BOLLYWOOD | සිළුමිණ

BOLLYWOOD

 

හිස් ගසා දමන්නලු!

හිස ගසා දමන දඬුවම් දුන්නේ රජ කාලෙදියි. ඒත් අතීතයේ ජීවත්වන අන්තවාදීන් තවමත් ජීවත්වෙන බව තවත් කතාවකින් තහවුරු වෙනවා. අල්ලපු රටේ එක්තරා දේශපාලකයෙක් (නම - සුරාජ් ජාල්) ජනප්‍රිය නිළි දීපිකා පදුකෝන් ගේ හිස ගසා දමන ලෙස කතාවක් කර තිබෙනවා. ඇගේ හිස ගසා දමන අයෙකුට ‍ඔහු ඉන්දීය රු. මිලියන 100 ක් පිරිනමන බවත් පවසලා.

ඔහුගේ මතයට අනුව දීපිකා එවැනි දඬුවමක් ලැබීමට තරම් වරදකාරියක වී සිටින්නේ ඇය ‘පද්මාවතී’ චිත්‍රපටයේ රඟපෑම නිසාලු. දීපිකා රඟපා ඇත්තේ මුස්ලිම් සුල්තාන්වරයෙකු සමඟ පෙමින් බැ‍ඳෙන හින්දු රැජනකගේ චරිතයක්. සුරාජ් පාල්ගේ මේ බිහිසුණු කතාවත් සමඟ තවත් පුද්ගලයන් කිහිප දෙනෙකු දීපිකාට දුරකථනයෙන් තර්ජනය කර තිබෙනවා.

ඓතිහාසික කතාවක් රැගත් ‘පද්මාවතී’ චිත්‍රපටය අධ්‍යක්ෂණය කර ඇත්තේ ප්‍රවීණ සිනමාකරු සන්ජේ ලීලා හන්සාලියි. මෙහි දීපිකා නිරූපණය කරන්නේ රාණි පද්මාවතී නම් ව‍ූ 14 වැනි සියවසෙහි විසූ ඉන්දීය රැජනගේ චරිතයයි. රන්වීර් සිං නිරූපණය කරන්නේ අලවුදීන් ඛල්ජි නම් වූ සුල්තාන් වරයාගේ චරිතයකි. මේ චිත්‍රපටය රූගත කිරීමේදී එයට කිහිප වතාවක් ම ඉන්දියාවේ විවිධ පුද්ගලයන් සහ සංවිධානවලින් විරෝධතා එල්ල වුණා.

මේ අතර දීපිකාට තර්ජන එල්ල කිරීමෙන් පසුව අධ්‍යක්ෂ සන්ජේ ලීලා භන්සාලිටත් එවැනි ම බියකරු තර්ජනයක් කිරීමට සුරාජ් ජාල් පෙලඹී සිටින බවයි පැවසෙන්නේ. සන්ජේගේ හිස ගසා දැමීමටත් ඔහුට අවශ්‍යලු.

මේ තර්ජනවලට ප්‍රතිචාර දක්වන දීපිකා, කිසිදු බියකින් තොරව පවසා ඇත්තේ කාන්තාවක, කලාකාරියක සහ ඉන්දීය පුරවැසියකු ලෙස මේ ප්‍රකාශ කෝපයෙන් සහ පිළිකුලෙන් බැහැර කරන බවයි.

අර්බාස් ඛාන් ගේ හිත අවුල් වෙලා?

සටන් ජවනිකාවලින් පිරුණු ‘ඩාන්බාග්’ චිත්‍රපටය තිරගත වුණේ 2010 දීයි. අභිනව් කාශ්‍යප් අධ්‍යක්ෂණය කළ මේ චිත්‍රපටය නිෂ්පාදනය කළේ ජනප්‍රිය නළු අර්බාස් ඛාන්. ඔහු සුපිරි නළු, සල්මන් ඛාන්ගේ බාල සොහොයුරෙක්. ‘ඩාන්බාග්’ චිත්‍රපටයේ දෙවැනි කොටස තිරගත වුණේ 2012 දීයි. ‘ඩාන්බාග් - 2’ ලෙස නම් කළ මේ චිත්‍රපටය නිර්මාණය කරමින් අර්බාස් ඛාන් චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකු බවට පත්වුණා.

මේ චිත්‍රපටයේ නිෂ්පාදනයට අර්බාස් ගේ බිරිය වූ මලෙයිකා අරෝෂා ඛාන් ද ඔහු සමඟ දායක වුණා.

මෑතකදී ඔවුන් දෙදෙනාගේ යුග දිවිය ඉරිතලා ගියා. දැන් දෙදෙනා දෙපසට වෙලා. අර්බාස් මීට කලින් සැලසුම්කර ගෙන සිටියේ ‘ඩාන්බාග් - 3’ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්නයි. නමුත් පසුගියදා ඔහු, ඒ කටයුත්ත ප්‍රවීණ නළුවෙකු සහ අධ්‍යක්ෂවරයෙකු වන ප්‍රභූදේවාට භාර කළා. බොලිවුඩ් ආරංචි මාර්ග පවසන්නේ අර්බාස්, මෙවැනි තීරණයකට එළඹුණේ ඔහුගේ පෞද්ගලික ජීවිතය තුළ හටගත් හැල හැප්පීම් හේතුවෙන් බවයි.

ඒ වුණත් අර්බාස්, මාධ්‍යයට පැවසුවේ වෙනත් කතාවක්...

“මට ‘ඩාන්බාග්’ චිත්‍රපටයේ තුන්වැනි කොටසට අලුත් මුහුණුවරක් දෙන්න ඕනෙ වුණා. මගේ ජීවිතයේත් ප්‍රශ්න ඇති වුණා. ඒත් මේ චිත්‍රපටයේ කලින් චිත්‍රපට දෙකේ දී වගේ රඟපාන්නයි, අධ්‍යක්ෂණය කරන්නයි නිෂ්පාදනයට දායක වෙන්නයි මට තනියෙන් කරන්න බැහැ. ඒක ලොකු වගකීමක්. හිත ඇතුළෙහි වෙනත් දේවල් තියාගෙන මේවා කරන්න බැහැ. මම හිතන්නෙ මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න මේක සුදුසු වෙලාව නෙමෙයි කියලයි. පස්සෙ කාලෙක ආපසු චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරන්න බලමු. මගේ පෞද්ගලික ප්‍රශ්න නිසා මේ වගේ තීරණයක් නම් ගත්තෙ නැහැ.”

‘ඩාන්බාග්’ මුල් කොටසෙහි ප්‍රවීණ නළු විනෝද් ඛන්නා ද රඟපෑවා. ඒ, සල්මන් ඛාන් සහ අර්බාස් ඛාන් ගේ පියා හැටියටයි. විනෝද් ඛන්නා මෑතකදී තම ජීවිතයෙන් සමු ගත්තා. ‘ඩාන්බාග් - 3’ චිත්‍රපටයට ඔහුගේ රංගනය එක් කර ගන්නට නොහැකිවීම දුකක් බවයි, අර්බාස් පැවසුවේ.

පරිනීටි චොප්රාට පොලිස් ආරක්ෂාව

පරිනීටි චොප්රා සහ අර්ජුන් කපූර්ට පසුගිය සතියේ බොලිවුඩ් චිත්‍රපටයක දර්ශන කිහිපයක රඟපාන්නට සිදුවුණේ දැඩි ආරක්ෂාවක් මැද්දේ. බලාපොරොත්තු නොවූ අයුරෙන් අතිවිශාල රසික ජනතාවක් චිත්‍රපටයේ රූගත කිරීම් නරඹන්නට පැමිණීම නිසයි එවැනි වාතාවරණයක් මතු වුණේ. විශේෂයෙන් ම පරිනීටිව දැක බලා ගන්නට මේ රසික පිරිස රොද බැඳ ගත් බවයි එහි හිටි ආරක්ෂක නිලධාරීන් පැවසුවේ.

ඩිබාකර් බැනර්ජි අධ්‍යක්ෂණය කරන ‘සන්දීප් ඕර් පින්කි ෆරාර්’ නම් ව‍ූ මේ චිත්‍රපටයේ දර්ශන පෙළක් පසුගියදා රූගත වුණේ ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ නිවාස සංකීර්ණ කිහිපයක් පිහිටි ප්‍රදේශයකයි. එළිමහන් දර්ශන කිහිපයක් ම එහිදී රූගත කිරීමට තිබුණත් උදෑසනම පැමිණි චිත්‍රපට කණ්ඩායම මුලින් ම යොමුවුණේ එක්තරා නිවසකදී දර්ශන කිහිපයක් රූගත කරන්නටයි.

අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිස ඊට කලින් ඒ ප්‍රදේශය අවට වාතාවරණය පරීක්ෂා කළා. රසික පිරිස් ටිකෙන් ටික ළඟා වෙමින් සිටින හැටි ‍ඔවුන්ට හොඳින්ම පෙනුණා. මොහොතක්වත් ප්‍රමාද නොවූ චිත්‍රපට කණ්ඩායමේ සියලු දෙනාගේ තීරණය මත වහාම පොලිස් ආරක්ෂාව ලබාගන්නට කටයුතු යෙදුණා. ඒත්, රසික පිරිස වැළ නොකැඩී රූගත කිරීම් සිදුවන ස්ථානයට පැමිණියා. කෙසේ හෝ පරිනීටි එම නිවාස සංකීර්ණයේ එක් නිවසක් තුළ දර්ශන කිහිපයක් රඟපෑම ආරම්භ කළා.

එම දර්ශන කිහිපය රඟපෑමෙන් පසුව පරිනීටිට නිවසින් පිටතට පැමිණෙන්නට හැකි වුණේ නැහැ. රසික පිරිස් එකිනෙකා පරයමින් කලබල කරන්නට පටන් ගත්තේ ඇයව දැක ගන්නටයි. මේ හේතුවෙන් ඇයට එතැනින් පිටත්ව යන්නට සිදුවුණේ නිවසෙහි පිටුපස දොරටුවකින්. ඇගේ මෝටර් රිය එම ස්ථානයට රැගෙන ආ විටදී ඇය ඉක්මනින්ම එයට නැඟී පිටත්ව ගියා.

“හුඟ දෙනෙක් පොරකමින් හිටියේ පරිනිටි එළියට ආපු ගමන් එයත් එක්ක සෙල්ෆි පින්තූර ගන්නයි. විශේෂයෙන් ම, තරුණ අය තමයි එහෙම ලෑස්ති වෙලා හිටියේ. ඒත් කාටවත් ඒවා කරන්න බැරිවුණා” නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු පැවසුවා. 

Comments