
මකරා කල්පිතයකි. ඒ සත්ත්වයකු ලෙස පිළිගන්නා විටය. විවිධ ස්වරූපයෙන් චිත්‍රයට නගා ඇති මකර සත්ත්ව රූපය විටෙක කිඹුලෙකු සේ මුව අයාගත් පියාපත් සහිත එකෙකි. මුවෙන් ගිනි පිටවෙන අයුරින්ද චිත්‍රයට නගා තිබේ.
මකර රාශීය යනු වෙනත් එකකි. චිත්රයේ ඇඳි රුවට සමානකමක් ඇත. එය තරු පොකුරකින් සැදුම් ලත් සත්ව රුවකි.
අංශක 270 සිට 390 දක්වා පරාසයක අහස් කුසේ පැතිර පවතී. මකර රාශි චක්‍රයේ දස වැන්නයි. පඨවි ගුණයෙන් යුක්තය. මධ්‍යස්ථ වූ ස්ත්‍රී රාශීයක් මෙන්ම චර, අනතුරුදායක වශයෙන් සැලකේ.රාත්‍රී කාලයේදී බලවත් වූවද සෞම්‍ය, සම රාශියකි.
සෙනසුරු හෙවත් ශනි මකරයට අධිපතියා මෙන්ම ලග්නාධිපති හා ආත්මාධිපතීත්වය ද දරයි. මකර රාශියේ නවාංශක නවය වනුයේ මකර, කුම්භ, මීන, මේෂ, වෘෂභ, මිථුන, කටක, සිංහ, කන්‍යා වේ. මේ අනුව මකරයේ නවාංශක නවය ගැනීම ඇරඹෙන්නේ මකරයෙන්ම ය.
මකරයේ මුල් අංශක 15 දී යමෙක් උපන්නේ නම් සඳු රාශි අර්ධ හෝරාව ද දෙවන අංශක 15 නම් රවි රාශි අර්ධ හෝරාව ද ලබයි.
මකර අධිපති ශනිට අයත් නැකැත් තුන වනුයේ පුෂ, අනුර, උත්‍රපුටුප යන නැකැත් ය.
මකර රාශිගත වුවොත් කුජ මහත් බලයක් ලබයි. එනම් උච්චක්ෂේත්ර වෙයි. 28 වන අංශකයට පැමිණියේ නම් අති උච්ච වෙයි.
ගුරු ග්‍රහයා මකර රාශියට පැමිණියොත් නීචව බල රහිත වෙයි.
මකරයේ පළමු සතුරා රවි ය. හේ මාරක ග්‍රහයා වෙයි. මකරය හිමි ශනිගේ සතුරා ද රවි ය. "අර්ක ශනෛස්වරඃ සදා වෛරඃ "කීවේ එහෙයිනි. රවිගේ පුත්‍රයා ශනිය. පිය පුතු දෙදෙනා නෛසර්ගික සතුරන් බවට පත්වී ඇත. නමුත් රවි, සඳු දෙදෙනා ජීවිත හානි නොකරයි.
රවි නරකට සිටි විට මකර ලග්න හිමියාගේ මහ දශාවන්හිදී හදිසි අනතුරු, ශරීරයේ ඉහළ කොටසට, හිසට විය හැක. සිහිය අවුල් විය හැක. මකරයට සිකුරා සුබ යැයි සැලකේ.
ආත්මාර්ථකාමී කපටි ගති ඇති, ව්‍යාපාරික, දේශපාලන ලෞකික සැපයට කැමැත්තෝ මකරයෙන් උපදී. ලෝකෝත්තර ඥානය ඇත්තන් ප්රාග්ඥයින් මෙයින් ඉපදීම අවමය.
ශනි මංගල යෝගය ලැබුවොත් විවාහය ප්‍රමාද වෙයි. පංච මහා පුරුෂ යෝග තුනක් ලැබීමේ හැකියාව මකරයට තිබේ.
මකරයේ කුජ සිටියේ නම් කුජ උච්චක්ෂේත්ර වීමෙන් "රුචක යෝගය"ද සත්වැන්නට ගුරු උච්චක්ෂේත්‍රව පැමිණියොත් "ගුරු හංස" යෝගය ලබයි. දසවැන්නට ශනි උච්චක්ෂේත්ර වුවහොත් "සස" යෝගය ලබයි.
මෙසේ සක්විති යෝග තුනක්ම ලැබීමේ හැකියාව මකරය සතුය.
මකරයේ උපන් අයගේ ලෞකික ආශාව බලවත්ය. ධනයට, බලයට දැඩිව ලොබ බඳියි. තම පවුලට හිතවත්ය. විශාල ව්‍යාපාර පවත්වා ගෙන යාමේ දක්ෂයෝ වෙති. වැඩ කිරීම ජීවිතයේ පළමු හා එකම කටයුත්ත සේ සලකයි. ලාභ බලා වැඩ කරයි.
පාඩුවක් නම් පැත්ත නොබලයි. පරාජය කිසිසේත් බාර නොගනී. යමක් ඇරඹි විට වෙහෙස නොබලා වැඩ කරයි. කොතරම් අමාරු වූවත් අත් නොහරී. කුසගිනි නිදිමත පහසුවෙන් විඳ දරා ගනී. කිසිවෙකුට යමක් නිකම් නොදෙයි. උදව් ඉල්ලනවාට අකමැති වූවත් හිතවත් වුවොත් අන්‍ය අවශ්‍යතා වලදී සිය කැමැත්තෙන් උපකාර කරයි.
බලයට හා ප්‍රසිද්ධියට කෑදරය. අත්දැකීමෙන් කටයුතු කළද පොතේ තිබෙනවාට පිටින් යන්න අකමැතිය.
ජයග්‍රහණය කරා යන රැස්කර තබාගැනීමට කැමති අය මකරයෙන් උපදී. අවශ්‍ය දේ පමණක් නොව අනවශ්‍ය දේද රැස්කරයි. ආත්මාර්ථකාමීය. කපටි වුවද නීති ගරුකය. සමාජශීලී නොවේ. මිතුරන් අඩුය. පිරිසිදුකම අවමය. ඇඳුම් පිළිබඳ සැලකිලිමත් නැත. කඩ මාල්ලක් හැඳ රජගෙදරට ද යයි. ජේත්තුවට අඳින පිට ඔපයට ප්‍රියකරන අයට අකමැතිය.
කතාවේදී අන්‍ය සිත් ගැනීමේ බුද්ධියක් තිබුණ ද කතාවට අදක්ෂය.
හිත නිතර චංචලය. සටනට අදක්ෂ වුවත් සූත්තරයෙන් සටන ජයගනී.
මකරයේ දුර්වලතා
ඕනෑවට වඩා මහන්සි වී වැඩ කිරීම, තම ශරීර සෞඛ්‍යය පිළිබඳ නොසිතීම, ආත්මාර්තකාමී ගතිය, සෑම කටයුත්තකදීම පළමුව අවිශ්වාසයෙන් බැලීම, වැඩක් ආරම්භ කළ විට ඒ පසුපසම දිවීම නිසා අනෙක් කටයුතු පාඩුකර ගැනීම, මකර රාශී හිමියාට අවාසි සහගත වෙයි.
දණහිස් රෝග, සමේ රෝග, මලානික ගතිය, හන්දි වේදනා, වාත රෝග, රක්ත රෝග හා උදරාබාධ නිතර ඇතිවන රෝග වෙයි. ,මකර ලග්න හිමියා ශරීරයෙන්කුඩාය. රැවුල් කොන්ඩ වැවීම අඩුය. නෙරා ගිය ඇට ඇති ශරීරයකට හිමිකම් කියයි.
ගංගා ආශ්රිත ප්‍රදේශ, සිවුපාවුන් ගැවසෙන ප්‍රදේශ, නිසරු බිම් ආදිය ඇසුරු කොට මකරය ගැවසේ.