
ගෙවුණු සතිවල සේ ම අද දු හරි වහරෙහි ලා විමැසෙන් නේ සිංහලයෙහි යෙදෙන සංස්කෘත තස්සම කිහිපයෙක හරි වහර යි.
1.ඡාඬගල - නිතර වහරෙහි නොයෙදෙන සංස්කෘත තත්සමයෙකි. ඒ වුවද පෙරදිගු වෙදවරුන් (ආයුර්වේද වෛද්‍යවරුන්) අතර නම් ‘ඡඬගල ඝෘත’ ආදිය යෙදේ. මෙහි මුල (මහාප්‍රාණ) ‘ඡ’ යෙදෙන අයුරු මැනැවින් සැලකිය යුතු ය. ඡ,ජ දෙකෙහි වෙනස හඳුනාගැන්මට නොහැකි ඇතැම් නුතනයෝ ‘ජාඬගල’ යනුවෙන් මෙය උච්චාරණය කරනු ද ඇතැම් විට අසන්නට ලැබේ. ඒ ඉඳුරා ම වරදෙහි ‘ඬ’කාරය වෙනුවට බින්දුව යෙදන කල්හි ඡාංගල යැයි ද ලියා හැකි වේ. මේ සකු බසින් එළුවා හඳුන්වන වදනෙකි.
2. ඡබ්බග්ගිය - මේ පාලි තක්සමයෙකි. බෞද්ධ සාහිත්‍යයෙහි නිතර යෙදෙන වදනෙකි. මෙහි දු මුල (මහාප්‍රාණ) ‘ඡ’ යෙදෙන බව මැනැවින් සැලකිල්ලට ගත යුතු ය. යට කී තත්හි මෙන් මෙහි දු ඇතැමුන් ඡ යනු ජ යැයි ගෙන ජබ්බග්ගිය කියනු අසන්නට ලැබේ. සංස්කෘතයෙහි ‘ෂඩ්වර්ගීය’ යන්න පාලියෙහි යෙදෙනුයේ ජබ්බග්ගිය යන රූපයෙනි ‘වර්ග සයකට අයත්’ යනු මෙහි අරුත යි බුදුන් කල විසු එක්තරා කලහකාරී භික්ෂු සමුහයක් හඳුන්වනුව මේ වදන යෙදේ.
3. ඡළභිඤ්ඤා - මේ සිංහලයෙහි යෙදෙන පාලි තක්සමයක් නො ව පාලියෙහි ම යෙදෙන්නෙකි නිතර නිතර ම වරදවා උච්චාරණය කරනු ඇසෙන බැවින් මෙහි ලා විමැසිල්ලට ගැනිණ. මෙහි දු මුල යෙදෙනුයේ (මහාප්‍රාණ) ‘ඡ’ ම ය. බොහෝ උපාසක උපාසිකාවෝ පිරිත් කියන කල ‘ජළභිඤ්ඤා’ යනු කියති ඇතැම් විටෙක එ සේ (‘ඡ’ වෙනුවට ‘ජ’ යොදා) මුද්‍රණය කැර තිබෙනු ද අක්නා ලැබේ.
සංස්කෘතයෙහි ෂඩ්+අභිඥා යනු සන්ධි වු කල්හි ‘ෂඩභිඥා’ යනු නිපැදේ. ඒ හා අනුරූප වැ පාලියෙහි ‘ඡළභිඤ්ඤා’යනු යෙදේ. (මුර්ධජ) ‘ෂ’ (මහප්‍රාණ) ‘ඡ’ වී ඇති සැටි ද ‘ඩ’ (මුර්ධජ) ‘ළ’ වී ඇති සැටි ද කෙරෙහි අවධානය යොමු කළ යුතු ය.
4. ඡේක - පාලි-සංස්කෘත දෙක්හි ම සමාන වැ යෙදෙන්නෙකි සිංහලයෙහි දු තත්සම වැ යෙදේ මෙහි (මහාප්‍රණ) ‘ඡ’(ජේ) සමඟ (අල්පප්‍රාණ) ‘ක’ යෙදෙන බව සැලකිය යුතු වෙයි.(මහාප්‍රාණ) ‘ච’ මෙහි ලා නො යෙදේ.
ඡේක යනු දක්ෂ අර්ථයෙහි යෙදේ.භාෂා ශාස්ත්‍රාදියෙහි ව්‍යක්තයෝ ද එයින් ගැනෙති මේ හා අනුරූප වැ සිංහලයෙහි ‘සේ’ යනු යෙදී ඇත්තේ ය.
5. ඡාත්‍ර - සාමාන්‍ය ව්‍යවහාරයෙහි නිතර නො යෙදුණු ද වියත් වහරෙහි යෙදෙන සංස්කෘත තක්සමයෙහි (මහාප්‍රාණ) ‘ඡ’ (ඡා) සමඟ, ර කාරාංශය සහිත (අල්පප්‍රාණ) ත (ත්‍ර) යෙදෙන බව සැලකිය යුතු ය. ගෝලයා හෙවත් ශිෂ්‍යයා හඳුන්වන පිණිස යෙදේ.
6. ඡින්න - සංස්කෘතයෙහි (සිඳිමෙහි) ‘ඡිද්’ ධාතුවෙන් (ක්‍රියා මුලයෙන්) නිපත් අතීත කෘදන්ත රූපයෙකි මෙහි (මහාප්‍රාණ) ‘ඡි’ සමඟ (දන්තජ) ‘න’ යෙදෙන සැටි සැලකිල්ලෙන් බැලුව මනා ය. සිඳින ලද, කපන ලද යන අරුත මෙයින් ලැබේ.