
නිසි නායකත්වය නොමැති තැන අනුගාමිකත්වය මතු නොවේ
කලාවට අධිපති දෙවඟන විද්‍යාමාන කරන ශක්තීන් හතර සහ නෙළුමෙන් ප්‍රකාශ වෙන පාරිශුද්ධත්වය පාදක කරගෙන ම’විසින් රචනා කරන මෙම ලිපි පෙළෙහි සමාප්තිය සමීප වී තිබේ. ලබන සතියෙන් මේ ලිපි පෙළ නිමාවට පත් කරමි. අත්දැකීම් ඕනෑම කෙනකුගේ ප්‍රබල ගුරුවරයා ය. සාහිත්‍ය නිර්මාණ කරුවන් මෙන් ම වෙනත් නිර්මාණ කරුවන් ද ස්වකීය නිර්මාණයන්ට පසුබිම් කරගනු ලබන්නේ තමාගේ හෝ වෙනත් අත්දැකීම් ය. ඒවා පොදු අත්දැකීම් බවට පත්කිරීමයි නිර්මාණකරුවන්ගේ කාර්යභාරය.
බුද්ධිය, රසිකත්වය, කථිකත්වය හා විනය අත්‍යාවශ්‍ය කාරණා ය. වත්මන් සමාජයෙහි විනය පිරිහී ඇති ආකාරය දකිනවිට ඇතිවන සංවේගය අති මහත් ය. බුද්ධිමත් බහුතරයක් ජීවත්වන ශ්‍රී ලංකාවේ ඇතැම් වැසියන්ගේ විනය පුදුමාකාර අන්දමින් පිරිහී ඇත. මීට හේතුව කුමක් ද? බෞද්ධ අනුගාමිකයා නායකත්වය අපේක්ෂා කරන්නේ කවුරුන්ගෙන් ද? බුදුරජාණන් වහන්සේ ගෙනි. නායකත්වය ඇසුරෙන් අනුගාමිකයා අර්ථවත් වන්නේ ය. එමෙන් ම නායකත්වය අර්ථවන් වෙන්නේ අනුගාමිකයා ඇසුරෙනි. නිසි නායකත්වය නොමැති තැන අනුගාමිකත්වය මතු නොවේ.
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් රචිත සරස්වතී අභිනන්දන ගීතය ජනතාව තුළට ගෙන ගියේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් ය. ඒ එතුමාගේ මියුරු සංගීතයෙන් හා මධුර ස්වරයෙනි. ජාතියේ පිනට පහළවූ මේ මහා ගාන්ධර්වයා එම ගීතයෙන් නිරූපිත උතුම් චරිතය නිරූපණය කළේය. අමරදේවයන් ප්‍රඥාවන්තයෙකි. රසිකත්වයෙන් අග්‍රගණ්‍යය. කථිකත්වයෙන් ඉතා ශ්‍රේෂ්ඨය. විනය ගරුක සිල්වත් උතුමෙකි. මිය යන තෙක් ම පාරිශුද්ධත්වයෙන් ජනතා මෙහෙවර නොඅඩුව තම දේශයට ඉටු කළ අති උතුම් මිනිසෙකි. මෙවැනි දුර්ලභ ගණයේ තවත් උතුමන්ලා අපට දැකගත හැකිද?
එය කළුනික සෙවීමක් බඳු ය. කවිය, ගීතය, කෙටි කතාව, තිර කතාව, වේදිකා නාට්‍ය මේ මාධ්‍ය හරහා මිනිසත් බව ප්‍රකට කළද, ඒ නිර්මාණකරුවන් තුළ ඒවා ක්‍රියාත්මක වෙනවා ද? යන ප්‍රශ්නය මතු වන්නේ ය. යමකු යථාවාදී තථාකාරී, තථාකාරී යථාවාදී විය යුතු ය. කලා ශිල්පියා හෝ ශිල්පිනිය යන නම අර්ථවත් වන්නේ ආදර්ශවත් ජීවිතයෙනි.
කිසිවකු කිසිවක් කිරීමට ප්‍රථම මේ දේ යහපත් ය, මෙය කුසල් සහිත ක්‍රියාවක් ය යන්න අවබෝධ කරගෙන තමන්ගේ මෙන් ම අනුන්ගේ ද යහපත හා සැපත පිණිස ක්‍රියා කළ යුතු ය. මෙහිදී ප්‍රධාන වන්නේ සත්‍ය භාවය හා යුක්ති යුක්ත බවයි. බුදුරජාණන් වහන්සේගේ දේශනයෙන් ප්‍රකාශ වෙන්නේ නිදහස් වීම ගැන මිස ග්‍රහණය කරගැනීම නොවේ.
සතර සවිය හා නෙළුමෙන් නිරූපණය වන අර්ථය අනුව කිසිවකුට ජීවත්වීමට අවශ්‍ය නම්, එය ඉටුකර ගැනීමට නම් සන්තානගත දියුණුව ප්‍රධාන ය. එනම් අභ්‍යන්තරික පාරිශුද්ධිය යි. ඒ සඳහා අවශ්‍ය වන්නේ චෛතසික සංවර්ධනය හා බුද්ධි සංවර්ධනයයි. බෞද්ධ සමාජ දර්ශනය පදනම වී ඇති ප්‍රධාන කරුණු දෙක ප්‍රඥාව හා කරුණාවයි. ප්‍රඥාව යනු බුද්ධි සංවර්ධනයයි. සතර සවියේ පුස්කොළ පොතින් සංකේවත් වන්නේ බුද්ධිය යි. කරුණාව යනු දයානුකම්පාවයි. අද බොහෝ අය තුළින් යමකුට තිබිය යුතුම, දයානුකම්පාව නමැති උතුම් ගුණාංගය ගිලිහී ගොසිනි. පුද්ගලයා ගේ සහ සමාජයේ දියුණුවට මේ කරුණු දෙක ම අවශ්‍ය වෙයි. විමුක්තිය පසක් කර ගැනීමට සිය සන්තානය පිරිසුදුකොට ගත යුතු ය. එය කළ හැක්කේ ප්‍රඥාවෙනි. කරුණාවන්ත හදවතක් ඇති තැනැත්තා සෙස්සන්ගේ දුකට ම පිහිට වීමට, දුක නිවීමට ඉදිරිපත් වන්නේ ය. සතර සවියෙන් සවිමත් වූ පුද්ගලයා නමැති නෙළුම සමාජය නමැති පොකුණෙහි විකසිත විය යුතුය.
විභාග සමත්වී වෘත්තිය සුදුසුකම් ලබාගෙන රජයේ හෝ පෞද්ගලික ආයතනයක උසස් තනතුරක් දැරුවාට කිසිවකු උසස් මිනිසකු වන්නේ නැත. නායකත්වය විසින් දුක් දනවන ප්‍රශ්න අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන්නේ ප්‍රඥාවයි. දුක් විඳින ජනතාව ඒ දුකින් මුදාගැනීමට අවශ්‍ය වන්නේ කරුණාවයි. තනතුර උසස් වූවාට දයානුකම්පාව පපු කුහරය තුළ නොමැති නම් උගත්කම සමාජ ප්‍රගතියට නොව, එය මොවනුනේ අගතිය පිණිස ය. බෟද්ධ සංස්කෘතියේ අසහාය ජීවමාන ප්‍රතිමුර්තිය කවරෙක් ද? ඒ සිද්ධාර්ථ ගෞතම බුද්ධ චරිතයයි. මේ අතිශ්‍රේෂ්ඨ උතුම් චරිතය අගතැන්පත් වීමේ රහස කුමක් ද? ප්‍රඥාවෙන් හා කරුණාවෙන් ඒ උතුම් චරිතය සමන්විත වීමයි. එසේ නම් අප අනුගමනය කළ යුතු නායකත්වය කුමක් ද? ඉහතින් කී පරිදි ඔබ නමැති පියුම සමාජය නමැති පෙකුණෙහි පිපී සුවඳ දස අත විහිදුවන්න.
සතර සවියේ සතරවැන්න නවගුණවැලෙන් සංකේතවත් වන විනයයි. විනයෙන් තොර විද්‍යාවක් නොමැත.
නෙළුම යනු පියුමකි. පියුම උපමාවට ගෙන බුදුරජාණන් වහන්සේ තමාව හඳුන්වා දුන් ලස්සන සංවාදයක් ඇත. එනම් සේඛ සූතයෙහි එන ද්‍රෝණ බමුණාගේ විමසීමයි. ද්‍රෝණ බ්‍රහ්මණයා බුදුන්ගේ පිය සටහන් දැක ඒ පිළිබඳ මවිතයට පත්වී මේ පිය සටහන් දෙවියකුගේ විය යුතු යැයි සිතමින් ගමන් කරන විට දකින්නට ලැබෙන්නේ බුදුරජාණන් වහන්සේ ය.
“අවසර ස්වාමීනි! ඔබ වහන්සේ දෙවියෙක් ද?”
“නැත බ්‍රහ්මණය. මම දෙවියෙක් නොවෙමි.”
“ගාන්ධර්වයෙක් ද?”
“නැත”
“යක්ෂයෙක් ද?”
“නැත”
“මනුෂ්‍යයෙක් ද?”
“නැත”
“එසේ නම් ඔබ වහන්සේ කවරෙක් ද?”
“දෙවියන් ළඟ, ගාන්ධර්වයෙක් ළඟ, යක්ෂයන් ළඟ, මිනිසුන් ළඟ ඇති කාම ආශ්‍රමයන් මා ළඟ නැත. මා දියෙහි ඇතිවී, දියෙහි වැඩී, දියෙන් මතුවී විකසිත වූ අරවින්දයකි. නුඹ මා ඇමතිය යුත්තේ ‘බුද්ධ’ යන වචනයෙනි.” යනුවෙන් වදාළ සේක. බුදු දහමෙහි පාරිශුද්ධත්වයේ සංකේතය නෙළුමකි. හින්දු ආගමික සම්ප්‍රදායේ එන සරස්වතිය වැඩ සිටින්නේ ද නෙළුමකය. අප ද එසේ වීමට සතර සවිය අවශ්‍ය වන බව අවබෝධ කරගත යුතුය.
ලබන සතියට