අධ්‍යා­ප­නයට අව­ශ්‍ය­ නව ප්‍රව­ණ­තා­ | සිළුමිණ

අධ්‍යා­ප­නයට අව­ශ්‍ය­ නව ප්‍රව­ණ­තා­

අධ්‍යාපනයේ වැදගත්කම සහා අවශ්‍යතාව නැවත නැවත සඳහන් කිරීම (පුනරුක්තිය) අවශ්‍ය නැතැයි සිතන්නනෙමු. පාසල් යෑම සහ අධ්‍යාපනය අතර විශාල වෙනසක් ඇති බව අපි දනිමු. ඔබ ජීවිතයේ පාසලෙන් උගත් දෙය සහ අනෙකුත් විධිමත් ක්‍රියා මඟින් ලත් දැනුම් සම්භාරය අත්හළ විට ඉතිරි වන්නේ කුමක්ද, එයයි අධ්‍යාපනය. ඒ අනුව අධ්‍යාපනය යනුවෙන් අදහස් කරන්නේ මානව දයාව සහ සදාචාරය පෙරදැරිව වර්ධනයක් පුද්ගලයකු තුළ ඇති කිරීමය. ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සංවර්ධනයට ඈත දිවෙන ඉතිහාසයක් ඇත. බෞද්ධ දර්ශනයෙන් එය පෝෂණය වූවාට කිසිම සැකයක් නැත. අවාසනාවකට අධ්‍යාපනය යනුවෙන් වර්තමානයේ අප බොහෝ විට සලකා බලා ඇත්තේ සහතික ලබාගැනීමේ ක්රසම උපාය වලින් සමන්විත වී ඇති පාසල් අධ්‍යාපනය මෙවැනකි. දැනුමට හා සාක්ෂරතාවට ආයුෂ කෙටිය. එය දීර්ඝකාලීන ආයෝජනයක්ද නොවේයැයි අපි සිතමු. ඒ නිසා එම ක්‍රමය වෙනස් කිරීම අනාගත සංවර්ධන අභියෝග ජය ගැනීමට අත්‍යවශ්‍යය.

1.0 සෑහීකමට පත් නොවන (අතෘප්තකර) නිෂ්පාදනයෙන් සහ අවශ්‍යතාවන්ගෙන් ඈත්ව අධ්‍යාපනය මනුෂ්‍යත්වය හා ධරණීයතාව වෙත දිශාගත කිරීම

1.1 පාසල් යෑමේ අභිප්‍රාය සහතික දිනාගැනී

මද? නැත හොත් ‘අධ්‍යාපනයක්’ ලැබීමද?

වර්තමාන ශ්‍රී ලංකාව මුහුණ දී සිටින තීරණාත්මක අධ්‍යාපන පද්ධතිය හා සම්බන්ධ ගැටලු බහුවිධ වන්නේය. වර්තමාන ශ්‍රම වෙළදපොළ තුළ අලෙවි කළ හැකි අභිනව කුසලතා අත් කර දීමකින් තොරව හුදු දැනුම පමණක් ලබා දෙන අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වීම ඉන් එකකි. ප්‍රතිපත්ති සැකසීමේදී මෙන්ම මෙහෙයුම්වලදීත් වෘත්තීය භාවයෙන් තොර අතිශයින් දේශපාලනිකකරණය වූ කළමනාකරණ සංස්කෘතියක් හා ක්‍රියාකාරීත්වය වීම තවත් එකකි. අධ්‍යාපන අමාත්‍යාංශය හා නාභිගත වීම තුන්වැන්නයි. පෘථුල සංකල්පයක් සමග්‍රහණය කරලීමට ද උරදෙන නොවිධිමත් අධ්‍යාපනය සහ යාවජීව අධ්‍යාපන ක්‍රම වැනි සංකල්පිත සාරවත් අධ්‍යාපනික ව්‍යූහයන් වර්ධනය වී නොතිබීම සතරවැන්නයි.

වර්තමානයේ අප රටේ අධ්‍යාපනය අර්ථ දක්වනු ලබන්නේ විභාග පාදක කොටගෙනය. මෙය අපේ දිවයින බටහිර අධිකාරීන්ගේ පාලනයට නතු වීමට පෙර අපේ මුතුන්මිත්තන්ගේ අනුදත් අධ්‍යාපන ක්‍රමයට මෙන්ම ලෝකය පුරා විසිර සිටින අධ්‍යාපන දාර්ශනිකයන්ගේ ඉගැන්වීම්වලටත් ඉඳුරා පටහැණි ප්‍රවේශයකි. අධ්‍යාපනය යනු විභාග සමත් වීම හෝ උපාධි ලබාගැනීමම නොවේ. මිනිස්කම සංවර්ධනය කිරීමේ සංකල්පයන්ගෙන් හා අයුක්තිය වෙත ආනත වීමෙන් සිත නිදහස් කරලීම, නිදහස් චින්තනය දිරිමත් කිරීම අන් අයට උපකාර කිරීමේ ධාරිතාව සහ ආචාරශීලීත්වය ප්‍රවර්ධනය යනුවෙන් හැඳින්වීය හැකිය. විනාශකාරි තරගකාරීත්ව අධ්‍යාපනයෙන් මිදිය යුතුය.

‍වර්තමාන අධ්‍යාපනික වැඩසටහන් වෙනස් කළ නොහැකි අයුරින් පෞද්ගලික ප්‍රතිපත්ති හා ශ්‍රේණි මත නාභිගත වී තිබේ. ඒ නාභිගත වීමේ ප්‍රතිඵලය වශයෙන් ජාතික හා අන්තර්ජාතික වශයෙන් අධ්‍යාපනය, උනුන් ඇනකොටාගැනීමට හා නසාගැනීමට හුරු කිරීමේ මාධ්‍යයක් බවට පත් කරනු ලැබ ඇත්තේය. දිවයින පුරා ව්‍යාප්ත වී ඇති උපකාර පන්ති, ඒ අධ්‍යාපනික අසහනයේ එක් නිදර්ශනයකි. අපි ගස් සඳහා වනාන්තර නැති කරගෙන සිටිමු: විභාග සමත් වන නමුත් අධ්‍යාපනයෙන් තොර වෙමු. එවැනි ක්‍රමයක් තුළ කේන්ද්‍රීය මානව සාරධර්ම විසින් ඉටු කෙරෙන භූමිකාවන් නැති තරම්ය. අපේ අධ්‍යාපන ක්‍රමය තුළ මේ සෝදාපාළුව ජනනය කරන ලද්දේ රට තුළ පැවැති සාම්ප්‍රදායික ක්‍රමය ගුණාංග ඇතුළත් කරගත් පිළිවෙත් අධ්‍යාපනය ක්‍රමයට ඇතුළත් නොකිරීම නිසාය.

1.1.1 සංවර්ධන ප්‍රවණතා

අප සංවර්ධන ප්‍රවණතා හා සැබැඳි නව ප්‍රවණතාවලට අනුගත වෙමින් ඒවායින් එල්ල වන අභියෝගයන්ට මුහුණ දෙනු පිණිස අධ්‍යාපනය මඟින් නව කුසලතා දියුණු කළ යුතු බව සත්‍යයකි; එහෙත් එය කළ යුත්තේ කාලයේ පරීක්ෂාවට ලක් වූ අධ්‍යාපන ක්‍රම සහ මානව සංවර්ධන ප්‍රවේශයන් කැප කරමින් නොවේ. ඓතිහාසිකව ඒ අධ්‍යාපන ක්‍රමයන් විසින්, අපගේ චාරිත්‍රවලින් හා ආගමික පුරානිර්මිතයන්ගෙන් ප්‍රදර්ශනය වන සංවර්ධනයන් කරා ගමන් කිරීමට ජාතියට මඟ පෙන්වනු ලැබ ඇත්තේය. අද පවත්නා අධ්‍යාපන ව්‍යූහයට එකී අධ්‍යාපන දර්ශනය ඉස්මතු කල හැකිද? ශ්‍රී ලංකාවේ නූතන අධ්‍යාපන සංස්ථා හා අධ්‍යාපන පද්ධති, කනගාටු දායක ලෙස විභාග තුළ හිර කරනු ලැබ තිබීම නිසා එවැනි දර්ශනයක් ඉස්මතු වීම සඳහා අවශ්‍ය නිදහස ඒවාට ලැබී නැත. අධ්‍යාපනයේ ලෝක තලයේ ගැටලු හා දෙවැනි සහශ්‍රය සඳහා නියම කර ඇති ධරණිය සංවර්ධනයේ වැදගත්කම ගැන සලකන විට, එකී අධ්‍යාපනික නිෂ්ටාවන් ප්‍රායෝගික ක්‍රියාකාරකම් බවට පරිවර්තනය කරමින් ක්‍රියාවට නැඟීමේ ධාරිතාවන් පිරිපුන් ආයතන සංස්ථාපනය කොට තහවුරු කිරීම අත්‍යවශ්‍යය. ඒ නිසා අනාගත අවශ්‍යතා සපුරා ගන්නට නම් දේශපාලන බලපෑමෙන් නිදහස් වූ ස්වතන්ත්‍ර ආයතන ස්ථාපනය කිරීම අනිවාර්ය වුවමනාවක් වන්නේය.

1.1.2 අධ්‍යාපනයේ මතවවාදය - ඓතිහාසික පර්යාලෝකය‍

1815දී ප්‍රථම අප රට බ්‍රිතාන්‍ය ආධිපත්‍යයට නතු වීමෙන් පසු ඔවුන් සකස් කල ව්‍යවස්ථාවටද ඉහත කී සම්ප්‍රදායන් ඇතුළත්ව තිබිණි. ඒ අනුව උඩරට ගිවිසුමෙහිද මෙකී සාරධර්ම හා සම්ප්‍රදායන් අන්තර්ගත වූයේය. බුද්ධාගම සුරක්ෂිත කිරීම අතීතයේ මෙන්ම රට පාලනය හා පරිපාලනය හා සම්බන්ධ බලතල උඩරට පැරණි පාලකයන් වෙතම පවරා දීම සහ මනුෂ්‍යත්වයට ගරු කිරීම යන ප්‍රතිපත්ති තුළ ඒ සාරධර්ම ගැබ්ව තිබිණි. ශ්‍රී ලංකා සමාජය, වර්ගත්‍රයකට ගැනෙන අහිමිවීම් භුක්ති විඳිමින් සිටියි. මානව සාරධර්ම පරිහානිය, ස්වාධීන චින්තන කුලකයන්ගෙන් තොර වීම හා මනුෂ්‍යයනට ගෞරව නොකිරීමයි ඒ. මෙවන් වටිනාකම් ජනනය විය යුත්තේ අධ්‍යාපන පද්ධතිය ඔස්සේය. මේ නිසා අපේ අධ්‍යාපන පද්ධතිය තුළ වෙනස්කම් ඇති කිරීම අපේ යුගයේ වැදගත්ම අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. ඒ වෙනස්කම් ඇති කිරීමේදී අපේ සාම්ප්‍රදායික උපාය මාර්ග යළි අධ්‍යාපන ක්‍රමයට වැද්දගත යුතුව ඇත. ඒ අනුව අධ්‍යාපන ක්‍රමයට ප්‍රවිෂ්ට කළ යුතු උපාය මාර්ග මොනවාද?

1.1.3 අධ්‍යාපනයේ නාභිය: විශ්වසාධාරණ ප්‍රතිමාන හා ව්‍යවහර සහ මානවවාදය

ශ්‍රී ලංකා සමාජය තුළ විශ්වසාධාරණ ප්‍රතිමාන දිවමන් බවට පමුණුවා ක්‍රියාවට නැගීම අවශ්‍යය. සංවර්ධනය සම්බන්ධයෙන් ලෝක ප්‍රජාව තුළ සංවර්ධනය වෙමින් පවතින චින්තන ක්‍රමයන් කෙරේ ශ්‍රී ලාංකික අපද අවදිමත් විය යුතු ය. නූතන ලෝක නායකයන්ගේ අවධානය නිෂ්පාදනය හා සම්පත් අතර සමතුලිතතාව රැකගත හැකි ආකාරය වෙත යොමු වී තිබේ. ලෝක ප්‍රජාව සතු සම්පත්වල දීර්ඝකාලීන පැවැත්ම ධරණීයතාව පිළිබඳ වගකතීම ගැන හා එම වගකීම නොසලකා හැරීම නිසා උද්ගතව ඇති විනාශය වෙත එක්සත් ජාතීන්ගේද අවධානය යොමු වෙමින් පවතියි. මානව වර්ගයාගේ ප්‍රගමනය පිළිබඳ අපේක්ෂා බිඳවැටීම සමඟ මේ චින්තනයන් සමීපව බැඳී පවතී. ඒ චින්තනයන්, කරණීය මෙත්ත සූත්‍රය තුළ පෘථුල වශයෙන් හා අශෝක අධිරාජයාගේ මැන්ෂෙරා ලිපියේ සංක්ෂිප්තව සටහන් වී ඇති බෞද්ධ ඉගැන්වීම් වෙනත් අපේ සිතුවිලි යොමු කරන්නේය. ඊ.එම්. ෂූමාකර්ගේ ‘පුංචි නම් ලස්සනයි’ යන ග්‍රන්ථයේ බෞද්ධ මානවවාදී අදහස් අවධාරණය කරනු ලැබ ඇත්තේය.

1.3 වර්තමානයේ අධ්‍යාපනයේ නාභිය: මානවවාදය

අධ්‍යාපනය තුළ උච්චස්ථානයකට පත් කෙරුණු ඓතිහාසික සාධක වෙත අවධානය යොමු කිරීමෙන් පසු අධ්‍යාපනය තුළ මානවවාදය අවධාරණය කරමින් ආයතන විසින් ගනු ලැබී ඇති ස්ථාවරයන් කෙරේ අවධානය යොමු කරමු. එම සංසදය අනුව අද අප දැන හෝ නොදැන අමතක කර දමන අධ්‍යාපනයේ පෞරාණික පදනම් හා සංවර්ධනය යනු මිනිසුන්ගේ පසුම්බිවල වැඩි වැඩියෙන් මුදල් සංසරණය වීම හෝ ඔවුන් පරිභෝජනයට කරන දේවල වැඩි වීමක් පමණක් නොවන බව, සංවර්ධනය ඊට වැඩි දෙයක් බව පිළිගැනීමද එහිදී සිදු විය. වැඩිදුරටත් එය විපර්යාසය (change) හා දේශපාලන බලපෑම්වල ක්‍රියාකාරීත්වය, නව තාක්ෂණයන් හා ආර්ථික අනාරක්ෂිතාව විසින් අප තථ්‍ය ජීවිතයෙන් පලවා හරිනු ලබන ආකාරය ආදියද එයින් ඉස්මතු කෙරුණේය. ඉතිහාසයේ අන් කවරදාටත් වඩා අද අප ධනයෙන් ආඪ්‍ය බව අපි දනිමු; එසේ වුවද වෙන කවරදාටත් වඩා අප අනාරක්ෂිත හා අපේ පාලනයෙන් තොර හා පාලනය කළ නොහැකි ව්‍යසනයන්ට ගොදුරු වී සිටින බවද අපට දැනෙයි.

1.4 වැරදි මගට යොමු කළ අධ්‍යාපනය හා එහි ශෝකාන්තය

1940 සිට ක්‍රියාවට නැගුණු නිදහස් අධ්‍යාපනයේ ඵලය වශයෙන් 98%ක සාක්ෂරතාවක් දිනාගෙන සිටින ශ්‍රී ලංකාව, එම ඉහළ සාක්ෂරතාව හා ජයග්‍රහණ උපයෝගි කර බ්‍රිතාන්‍ය ආකෘතිය අන්ධ ලෙස අනුකරණය කළ ගනිමින් කළ යුතු දේ නොදැන වල්මත්ව සිටින්නීය. අපේ රට ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විශ්වවිද්‍යාල අධ්‍යාපනය තෙක් වූ පද්ධතිය තුළ නව ආකෘති ජනනය කරගැනීමට හෝ යථාර්ථවාදී දර්ශනයක් මත අධ්‍යාපනය හැසිරවීමට සමත් නොවූයේය. ඒ නිසා අධ්‍යාපනය තුළ ‘අපරදිගු අවතාරයක්’ නිර්මාණය කර ඇත්තේය. සියලු ඉගැනීම් උපයෝගී කරගනිමින්,1940න් පසුව, වඩා දීප්තිමත් අනාගතයක් ගොඩනැගීමේ අපේක්ෂාව මත හඳුන්වා දෙන ලද සියලු ප්‍රතිසංස්කරණ, අවමංගල්‍ය ගීතිකා ගායනයකින් හෝ වැලපුමකින් තොරව මිහිදන් කර දමන ලද්දේය.

1.5 අධ්‍යාපනයේ වෘත්තියවේදිතාව; නැති වුණු සාධකයක් හා නැතිවම බැරි අවශ්‍යතාවක්

විකාරරූපිව, වෘත්තීයවේදිතාවෙන් හා කාර්යක්ෂමතාවෙන් තොරව දෛනික හා ඒකාකාරි කාර්යයන් සමූහයක් පමණක් ඉටු කරන කාර්යාංශ, වැඩි වැඩියෙන් මෙරට අධ්‍යාපන පද්ධතියට එකතු කරනු ලැබ ඇත්තේය. සෞඛ්‍ය මෙන්ම අධ්‍යාපනයද වෘත්තීයවේදීන් විසින් රැකබලාගත යුතු විෂය ක්ෂේත්‍රයකි. ඒ තුළ නිවැරදි තීරණවලට එළැඹීම පිණිස වෘත්තියවේදී මණ්ඩලයකින් දේශපාලන නායකත්වයට අවවාද අනුශාසනා ලැබීය යුතුය. අධ්‍යාපනය එය ගොදුරු වී සිටින ව්‍යසනයෙන් මුදාගන්නට නම් එය නැතිවම බැරිය. එක අතකින් බලන විට අධ්‍යාපන අමාත්‍යාංශය අධ්‍යාපනික වෘත්තීයවේදීන්ගේ ආධිපත්‍යයට නතු වූ කෙටි කාල වකවානු ආයතන සියල්ල දැඩි ලෙස දේශපාලනිකකරණයට ගොදුරු වී පවතී. ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය පිළිබඳ වගකීම දරමින් අධ්‍යාපනය මෙහෙයවන දේශපාලනයෙන් විනිර්මුක්ත වූ අධිකාරියක් නැතිකම මේ සියලු ප්‍රතිඵලයනට තුඩුදුන් හේතුව වන්නේය.

1.6 පුනර්ජීවනය සඳහා ස්ථාවර අධ්‍යාපනයක් ලබා දීම‍

අධ්‍යාපනයේ වෘත්තීය හා ප්‍රවර්ධන යෙදවුම් හැසිරවීම පිණිස බිහි කරන ලද ආයතනවල ක්‍රියාකාරිත්වය පිළිබඳ විමර්ශනය කරන්නකුට දේශපාලන සාධක හේතුවෙන් ඒවාට අධ්‍යාපනයේ නව ප්‍රවණතා සහ අභියෝගයන්ට අධිෂ්ඨානශීලීව මුහුණ දෙමින් ඉදිරියට ගමන් කිරීමේ ආත්ම ශක්තියක් නැති බව නිරීක්ෂණය කළ හැකිය. සියලු බලවේගයන්ගෙන් නිදහස් වූ ස්වාධීන අධ්‍යාපන අධිකාරියක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළින්ම ස්ථාපිත කිරීම යුගයේ අවශ්‍යතාවක් බවට පත්ව තිබේ. අධ්‍යාපනයෙන් මිනිසුන්ගේ/ ජීවීන්ගේ තිරසර බව සුරක්ෂිත වීම අනිවාර්ය විය යුතුය. මේ සම්බන්ධව යුනෙස්කෝ සහ එක්සත් ජාතීන්ගේ සංවිධානවල අවධානය යොමු වී තිබීම සතුටුදායක කාරණයකි. යුනෙස්කෝ නිර්දෙශ කර තිබෙන තිරසර සංවර්ධනය අරමුණු 17 මෙයට කදිම උදාහරණයකි. එහිදී අධ්‍යාපනයේ අරමුණු සහ වගකීම් ඉතාම සුවිශේෂව පෙන්වා දී තිබීම ඉතා වැදගත්ය.

එසේ කළ හොත්, ශ්‍රී ලංකාවේ මානව සම්පත් සංවර්ධනය නොසලකා හැරීම හා සාවද්‍ය අධ්‍යාපනයක් ලබා දීම නිසා දශක ගණනාවක් තුළ වර්ධනය වී ඇති අහිතකර තත්ත්වයට පුනර්ජීවයක් ලබා දිය හැකි වනු ඇතැයි අපි දැඩි ලෙස විශ්වාස කරමු. ඉහත තර්කය පදනම් කරගෙන ඒවා සඳහා විසඳුම් වශයෙන් පහත සඳහන් යෝජනා කොමිසන් සභාවේ අවධානයට ගෞරවයෙන් යොමු කිරීමට කැමැත්තෙමු.

2.0 මේ සම්බන්ධව කරන ලද පර්යේෂණ පදනම් කරගෙන ඉන් ලබා ගත් තොරතුරු අනුව පහත සඳහන් යෝජනා සකස් කර ඇත.

ගැටලු නිරාකරණය සඳහා පර්යේෂණාත්මක පදනමකින් ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් පහත දැක්වේ.

1. මානව සම්පත් සංවර්ධනය සඳහා ශ්‍රී ලංකා විශවවිද්‍යාල 3ක් සම්බන්ධ කරගෙන දියත් කරන ලද ව්‍යාපෘතිය - ජාතික අධ්‍යාපන ආයතනය සහ NORAD ආයතනය මූලිකත්වය යටතේ නිම කරන ලද මේ වැඩසටහන අන්තර්ජාතික පිළිගැනීමට භාජනය විය. පසුව මේ අත්දැකීම් ලෝකයට ලබා දීම සඳහා එක්සත් ජාතීන්ගේ විශ්ව සම්මන්ත්‍රණයකට 1996 දී ආරාධනා ලැබීම.

2. ‘පාසල සහ ප්‍රජාව අන්‍යෝන්‍ය පෝෂණය’ ප්‍රායෝගික ගුරු පුහුණු පාඨමාලාවලට ඇතුළත් කිරීම. පර්යේෂණයක් මත පදනම් කරගෙන වසර 5ක අත්දැකීම් මෙයට පාදක විය. 1982 -1986

3. නොවිධමත් අධ්‍යාපන සහ තාක්ෂණික අධ්‍යාපන ග්‍රාමීය ප්‍රජාවට හඳුන්වා දීම හා ද්විත්ව පුහුණු සංකල්පය පර්යේෂණ පදනම් කරගත් ජාතික මට්ටමේ වැඩසටහනක් ආරම්භ කිරීම. – ජාතික අධ්‍යාපන ආයතනය 1990 – 1994

4. අධ්‍යාපන ඌනතාවන්ට භාජනය වී ඇති කුඩා පාසල් සංවර්ධනය සඳහා පර්යේෂණාත්මක ව්‍යාපෘතියක් ආරම්භ කිරීම. මෙයට ජාතික අධ්‍යාපන ආයතනය සහ GIZ යන සංවිධානවල නොමසුරු සහාය ලැබිණි. 2010- 2016 යුනෙස්කෝ ආයතනය ඇතුළු රටවල් ගණනාවක් අතිශයින් මේ වැඩසටහන ප්‍රශංසාවට පත් කර තිබේ.

5. ශ්‍රී ලංකාවේ නොවිධිමත් අධ්‍යාපනය සඳහා ප්‍රථම උපාධි පාඨමාලාවක් සංවිධානය කිරීම (ජාතික අධ්‍යාපන ආයතනය). ඉහත සියලු නවීකරණයන් ජාතික අධ්‍යාපන ආයතනයේ එවකට තිබූ නොවිධමත් හා තාක්ෂණික අධ්‍යාපන දෙපාර්තමේන්තුව මඟින් දියත් කරන ලද වැඩසටහන් වේ.

ඉහත සඳහන් සියලු නවීකරණයන් ජාතික අධ්‍යාපන ආයතනයේ නොවිධිමත් හා තාක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් දියත් කරන වැඩසටහන්ය.

2.1 ඉහත දැක්වූ නියාමක ව්‍යාපෘති මඟින් ලබා දුන්නා වූ අත්දැකීම්, ක්‍රියාවලියන් සහ ක්‍රමවේදයන් අදාළ ආයතන මඟින් ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සම්බන්ධ ප්‍රතිපත්ති රාමුවකට ඇතුළත් නොකිරීම ඉතා කනගාටු දායක සහ අභාග්‍ය සම්පන්න කරුණක් වශයෙන් සැලකිය හැකිය. මෙවැනි ප්‍රතිපත්ති 1944 සිටම, විවිධ අවස්ථාවල අත්හැර තිබෙන බව අපට පැහැදිලි වේ. නව ලෝකයට ප්‍රවිෂ්ට වීමේ මාර්ගවලට අදාළ අඩිතාලමක් මෙවැනි අධ්‍යාපන නවීකරණවලින් ඉදිරිපත් කිරීම අධ්‍යාපනය සම්බන්ධ වගකිව යුත්තන් වටහාගන්නවා නම් ඉතා කාලෝචිතයැයි සිතමි. 

Comments