මහාචාර්ය ගුණපාල මලලසේකර | සිළුමිණ

මහාචාර්ය ගුණපාල මලලසේකර

අපේ තාත්තා තරම් කඩිසර කෙනෙක් මා තවම දැකලා නෑ. අපේ තාත්තා තරම් කරුණාවත්ත කෙනෙක් මා තවම දැකලා නෑ.

තාත්තාගේ ජීවිතේ පදනම, කඩිසරකම හා කරුණාවත්තකම කියලයි මාගේ විශ්වාස.

ජන සමාජයට කිසියම් සේවයක් සැපයීමට ලැබීම කෙනෙකු ලබන විශාල ආශිර්වාදයක් හැටියටයි තාත්තා සැලකු‍ෙව්.

ඒ වගේම, හැම කෙනෙක්ම අනෙක් අයට උදව් කිරීමට බැඳි සිටින බව තාත්තා කිව්වා.

භාෂාව, කලා ශිල්ප, අධ්‍යාපනය, සංස්කෘතිය, බෞද්ධ දර්ශනය ආදිය තාත්තාගේ සම්, මස්, ඇට, ලේ, නහර පුරාම තිබුණා. ඔහු ජීවිතේ හැම තප්පරයක් ම කැප කළේ ඒ වෙනුවෙන්. පර්යේෂණ, විමර්ශන හැමවිටම ඒ ‘ඔළුවේ’ තිබුණා. 1899 නොවැම්බර් 09 දා පානදුරේ මාලමුල්ලේ ගමේ ඔහු ඉපදුණේ. තාත්තාට නම දාලා තියෙන්නේ මලලගේ ජෝර්ජ් පීරිස් කියලා. පාණදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයේ මුලික අධ්‍යාපනය ලබන අවධියේම, ඔහු අනගාරික ධර්මපාලතුමා වෙතින් ‘ගුණපාල පි‍යසේන මලලසේකර’ නම ලැබු බවයි කියන්නේ.

තාත්තාගේ තාත්තා මලලගේ සියදෝරිස් පීරිස්, එවකට ඉතා ප්‍රසිද්ධ වෙද මහත්‍තයෙක්. ඔහු සිංහල වගේම පාලි, සංස්කෘත භාෂා පිළිබඳ ව විශාල දැනුමක් තිබු කෙනෙක්. තාත්තාට පුංචි අවධියේම පාලි, සංස්කෘත, ඉගැන්වීමට සීයා උනන්දු වුණා.

සීය‍ාගේ එකම වුවමනාව වී තිබෙන්නේ තාත්තා දක්ෂ වෙද මහත්තයෙක් කිරීමට. නමුත් වයසින් වැඩෙන විට තාත්තාගේ සිත තිබුණේ විවිධ භාෂා ඉගෙන ගැනීමටයි. ඒත් සීයාගේ සිත සතුටු කිරීමට ඔහු 1917 දී ලංකා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වුණා. ඒ වුණත් තාත්තා වෛද්‍ය විද්‍ය‍ාලයේ අවසන් වසරේදී සීයා මිය ගියා.

පුංචි කාලේ ඔහුට පාසලේ යාළුවෝ කිව්වේ ‘අශ්වයා’ කියලලු. ඔහු පාසල් යන්න පාරට බහින්නේ සපත්තු දෙක අතේ අරගෙන. එහෙම මලාමුල්ලේ ඉදලා පාණදුරේට වේගයෙන් දුවගෙන එන තාත්තා පාසල පෙනෙන කිට්ටුවට ඇවිල්ලා සපත්තු දෙක දා ගන්නවා. සියා මිය යන විට සීයාගේ ලාච්චුවේ තිබුණේ සත පහක් පමණයි කියා කියනවා. ඒ කාලයේ වෙද මහත්වරු මුදලට වෙදකම් කළේ නෑ. සීයාගේ මරණින් පස්සේ අනෙක් සහෝදර සහෝදරියන්ගේ කටයුතු බලාගැනීමට තාත්තාට රැකියාවක් කරන්නට සිදු වුණා. ඔහු වෛද්‍ය අධ්‍යාපනය අතහැර දැමුවා.

ඒ වෙලාවේ ආනන්ද විද්‍යාලයේ විදුහල්පති පී. ද. එස්. කුලරත්න මහතා තාත්තා එහි ආචාර්ය මණ්ඩලයට බඳවාගැනීමට කැමති වී තිබෙනවා. ඒ අතර විද්‍යෝදය පිරිවෙන ඇසුරෙන් ප්‍රාචීන භාෂා ඥානය තවදුරටත් වර්ධනය කරගැනීමටත් ඔහු උනන්දු වුණා.

තාත්තා එල්බ ගත් අදහසක් තිබුණා. සමාජයට යහපතක් වන යම් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැඟීමේදී ඇතැම් අඩුපාඩුකම් ඇති වෙයි කියා එය නොකර හරිනවාට වඩා, අඩුපාඩුකම් ඇතිව හෝ එය ක්‍රියාත්මක කිරීම හොඳ බව. ඒ කියන්නේ සර්වසම්පුර්ණ වනතුරු බලා හිඳිමෙන් මොනම සේවයක්වත්, මොනම කාර්යක්වත් ඉටු කිරීමට ‍‍ෙනාලැබෙන බව ඔහු කල්පනා කළා. තාත්තා ජාතික ආගමික වශයෙන් කළ ඉමහත් සේවය පිටුපස තිබෙන රහස ඒකයි.

ඒ වගේම තම කාර්යයන් පිළිබඳ චෝදනා, විවේචන සිනා මුසුව දරාගැනීමේ ශක්තියක් තාත්තා වෙත බෙහෙවින් තිබුණා. ඔහු කොතරම් කාර්ය බහුලව සිටියත්, කොතරම් ලොකු වැඩ කළත් කිසිම වෙලාවක හිත කලබල කරගෙන සිටිනවා අප දැක නෑ. කිසිම වෙලාවක තරහ මුහුණින් සිටිනවා අප දැක නෑ.

ගෙදරදී දරුවන් සමඟ කතා කරන හැම අවස්ථාවකම ඉතාම විහිළුවෙන් විනෝදයෙන් සිටියා. ඇත්තටම අපේ තාත්තා තරම් විහිළු කතා කියන්න කෙනෙක් මා දැක නෑ.

ඔහු දරුවකුට පවා හිත රිදෙන අන්දමට කතා කළේ නෑ. තමා නොකැමති දෙයක් අප අතින් සිදු වෙනවා දුටු අවස්ථාවක වුවත්, එක පාරටම ‘එපා’ කියලා කලබල ‍කළේ නෑ. “ඒක මෙහෙම කළා නම් වඩා හොඳයි” කියලා සාකච්ඡා මාර්ගයෙන් අප ඔහුට අවශ්‍ය අන්දමට හැඩ ගැසුවා. කවදාවත්ම අපට ගැහුවේ, සැර වැර කළේ නෑ.

මා පාසල් අවධියේ හුඟක් ආස කළේ සංගීතයට. සංගීතය ඉගෙන ගැනීම සඳහා කිහිපවිටක්ම මට පිටරට යෑමට ශිෂ්‍යත්ව හිමි වුණා. එතකොට තාත්තා කීව්වේ, “සංගීතය හොඳයි. දැනට ඉගෙනගන්න දේ ඉවර කරලා සංගීතය පටන්ගත්ත නම් ඊටත් වඩා හොඳයි නේද ?” කියලා. ඉතින් මම තාත්තාට එකඟ වුණා.

ඔය වගේ දෙවන වරටත් ශිෂ්‍යත්වයක් සඳහා ලිපියක් ලැබුණාම තාත්තා මගේ හිත රිදෙයි කියලා, ඒ ශිෂ්‍යත්වය පිරිනැමු ආයතනයට ලිපියක් යැව්වා. මෙම තෝරාගැනීමට ස්තුතියි. නමුත් අධ්‍යාපන කටයුතු නිසා මේ වසරේ ශිෂ්‍යත්වය පිළිගැනීමට අපහසුය, කරදරයක් නොවේ නම්, එය ලබන වසරට ලබාදෙනවා නම් පිළිගැනීමට සුදානම් කියා..... ඇත්තෙන්ම තාත්තාගේ ඒ ඉල්ලීමට එම ආයතන මට ඊළඟ වසරේ ඒ සඳහා අවස්ථාව ලබා දුන්න‍ා. පාසල් අධ්‍යාපනය නිම කළාට පස්සේ ඔහු අපට තනිව තීරණ ගැනීමට සම්පුර්ණ නිදහස දුන්නා.

ආනන්ද විද්‍යාලයේ උපවිදුහල්පති වශයෙන් කටයුතු කරද්දි තාත්තාගේ දස්කම් හඳුනාගත් කුලරත්න මහතා, ලන්ඩන් විශ්වවිද්‍යාලයේ ප්‍රාචීන විද්‍යා පිඨයට ඇතුළත් වීමට ඉඩ ප්‍රස්තා සලසා දුන්නා. එහිදී එම්. ඒ. උපාධිය හදාරන අතරතුර ඒ විශ්වවිද්‍යාලයේ ම බාහිර ශිෂ්‍යයකු ලෙස පි. එච්. ඩී. උපාධිය සඳහාද පර්යේෂණයක යෙදුණා. එක ම විශ්වවිද්‍යාලයෙන් එකවර ඒ උපාධි දෙක ම ලබාගත් පළමු පුද්ගලයා ඔහු ‍වශයෙන් වාර්තාවක් ද ලබා තිබෙනවා.

ඒ විත‍රක් නොවෙයි, ඒ ලන්ඩන් ගමන නිසා තමා තාත්තාට මගේ අම්මා, මාග්‍රට් හෙලේනා රසල් මුණගැසී තිබෙන්නේ. කුලරත්න මහත‍ාගේ ඉංග්‍රීසි ජාතික බිරිය හිල්ඩා වෙස්බෲක්, ලන්ඩනයේ ඇගේ ඥාති පවුලකට තාත්තා හඳුන්වාදීමක් මත එහිදී ඇති වු සම්බන්ධයකින් අම්මා තාත්තා සමඟ විවාහ වුණා.

මේ සම්බන්ධයට අම්මාගේ අම්මා තදින් ම විරුද්ධ වුණා. කොච්චරද කිව්වොත් එරට ආණ්ඩුකාරයාට පවා මේ ගැන පැමිණිලි කළා. ඒ සම්බන්ධව කටයුතු කිරීම මගේ රාජකාරිය නොවෙයි කියු ආණ්ඩුකාරවරයා “මලලසේකර නරක කෙනෙක් නොවෙයි. එයට විරුද්ධ වෙන්න හේතුවක් නෑ.” කියලා කිව්වලු. කොහොම හරි තාත්තා ආපසු ලංකා‍වට ඇවිත් අම්ම‍ට එන්න, ගුවන් ටිකට් පතක් යැව්වා. ආච්චි ඒක ඉරලා දැම්මා. ඒත් අම්මා තනියම ලංකාවට ඇවිත් තාත්තා එක්ක විවාහ වුණා.

අම්මා ලන්ඩනයේ ජනප්‍රිය සංගීත නාටකවල ගායන වාදන කළ සංගීත විශාරදවරියක් නිසා හිල්ඩා කුලරත්න මහත්මිය ඇගේ විද්‍යාලයේ සංගීතාචාර්යවරිය වශයෙන් අම්මාට පත්වීමක් දුන්න‍ා. ඒත් අම්මාට ලංකාවේ වැඩිකල් ජීවත් වෙන්න වාසනාව තිබුණේ නෑ. අවුරුදු තුනක් විතර අම්මා ලංකාවේ ගත කළ කාලය තුළ සිංහල ඉගෙනගන්න බොහොම මහන්සි වෙලා තියෙනවා. ඇගේ දිනපොත ඒ බව සඳහන් වෙනවා. සාරි ඇන්දා, සිල් ගත්තා. සිංහලකමට හුරු වෙන්න ඇය ලොකු උත්සාහයක්, වුවමනාවක් තිබුණා. ඒත් මා ඉපිදී මාස පහකට පසු අම්මා මිය ගියා.

තාත්තා මා ගෙන ලන්ඩනයේ අ‍ාච්චි වෙත ගියා. ඒ වන විට අම්මාගේ තාත්තා හුඟක් අසනීපව සිටියා. ඒ නිසාම මා බාරගැනීමට නොහැකියි කීවා. තාත්තා මා රැගෙන ආවා. පසු කලෙක තාත්තා නැවත විවාහ වුණා. පුංචි අම්මා ලයිලි වි‍ජයවර්ධන.

ඇයත් ඉතාම කාරුණිකයි. ඇගේ දරුවන් පස්දෙනාත්, මාත් කිසිම වෙනසක් නැතිව එක විදියට ඇති දැඩි කළා. තාත්තාත් පුංචි අම්මාත් අවුරුදු 42 ක් එකට ජීවත් වුණා. කිසිම වේලාවක හිත් අමනාපයක්, වචන හුවමාරුවක් අප දැකලා නෑ.

කොළඹ ‘ලොන්ඩන් ටෙරස්’ පෙදෙසේ ඒ කාලේ අප පදිංචිව සිටියේ. කොළඹ මැද වුණාට අපේ ගෙදර ගැමි ගෙදරක ස්වරූපයයි තිබුණේ. ඔහුට තිබුණා මුල් බැසගත් ගැමිකම. ඔහුට ලිවිමට කියවිමට ගෙදර පුස්තකාලයක් තිබුණා. ඒක හරියටම පන්සලක් වගේ. තාත්තාගේ පුස්තකාලයේ පොත් පනස් දහසක්, හැටදහසක් තරම් තියෙන්න ඇති. අප දන්න දා සිටම ඔහු ඇන්දේ ජාතික ඇඳුම.

ඔහු අපට කිව්වා පුළුවන් ප්‍රමාණයට වඩා ටිකක් අඩුවෙන් කෑම කන්න කියලා. තාත්තා කෑම ගත්තෙත් එහෙමයි. කවුරු වුණත් ප්‍රමාණය ඉක්මවා කෑම ගැනීම වැඩ කරන්න බාධාවක් කියලා ඔහු කිව්වා.

කොළඹ නාලන්දා විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා වුණේ තාත්තා. ඒ සමඟ කොළඹ යුනිවර්සිටි කොලීජියේ කථිකාචාර්ය වුණා. ඉන් පසුව පේරාදෙණියේ පාලි හා බුද්ධ ධර්මය පිළිබඳ මහාචාර්ය, අංශාධිපති, පීඨාධිපති වශයෙන් තරුණ පරපුර සමඟ ඉතා කිට්ටු සම්බන්ධයක් පවත්වාගෙන ගියා.

ඔහු වැඩ කරන ඕනෑම තැනක බුදුරුවක් තබා ගැනීමේ සිරිතක් තිබුණා. ආගමික ප්‍රබෝධය, උන්නතිය සඳහා නොයෙකුත් වැඩ කටයුතු මෙහෙයවුවත්, ඔහු හැමවිටම කිව්වේ ‘අප අපගේ ආගම්වලට හානියක් නොවන පරිදි’ කියයි. භාෂ‍ාව, ජාතිය ගැන වුණත් ‍එහෙමයි. අපේ දේ ගැන කටයුතු කිරීමේදී අනුන්ගේ දේවලට හානියක් නොවිය යුතුයි කියන පදනමේ තාත්තා හිටියා. ජාතිය, ආගම, භාෂාව ගැන පටු විදියට සැලකුවේ නෑ.

ඔහු විසින් සම්පාදනය කරනු ලැබු මලලසේකර ඉංග්‍රීසි සිංහල ශබ්ද කෝෂයේ ( IX පිටුව) මෙහෙම කියනවා.

‘මේ අවධියේ අපේ ජාතික භාෂාවට අග තැන් ලැබිය යුතුමයි. ඒ වනාහි දැන් විවාද කළ යුතු ප්‍රශ්නයක් නොවේ. එහෙත් ඒ සමඟම සිංහලයන් විසින් යටත් පිරිසෙයින් තව එක භාෂාවත්වත් ඉගෙනීම ස්වකීය බුද්ධිය පළල් කරගැන්ම සඳහා අවශ්‍ය වන්නේය. වර්තමාන භාෂාවන් අතුරෙන් ඉංගිරිසිය ඉතා ප්‍රචලිත වු භාෂාව වන බැවින් ඒ භාෂාව කාර්ය සාධනයට තරම් වන තෙක් ඉගෙනීමෙන් බොහෝ ප්‍රයෝජන ලැබිය හැකිය....’

තාත්තාගේ අනෙකුත් කර්තව්‍යයන් අමතක කළත්, ඔහු කළ ඉංග්‍රීසි - සිංහල ශබ්ද කෝෂය පමණක් වුවත්, මලලසේකර නම යුගයෙන් යුගයට සදාකාලික වෙන්න ප්‍රමාණවත් බවයි මගේ නම් හැඟිම.

කොයි තරම් ලොකු වැදගත් වැඩක් කළත් තාත්තා එය ‘ලොකු වැඩක්’ හැටියට සැලකුවේ නෑ. පාලි සාහිත්‍යය පිළිබඳව පිටු දෙදහස් ගණනක, වෙළුම් දෙකකින් යුත්තව ඔහු ඉංග්‍රීසියෙන් කළ පාළි සංඥා නාම අකාරාදිය නමැති කෘතියට ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ඩී. ලිට්. (D.Litt.) කියන උපාධිය පිරිනමා තිබෙනවා.

ඔහු‍ෙග් ආචාර්ය උපාධි නිබන්ධනය, ‘සිංහල ජන සම්මත කාව්‍ය’, ‘සංස්කෘත චන්ද්‍රිකා’ ආදී කෘති රැසක් තිබෙවා. පුවත්පත්, සඟරා, ආදියටත් තාත්තා විශාල වශයෙන් ලිපි සැපැයුවා. ඒ වගේම කථිකත්වයට ඔහුගේ තිබුණ සමත්මක කිසිවකුට දෙවෙනි නෑ.

තාත්තා කතා පවත්වනවා අහන්න මාත් ඉස්සර හරි ආසයි. ඉතින් තාත්තා දේශනයකට යන්න ලෑස්ති වුණාම ‘මමත් එන‍වා’ කියලා මම ලෑස්ති වෙනවා. එකකොට තාත්තා කියනවා ..... ‘නෑ ඕනෑ නෑ...’.කියලා ‘නෑ....නෑ.....මාත් එනවා.....’ මම බලෙන්ම යනවා. ‘නෑ චිත්‍රා එන්න ඕන නෑ. ඒක හෙට රේඩියෝ එකේ යනවා. එතකොට අහන්න....’ ඒ වගේ මොකක් හරි කියලා තාත්තා මා වළක්වනවා. ඒ වගේම තාත්තා එවු ලියුමක්වත් අප පරිස්ස‍ම් කොට තබා ගන්නවාට ඔහු කැමති වුණේ නෑ. මට පස‍ුව කල්පනා වු විදියට තාත්තාත්, අපත් අතර ලෞකික බැඳිම වැඩි වෙන දේවලටයි තාත්තා එසේ අකැමැති වී තිබෙන්නේ.

ඔහු තුළ ආසාවන්, බැඳිම් තිබුණේ ආගමට දහමට මිසක්, පුද්ගලයන් කෙරෙහි හෝ වස්තුව කෙරෙහි නොවෙයි. මා ගුවන් විදුලියේ වැඩ කරන කාලේ එක් කාර්යාල සහායක මහත්මයෙක් මගෙන් ඇහුවා ‘නෝනල‍ාගේ තාත්තාට ගමේ තිබුණු කුඹුරු විකුණලා දැම්මාද’ කියලා..... මා ඇහුවා මොන කුඹුරුද කියලා. ඔහු කියනවා ‘ඇයි අර අහවල් දිහා තිබුණු කුඹුරු’ කියලා. ගෙදර ඇවිල්ලා මම තාත්තාගෙන් ඇහුවා ‘තාත්තට කුඹුරු තිබුණද කියලා...’

‘මොන කුඹුරුද ?’ තාත්තා ඇහුවා.

‘තාත්තගේ ගමේ මනුස්සයෙක් මගෙන් ඇහුවා...’

‘ආ....... ඔන්න ඔය කුඹුරු කෑල්ලක් තිබිලා මං දීල දැම්මා....’

පස්සෙ බලනකොට ඒක තරමක් විශාල කුඹුරක්. ගමේ නැති බැරි කෙනෙකුට තාත්තා නිකම්ම දීලා.

ලෝක බෞද්ධ මහා සම්මේලනය ආරම්භ කිරීමේ පුරෝගාමී පුද්ගලයෙක් වු ඔහු නොකඩවා වසර 19 ක් එහි සභාපතිවරයා වශයෙන් කටයුතු කොට තිබෙනවා. තාත්තා සමඟ කටයුතු කළ අය කියන්නේ ඔහුට අපුරු සංවිධාන ශක්තියක් තිබුණා කියායි.’ අණකිරිම, බලකිරීම ඔහුගේ සිරිත නොවෙයි. සාකච්ඡා කිරීම සහ පෙලඹවීම ඔහුගේ සිරිත.

සෝවියට් දේශය, චෙකෝස්ලෝවැකියාව, පෝලන්තය හා රුමේනියාව වැනි රටවල ශ්‍රී ලංක‍ා තානාපතිවරයා වශයෙන් සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා ලෙසත් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිතයා ලෙසත් තාත්තා ප්‍රකට කර ඇති රාජ්‍යතාන්ත්‍රික ඥානය සුළු පටු නෑ. ඒ හැම තැනකදීම ඔහු අපේ ර‍ෙට් සංස්කෘතිය, කලා ශිල්ප, ආගම දහම ඒ ඒ රටවල උදවියට දැනෙන අයුරින් කටයුතු කිරීමට සමත් වී තිබෙනවා. ඔහු සේවයට මිස මුදල ගැන කිසිවිටෙකත් සැලකුවේ නෑ. ඔහු මිය යන විට ඔහුගේ විශ්‍රාම වැටුප රුපියල් 800 යි.

පසු කලෙක තාත්තාගේ කල්‍යාණ මිත්‍රයා මමත්, මගේ කල්‍යාණ මිත්‍රයා තාත්තාත් වුණා. ඔහු යමක් කරන්න කලින් ඒ අදහස මට කියලා ‘චිත්‍රා මොකද කියන්නේ ඒ ගැන....’ ‘ චිත්‍රා හිතන්නේ කොයි විදියට ‍කළොත් හො‍ඳෙයි කියලද? ආදී වශයෙන් මා සමඟ අදහස් හුවමාරු කරගත්තා. ඉඳහිට හැන්දෑවක තාත්තා මා සමඟ පාර දිගේ පයින් ඇවිදගෙන යනවා. බොහෝ දේවල් කතා කරනවා.

අදත් ඇතැම් වේලාවක මගේ හිතට කරදරයක්, දුකක් දැනුණාම මම හිතින් තාත්තා මට මෙහෙම කියයි කියලා හිතන කොට ඒ වදන මට තාත්ත‍ාගේ හඬින් ම ඇහෙනවා වගේ. තාත්තා ගැන කියන කොට මා හුඟක් හැඟීම්බර වෙනවා. ඔහු ගැන කියා නිම කරන්න පුළුවන්කමක් නෑ.

මට මතකයි, කන්නන්ගර මහතාගේ අභාවයෙන් පස්සේ ඔහුට කෘත ගුණ වශයෙන් මාවතක් නම් කිරීම සිදු වුණා. තාත්තා ඒකට කැමති වු‍ෙණ් නෑ. ඔහු අප සමඟ විහිළුවට කිව්වේ මලලසේකර මැරුණොත්, මලලසේකර මුඩුක්කුව කියලා කොහේ හරි බෝඩ් එකක් ගහයි කියලා.

තාත්තා මිය ගියාම පකිස් ‍පෙට්ටියක දාලා ආදාහනය කරන්න කියලා අපට කිව්වා. පුහු ආටෝපයට කවදාවත් තාත්තාගේ කැමැත්තක් තිබුණේ නෑ. ඔහු මිය‍ගිය අවස්ථාවේ මා ඒ බව මතක් කළාම කිසියම් කෙනෙක් මට කිව්වා “මලලසේකර කියන්නේ ඔයාගේ තාත්තා නොවෙයි. මලලසේකර මුළු ලෝකයේම බෞද්ධ ජනතාවට අයිති කෙනෙක්. ඒ නිසා මේ අවස්ථාවේ පෞද්ගලිකත්වය අමතක කරන්න” කියලා. 1973 දී ඔහු මිය යන විට ඔහුගේ වයස අවුරුදු 73 යි. තාත්තා මිය යන අවස්ථාව වන විට භාෂා 32 ක් දැනගෙන හිටියා. අවසන් කාලෙ මුත්‍රා අමාරුවක් තිබුණා. ‘ කකුල් ඉදිමුණාට මගේ ඔළුව ඉදිමෙන්නේ නෑනෙ’ කියා විහිළුවකින්ම අසනීපය වසන් කරගෙන හිටියා.

ආගමික, සමාජීය කටයුතුවල නිරත වී කවරාකාර පාඩුවක්, කරදරයක් වුවත් ඒවා ඉතසිතින්ම ඉවසා සිටීමේ පුරුද්දක් තාත්තාට තිබුණා.

Comments