
හිටපු සමාජ සේවා ඇමැතිවරයෙකු වූ ටී.බී. තෙන්නකෝන් මහතා කවියෙකි. ඔහු දේශපාලනයට පිවිසියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් 1956 මහ මැතිවරණයේ දී දඹුල්ල ආසනයට තරග කර ජය ලැබීමෙනි. 1970 බලයට පත් සමගි පෙරමුණ ආණ්ඩුවේ ඔහු කැබිනට් ඇමතිවරයෙකු ලෙස කටයුතු කෙළේය.
මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වන ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ඔහුගේ පුත්‍රයෙකි. ජනක තෙන්නකෝන් දේශපාලනයට පිවිසීමට පෙර පොලිස් නිලධාරියෙකි. ඒ දිනවල ඔහු මට ප්රවෘත්ති දෙන ගමන් ම සිය පියා ගැන බොහෝ රසකතා කීවේය. පියා දකින්නට ලැබෙන්නේ රාත්‍රියට පමණකැයි කී ඔහු සිය පියාගේ කවිපොත් වගයක් දී ඒවා දඹුල්ලේ හිතවතුනට බෙදා දෙන මෙන් ඉල්ලා සිටියේය. මා විසින් එදා බෙදා දුන් කවිපොත් තවමත් ළඟ තබාගෙන සිටින්නෝ සිටිති.
දඹුල්ලේ පෝරන් වැව ප්‍රදේශයේ ඉපැරැණි සොහොන් බිමක් තිබේ. ඒ අවට ගොවිපොළක දී වරක් හමුවූ ගොවි මහතෙක් ටී.බී. තෙන්නකෝන් මහතා ගොවි ජනතාවට ඉඩම් බෙදා දුන් අන්දම කීවේය. ඒ අනුව කොහු ලණු කැරැල්ලක් මිම්ම ලෙස ගෙන ඉඩම් මැනීම් කර ඇත. දිගම්පතන ප්‍රදේශයේ ද මේ අයුරින් ඉඩම් මැනීම් කර ඉඩම් බෙදා දී ඇත. ඉඩම්වල ඇද කුද දිග හැර තිබෙන්නේ පහන් වැටක් පත්තු කිරීමෙනි. රාත්‍රියට පහන් වැටක් දැල්වීම නිසා ඍජු සරල ආලෝක රේඛාවක් සකසා ඉඩම් ආරාවුල් නිරාකරණය කරදුන් තෙන්නකෝන් මහතා ගොවි නිවාසවලින් කා බී ගොවීන් අතර ම ඇතැම්විට රැය පහන් කළ බව ගොවීහු කීහ.
ඔහු තවත් සමහර දිනවල කවි මඩු පවත්වා තිබේ.
ටී.බී. තෙන්නකෝන් මහතා වරක් බණ්ඩාරනායක මහතා දෙස බලමින් කවියක් කියා ඇත. එවිට ම බණ්ඩාරනායක මහතා ද හිටිවන ම පිළිතුරු කවියක් කියා ඇත.
ඒ කවිය මෙසේය.
“මට
කවි කියන්නට
බැරුවට
සමාවෙන්ට”
දඹුල්ල ආසනය නිර්මාණය වුණේ මාතලේ ආසනයේ කොටසකිනි. 1956 මැතිවරණය සහ මාතලේ ආසනය අතර තවත් සබඳතාවක් ද තිබේ. 1956 මහ මැතිවරණ ප්‍රතිඵල අතරින් මුල්ම ප්‍රතිඵලය ප්රකායට පත්වූයේ මාතලේ ආසනයෙනි. අසනය දිනාගත්තේ ශ්‍රී ලංකා නිදහස් විපක්ෂයෙන් තරග කළ පුවත්පත් කලාවේදියකු වූ නිමල් කරුණාතිලක විසිනි.
නිමල් කරුණාතිලක අතින් පරාජයට පත් එක්සත් ජාතික පක්ෂයේ බර්නාඩ් අළුවිහාරේ මහතා ද මාතලේ හිටපු මන්ත්‍රිවරයෙකි. ඉන්දියාවේ අධ්‍යාපනය හැදෑරු බර්නාඩ් අළුවිහාරේ මහා බ්‍රිතාන්‍යයයෙන් ද උසස් අධ්‍යාපනය ලැබූවෙකි. ඉන්දියා නිදහස් සටනට සම්බන්ධ වූ ඔහු 1931 රාජ්‍ය මන්ත්‍රණ සභා මැතිවරණයට ඉදිරිපත්ව ඇත්තේ ඉන්දියානු ඇඳුමෙන් සැරැසී ගාන්ධි තොප්පියක් ද දමාගෙනය. මැතිවරණයෙන් ඔහු ජයගත්තේය.
නිමල් කරුණාතිලක මහතා පසුකලක ඩඩ්ලි සේනානායක අගමැතිවරයාගේ ප්රවෘත්ති කටයුතුවලට සම්බන්ධ වූ අතර දේශපාලන විචාරාත්මක වැඩසටහන් කීපයක් ද ගුවන් විදුලියට ඉදිරිපත් කෙළේය. ලේක්හවුස් මාධ්‍යවේදියකු හා ප්‍රකට චිත්‍ර ශිල්පියකු වූ තලන්ගම ජයසිංහ මහතාගේ නිවස සිය නිවස මෙන් සලකා පසුකලෙක එහි නිතර කල දවස ගෙවූ ඔහු සිය දේශපාලන සතුරන් වූ මාතලේ අළුවිහාර පරපුර පිළිබඳව මහත් ගෞරවයෙන් කතා කෙළේය. දෙවන රාජසිංහ රජ සමයේ සිදුවූ නිල්ලඹ කැරැල්ලේ දී අළුවිහාරේ මුදලි රජතුමා වෙනුවෙන් දිවි පුද කළ අන්දම දැක්වෙන අළුවිහාරේ සන්නසේ අතින් ලියාගත් පිටපතක් ද ඔහු මට තෑගි කෙළේය.
කැස්බෑවේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා ලෙස බොහෝ කලක් කටයුතු කළ සෝමවීර චන්ද්‍රසිරි මහතා 1970 සමගි පෙරමුණු ආණ්ඩුවේ සංස්කෘතික උප ඇමැති ධුරය දැරුවේය.
ඔහු සිය දේශපාලනය ඇරැඹුවේ ලංකා සමසමාජ විපක්ෂයෙන් මොරටුව ආසනය දිනාගෙනය. ඒ 1947 මහ මැතිවරණයෙනි.
සෝමවීර චන්ද්‍රසිරි මන්ත්‍රිවරයා ද මහජනතාව අතර ම කල දවස ගෙව්වේය. ඇතැම් හවස්වරුවක ඔහු සරමෙන් අත්දිග බැනියමෙන් සැරැසී පිළියන්දල නගර මැද ඔරලෝසු කණුව අසල සිය සහපිරිවර සමඟ සිටිනු දැකිය හැකිවිය.
සිය දේශපාලන ප්‍රතිවාදින්ට ඔහු විවිධ නම් පටබැඳීමට රුසියෙකි. ඔහුගේ ප්‍රතිවාදියා වූ ධර්මසේන ආටිගල එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයා ලෙස 1970 මැතිවරණයට තරග කෙළේය. ආටිගල මහතා වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යවරයෙකි. ඔහු ආටිගල මහතා හැඳින්වූයේ ආටිගුලියා යනුවෙනි. ආටිගල වෙද පරපුර සතු පාරම්පරික ආටිගල ගුලිය නමින් ප්‍රචලිත බෙහෙත් ගුලියක් ද තිබුණි.
ඔහු සමඟ තරග කළ ලංකා සමසමාජ පක්ෂයේ පී. රූබන් පෙරේරා මහතා හැඳින්වූයේ රූබන් පෙරේරා වශයෙනි.
රූබන් පෙරේරා මහතා සිය අස්සනේ රූ යන්න වෙනුවට රෑ යන්න පාවිච්චි කෙළේය. මේ ගැන දන්නා සෝමවීර චන්ද්‍රසිරි මහතා සිය විරුද්ධවාදියා එසේ උපහාසයට ලක් කෙළේය.
සෝමවීර විරෝධි තවත් දේශපාලනඥයකු වූයේ අශෝක පරණවිතානය. ඔහු පරණවිතාන ගැන සඳහන් කෙළේ විරනපතානයා යනුවෙනි. බොධිපාල වෛද්‍යසේකර බෝධිපාලුවං යනුවෙන් හැඳින්වී්ය.
මේ මොන නම් පැටබැන්ඳත් සෝමවීර චන්ද්‍රසිරි මේ සියලු දෙනා සමඟ හිතමිතුරුකම් පෑවේය. දුටුගමන් දෑතින් ම අල්ලාගෙන සුහද බව පළ කෙළේය.
දේශපාලන වේදිකාවට සෝමවීර ගොඩවන විට ම කවියක් කවියක් කියමින් පිරිස හඬ නඟති. කැරළි ගැසුණු කොණ්ඩය දෑතින් පීරා සෝමවීර කවි දෙක තුනක් එක දිගට කියා අනතුරුව හාස්‍යයෙන් හා උපහාසයෙන් ඔහුගේ කතාව පවත්වයි.
සෝමවීර කවියා සමඟ නිතර ම පී. මලල්ගොඩ කවියා ද, ආරියවංශ පතිරාජ කවියා ද ගැවසුණේය.
සෝමවීර සහ මලල්ගොඩ යුගල එක ම මෝස්තරයේ ඇඳුම් පැලඳුම් භාවිතා කළහ. ඔවුනගේ ජාතික බැනියම් ඉතා දිගය. දෙදෙනාගේ ම ඇඳුම් සුදු ම සුදුය. පවතින ආණ්ඩුව කාගේ වුවද විවේචනය කළ යුතු තැන කට වසාගෙන සිටීම ඔවුන් දෙදෙනාගේ ම සිරිත නොවේ. සෝමවීර සරල වචන භාවිතා කරමින් දේශපාලන කවි කී නමුත් මලල්ගොඩ කවියාගේ වදනිසුරු බව ඉතා ඉහළය. පාලි සංස්කෘත භාෂාවන්හි නිපුණත්වය ඔහුගේ කවි තුළින් නිරූපණය විය.
ලබුදූවේ සිරිධම්ම නායක හාමුදුරුවන්ගේ අපවත්වීම ඇසූ මලල්ගොඩ කවියා මෙසේ දුක්විය.
කොස්කොළ වගේ නායකකම් කර පින්නා
දෙස්පාළුවන් ළඟ උක්කුටුකෙන් ඉන්නා
පුස්සන් ඉදිරියේ ඔබ සිහ ගති පෙන්නා
සස්නට රටට නිසි රැකවරණය දුන්නා
පී මලල්ගොඩ කවියාගේ මරණය අසා ආරියවංශ පතිරාජ කවියා දුක්වූයේ මෙසේය.
විසල් බලවතුන් හා සටනට උරදී
පුළුල් ඉසව් ජය ගෙන මරු හට පැරදී
සියල් සතුන්ගේ උරුමය හෙළි කරදී
මලල් අපට ඉස්සර වුන එක වැරදී
මලල්ගොඩ කවියා ද 1965 බුලත්සිංහල අසුනට තරග කෙළේය.
මලල්ගොඩගේ අවමඟුල පැවැත්වුණේ කොළඹ කනත්තේදීය. නිරාලම්බා සරස්වතී නමින් එදින ශෝක ප්‍රකාශයක් අච්චු ගසා බෙදා හරින ලදී. එහි සංස්කාරකයා වූයේ නැසීගිය දයාරත්න රණේපුර කවියාය. ඉහත සඳහන් කවිදෙක උපුටාගත්තේ එම ශෝක ප්රකාශකයෙනි.
පාර්ලිමේන්තුවේ දී ද ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීමේ දී කවියෙන් සොව පළකරන අවස්ථා තිබුණි. කේයස් හෙවත් සාගර පළන්සූරිය, ටී.බී. තෙන්නකෝන්, සෝමවීර චන්ද්‍රසිරි, පතිරාජ තෙන්නකෝන් සහ වී.ටී.ජී. කරුණාරත්න වැනි මන්ත්‍රිවරු කවියට හිතැත්තෝය. ඔවුනගේ කවි නිතර පුවත්පත්වල ද පළවිය. අගමැති ආර්. ප්‍රේමදාස මහතා ලියූ කවි පුවත්පත්වල පළවිය.
රාජ්‍ය මන්ත්‍රණ සභාවේ මන්ත්‍රිවරුන් වූ සර් ඩී.බී. ජයතිලක මහතා සිංහල සාහිත්‍ය පිළිබඳ විශිෂ්ට උගතෙකි. “ලාබෙට ලැබුනට පුහුපොල් කෑවා. ඒ පිට වැලකුණකුත් ඇදබෑවා නමින් ඔශු ලියූ පැදි පෙළක් ගැන කියැවේ. ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැලකේ. ගිංඟේ ගංවතුරක් ගැන ඔහු ලියූ පැදිපෙළක් පටන්ගන්නේ අම්මට සිරි ගජ ගිංතොට නැන්දගෙ දූවරු ඔක්කොම ලොකු වෙනවා යනුවෙනි.
ප්‍රකට පුවත්පත් කලාවේදියකු වූ ඊ.සී.බී. විජේසිංහ 1979 ජනවාරි 21 දා සන්ඩේ ඔස්සෝවර් පත්‍රයට ලියූ ලිපියක සඳහන් කරන්නේ සර් ඩී.බී. ජයතිලක 1915 සිංහල මරක්කල කෝලහල සමයේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරයේ රඳවා සිටියදී කවිගායනා කරමින් කල දවස ගෙවූ බවයි.