෙයි. එහෙත් පළමු බිරිය සිතන්නේ “මෝ දරු කෙනෙකුත් වදාලු නම් ‍මෝම ගේ හිමි වන්නීය. එසේ කලට මායම් උගත්තේ නම් කිම්ද ? පවිටු අදහස් ඇතිව යම් දවසක් තොප බඩ දරු කෙනෙකුන් ඇති වු නම් මට කියව” යි කීය. ඉතා යහපත් සිතින් කියු දෙයක් යයි සිතා ගත් දෙවැන්නිය දරු පිළිසිඳ ගත් කල්හි පළමු වැන්නාට ඒ බව කීවාය. එම දරු ගැබ ගබ්සා වන්නට ආහාරයට බෙහෙත් දමා දුන්නීය. ගැබ විනාශ විය. කතාකරුවා එය පවසන්නේ අදට දරුවන් නැති කළා සේම තමාට සසර දික් කළාය” යනුවෙනි. දෙවන දරු ගැබ ද මෙසේ විනාශ කළාය.

දරුවන් නොවදනා බව දුටු ඇගේ ඥාති වැඩිහිටියන් ඇයගෙන් ඒ බව විමසා සියල්ල දැන ඇයට කියන්නේ “බොළඳ තැනැත්තිය මුරයෙක ඈ ඉදි කොට දුන් දෙය කා ගබ්සා වු කල දෙවෙනි මුරයේත් බඩ දරුවන් නියාව කියන්නෙත් හැයිද ?” “උයිත් තුන්වන මුරයේ නොකීවෝය” අවසන් මොහොතේ මෙය දැනගත් පළමු බිසව අවසරයක් ලද මොහොතක ගබ්සා බෙහෙතක් ඈට කැවීය. එවිට සිදු වුයේ “දරුගැබ මුකුරා ගිය බැවින් නොහී දරුවෝ සරස්ව ගියහ” පුසව වේදනාව බලවත් විය. දරුවා බිහි කළ නොහැකිව ඇය හඬ මිය ගියාය. මියන වේලෙහි ඇගේ ප්‍රර්ථනාව බිහිසුණු විය. ඇයගේ සිතුවිල්ල ධර්මසේන හිමියන් දක්වන්නේ “දරු තුන් දෙනෙකුත් මාත් මියනු නියාම හෙයින් අප සතර දෙනෙකු නසා පීව මමත් මියගොසින් යකිනිව ඉපිද තොප වැදු දරුවනුත් තොපත් කන්ට සමර්ථ වෙම්ව යි පතාගෙන මියගොසින් එම ගෙයි බළල්ව උපන”මරණ මෙ‍ාහොතේ ඇති කළ වෛර සිතුවිල්ල එයට ෙහ්තු විණි.

Comments