සමීප රූප | සිළුමිණ

සමීප රූප

දුන්න දුනු ග‍මුවේ නාට්‍යයත් 1972 දී ඒ නාට්‍යය වේදිකාවට ගෙන ආපු දැවැන්තයාගේත් රූප සමීප රූප අතර. දුන්න මුල් නිෂ්පාද‍නයේ හිටපු නළු නිළි කණ්ඩායමේ මුහුණු සමීප රූප වෙලා. නාට්‍ය හදපු සොඳුරු ආඥාදායකයාගේ මුහුණත් එක්ක ඉද්‍රචාපට පේනවා. සුගතපාලද සිල්වා තමයි වේදිකාවේ සොඳුරු ආඥාදායකයා. ඒක සුගත්ගේ හොයා ගැනීමක්. දුන්නේ පරිවාර සේනාව, විමල්කුමාරද කොස්තා, මර්සි එදිරිසිංහ, යු. ආරිය විමල්, පියසේන අහංගම, (මේ කවුරුවත් අද අප අතරෙ නෑ) දයාරත්න කොස්තා, මලිනී වීරමුණි, ඩබ්ලිව්. ජයසිරි, වේදිකාව පිටුපස හිටපු අංගරචකයා ගාමිණී වික්‍රමසුරියත්, සරච්චන්ද්‍ර සමරක්කොඩිත් අප අතර නැති බව ඉද්‍රචාප දන්නවා.

දුන්න වේදිකා ගත කරන මුල් කාලෙ සුගත් නිතර කියන කතාවක් ඉද්‍රචාපට අද වගේ මතකයි. දැන් මගේ වැඩ කොටස් ඉවරයි. දැන් නාට්‍යය භාර ස්ටේජ් මැනේජර්ට. දුන්නෙ ස්ටේජ් මැනේජර් නිව්ටන් කියලයි යාන්තමට මතක. සැනට් දික්කුඹුරත් වේදිකාව භාරව හිටියා. සුගත් ‍කිව්වේ නාට්‍ය සැදුවට පස්සෙ රංග කාර්යයෙ වගකීම ස්ටේජ් මැනේජර්ගෙ කියලා. මහාචාර්ය සරච්චන්ද්‍රගෙ සිංහල වචන යෙදුම වුණේ රංගභූමී පාලක. එයා තමයි වේදිකාව පි‍ටුපස ලොක්කා. නේපථ්‍යා හාරයේ (Make up dressihg roow) සමහර වෙලාවට වෙනම ලොක්කෙකුත් හිටියා සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩාමේ.

අද සමීපරූපයේ ඇඳෙන්නෙ සතියකට පමණ ඉස්සර දවසක අපගෙන් වෙන්ව ගිය රංගභූමි පාලක භූමිකාවට පණදුන් සුන්දර මිනිසෙක්. චරිතයක් පිළිබඳව. එයා වේදිකාව පිටුපස ජීවත් වුණු සොඳුරු ආඥාදායකයා. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම සොඳුරු ආඥාදායකයා. ඔහු තමයි ධනපාල බෝගොඩ. සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායමේ වෙස්සන්තර,මනමේ, සිංහබාහු, පෙමතො ජායතී සෝකෝ, මහාසාර, රත්නාවලී, බවකඩතුරාව වගේ දිගු නාට්‍ය මෙන්ම කපුවා කපෝති, රන්රසේ, වෙල්ල වැහුම්, කදාවළලු, එලොව ගිහින් මෙලොව ආවා, වගේ කෙටි නාට්‍ය වලත් රංගභූමී පාලකයා විදියට දශක තුනකටත් වඩා දිගු කාලයක් රංගභූමී පාලක සරච්චන්ද්‍ර නාට්‍ය සම්ප්‍රදායට නාට්‍යයක ශෛලිගත සම්ප්‍රදායෙ දී රංගභූමී පාලකගෙ කාර්ය භාර්ය වගකීම විසාලයි. රාජකීය චරිත බහුල ඒ වර්ගයේ නාට්‍ය වල රංග වස්ත්‍ර, රංගාභාර්ණ, රංග භාණ්ඩ, ආදිය පිළිවෙළටම , අවශ්‍ය වෙලාවටම වේදිකාව මත තියෙන්න ඕන.

මනරම් නාට්‍ය ජවනිකාවක් ඉද්‍රචාපගෙ සමීපරූපයෙ. කුමාරයාත් වැදිරජුත් අතර ද්වන්ද සටනට පෙර ඔවුන් ළඟ ඇති දුනු ඊතල, පළිහ වගේ රංග භාණ්ඩ එක් සැනෙකින් ඉවත් කිරීමේ එක නිදසුනක්. මනමේ කුමරියගේ සරණ මංගල්‍යයට අවශ්‍ය පැන් කෙණ්ඩිය වගේ රංග භාණ්ඩයක් ? අවශ්‍ය තන්හි ජවනිකා මාරුවීමකදී එය කරන ප්‍රධාන නළුවා නිසි වෙලාවට වේදිකාවේ රඳවා ගැනීම වරින්වර යන එන ගායක කණ්ඩායම .....අවශ්‍ය මොහොතේ වේදිකාව සුදානම්ව තැබීම වගේ දහසකුත් එකක් වගකීම් සහිත රාජකාරි තිතටම නියමෙටම ඉටුකරපු රංග භූමී පාලකයෙක් විදියටයි ධනපාල බෝගොඩගේ නම සරච්චන්ද්‍ර නාට්‍ය වංශ කතාවේ ලියැවිලා තියෙන්නෙ.ඉන්ද්‍රචාපගේ සමීපරූප අතරෙ කෝපයට පත් වෙච්ච ධනපාල ‍බෝගොඩගෙ සමීපරූපයක් ඇත්තේම නෑ.

ඔහු ඉතාම හොඳ මහජන සම්බන්ධතා පවත්වපු රංග භූමී පාලකයෙක්. එක් පැත්තකින් නිෂ්පාදක හෝ නිෂ්පාදිකාව. අනිත් පැත්තෙ විවිධ තරාතිරම්වල නළුනිළි කණ්ඩායමක්. මේ කොටස් දෙක එකට තබා ගෙන සමබරව බුද්ධියෙන් කටයුතු කළ ආදර්ශමත් රංගභූමී පාලකයෙක් විදියටයි. ඉන්ද්‍රචාපගෙ සමීපරූපයට ධනපාල බෝගොඩගේ රූපෙ ඇඳෙන්නෙ. 1999 රාජ්‍ය නාට්‍ය උළෙලෙදී ලලිතා සරච්චන්ද්‍ර නිෂ්පාදනය රත්නාවලී රංගභූමී පාලක ධනපාල බෝගොඩ හොඳම රංගභූමී පාලක සම්මානය දිනා ගන්නේ ඔහුගේ එම විෂය පිළිබඳ පුළුල් අත්දැකීමට - දැනුමට. 

Comments