
සාර්ථක ගීතයක් නිර්මාණය වීමට නම් ගායනය, තනුව, සංගීතය මෙන්ම පද රචනයද විශිෂ්ට එකක් විය යුතුය.ආචාර්ය වික්ටර් රත්නායකයන් සංගීතවත්කර ගායනා කරන ‘මගේ සඳ ඇවිත්‘ ගීතය මේ දිනවල අන්තර් ජාලයේ you tube හරහා වැඩිම පිරිසක් නැරැඹූ ගීතය බවට පත්වී තිබේ. ඉරිතලා වියළී යමින් තිබුණු ශ්‍රී ලාංකේය සුබාවිත ගී කෙතට ඇද හැළුණු මහ වැස්සක් සේ හැඳින්විය හැකි මෙම ගීතය මෑත කාලයේ නිර්මාණය වුණු ගී අතරින් වඩාත් කතාබහට ලක්වූ ගීතය ලෙසද හැඳින්වීම නිවැරැදිය. මෙම ගීතයේ පද රචනය ආධුනික නිර්මාණ ශිල්පියකු විසින් සිදුකිරීම මෙහි වඩාත් සුවිශේෂී කරුණයි. එදා මෙදා තුර අපේ රටේ සුබාවිත ගීතය පෝෂණය කරමින් විශිෂ්ට ගීත රචනා කළ ගේය පද රචකයින් ගිය මඟ යන්නට සැරසෙන ඔහු චන්දන මනෝජ් විතානයි.
අපේ හරපද්ධතීන් ආරක්ෂාකර, ශ්‍රී ලාංකේය අනන්‍යතාව රැකගනිමින් එංගලන්තයේ ජීවත්වන චන්දන මගේ සඳ ඇවිත් ගීතයේ උපත පිළිබඳව ‘රසඳුන‘ට කළ හෙළිදරව්වයි මේ.
මගේ සඳ ඇවිත් ඔබේ පළමු නිර්මාණයයි
ඇත්තෙන්ම මෙය මගේ පළමු නිර්මාණය.මගේ පාසල කොළඹ ආනන්ද මහා විද්‍යාලය.පාසලේ කථික සංගමයේ 10 වැනි සංවත්සරයට ලයනල් රංවල ගුරුතුමා සංගීතවත් කළ කථික ගීතය රචනා කළේ මමයි. ඒ තමයි මගේ පළමු නිර්මාණය. නමුත් ප්‍රසිද්ධියේ ගායනා කරන මගේ පළමු නිර්මාණය මගේ සඳ ගීතයයි.
මේ පද රචනාවේ උපත සිදුවන්නේ කොහොමද?
මම ගොඩක් ගීත අහන කෙනෙක්. ඒ වගේම මම හිතට එන කවි සංකල්පනා හැම එකක්ම ලියන්නට පුරුදු වෙලා ඉන්නවා.ඒක මගේ හිතසුව පිනිස කරන දෙයක්.මම කුරුටු ගාන මේ පොඩි පොඩි සංකල්පනා තියාගෙන ඒවා මගේ බිරිඳ ශර්මිලා විතානට පෙන්වනවා.ඇය තමයි මගේ පළමු සහ හොඳම රසිකාව. ඊ ළඟට මගේ යාළුවන්ට පෙන්වනවා.මෙහෙ ඉන්න මගේ යහළුවන් ගෙන් ගොඩක් දෙනෙක් ආනන්දයේ 90 කණ්ඩායමේ අය.ඒවගේම මගේ බිරිඳ වෛද්‍යවරියක්.ඇය ලංකාවෙන් විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පුහුණුව ලබන්න එන්න ගොඩක් අයට අවස්ථාව හදලා දෙනවා. හෘද රෝග විශේෂඥ වෛද්‍ය චානක නන්දසිරිට මේ සංකල්පනාව පෙන්නුවාම ඔහු කිව්වා මේක කවිය ක් නෙමෙයි සිංදුවක් කියලා. ඒ නිසා මෙය හිතවත් නවපරපුරේ ගායකයකුට දුන්නා. නමුත් ඔහු මෙය ගායනා කළේ නැහැ.
මෙය වික්ටර් රත්නායකයන් ගායනා කරන්නේ කොහොමද?
පාසල් යන කාලයේ ඉඳන් මගේ හොඳම ගායකයා වුණේ වික්ටර් රත්නායකයන්. නව යෞවනයේ සිට විශ්ව විද්‍යාල ජීවිතයේ පවා හැම හැඟීමක්ම මම බෙදා ගත්තේ වික්ටර් සහ අමරදේවයන් ගේ ගීත තුළින්. කොටින්ම අපි තාරුණ්‍යය බෙදා ගත්තේ මොවුන්ගේ ගීත එක්ක. වික්ටර් රත්නායකයන් තමයි මගේ වීරයා.ඉතින් වෛද්‍ය චානක මේ ගීතය වික්ටර් සර්ට දෙමු කිව්වාම මගේ හිතේ අමුතු චකිතයක් ඇතිවුණා. ඒකට හේතුව මගේ වීරයා ගාවට ආධුනික මගේ ගීතයක් අරගෙන යන්න තරම් මම සුදුසුද කියන එක මැනගන්න මිනුම් දණ්ඩක් මට හිතාගන්න බැරිවුණු නිසා.
වික්ටර් සර් පහුගිය මැයි මාසයේ මෙහේ ආවා. ඒත් මට එතුමා මුණ ගැහෙන්න බැරිවුණා. පස්සෙ මම එතුමාට දුරකතනයෙන් මේ ගැන කිව්වා. එතකොට සර් කිව්වා.‘‘චන්දන මගේ මිම්මක් තිබෙනවා. ඒකට ගැළපෙනවා නම් මම ගායනා කරනවා.එහෙම නැතිව සල්ලි බලාගෙන මම ගීත කියන්නේ නෑ. වචන ටික මට එවන්න මම බලන්නම් ‘‘ කියලා.
ඉතින් මම වචන ටික එව්වා. සර් මට කතා කරලා කිව්වා ‘‘චන්දන වචන ටික හොඳයි මේක අපි කරමු‘‘ කියලා. ඒ අවස්ථාවේ මට ඇතිවුණු හැඟීම මම එතුමාට කිව්වේ මෙහෙමයි.‘‘මගේ භාර්යාව පෙම්වතිය කාලේ මට කැමැතියි කියල කිව්වාම එදා මට ඇතිවුණු සතුට වගේම සතුටක් මට දැන් ඇතිවුණා ‘‘ කියලා.එහෙම තමයි වික්ටර් සර් මේ ගීතය ගායනා කළේ.
ගීතය මේ තරම් ජනප්‍රිය වෙන්න බලපෑවේ එහි රූප රචනාව කියලා කිව්වොත්
එහි යම් ඇත්තක් තිබෙනවා.මේ ගීතය ගායනා කරලා පටිගත කළාට පස්සේ මෙය එළියට දාන්න ඕන වුණාම ගැටළුවක් මතුවුණා. හේතුව මම ලංකාවේ නෙමෙයි ඉන්නේ. ලංකාවේ සංගීත ක්ෂේත්රය අමුතුම එකක් බවට පත්වෙලා. මම මේගැන සර්ගෙන් ඇහුවාම ‘‘දැන් ලංකාවේ මහ අමුතුම රටාවක් තියෙන්නේ. ඉස්සර ගුවන් විදුලිය නෙමෙයි දැන් තියෙන්නේ. චැනල් කොච්චර තිබුණත් වැඩක් නෑ සිංදුව කියන ගායකයාටම වෙලා තියෙනවා චැනල් ගානෙ යන්න.බස්කොන්දොස්තරලා ගාවට පවා සීඩී අරන් යන්න වෙලා. මම නම් එහෙම වෙන්නෙ නෑ.‘‘ කියලා කිව්වා.ඊට පස්සෙ තමයි මම තීරණය කළේ මෙහි මියුසික් වීඩියෝ එක කරන්න.
රූප රචනාව නිර්මාණය කළ ආකාරය ගැනත් කියමු
මම ලංකාවේ ඉන්න කාලයේ ඇඩ්වටයිසින් ඒජන්සි එකක් කළේ.ඒ නිසා මේ කටයුතු ගැන මට හොඳ වැටහීමක් තිබෙනවා.ඒ වගේම මාත් එක්ක වැඩකළ දක්ෂයින් දෙදෙනෙක් තමයි රනේෂ් නානායක්කාර සහ රන්ජිත් ප්‍රිය බණ්ඩාර කියන්නේ.රන්ජිත් හොඳ කැමරාමන් කෙනෙක්.රනේෂ් මියුසික් වීඩියෝ ගණනාවක් කළ කෙනෙක්. ඒත් මේ අය දැන් මියුසික් වීඩියෝ කරන එක නතර කරලා හිටියේ. මගේ මේ අදහස කිව්වාම ඔවුන් කැමැති වුණා. මම කිව්වේ මට චිත්‍රපට ඕන නෑ සිංදුව අහද්දි තමුන්ට ජනිත වෙන අදහස තීව්ර වෙන විදිහට ලස්සන නිස්කලංක පරිසරයක් ඇතුළෙ මේ නිර්මාණය කරන්න. පරිසරය හැටියට මුහුදු වෙරළ තෝරාගත්තේ මුහුදේ හඬට මම කුඩා කාලයේ සිට කැමැති නිසා.
ඒ නිසා ජිමික්ස් නැතිව විකාර කරන්නේ නැතිව මේ මියුසික් වීඩියෝව සරළව නිර්මාණය කරන්න අවශ්‍ය කටයුතු කළා.
මියුසික් වීඩියෝවේ වයලීනය වයන යුවතිය සහ සැක්සෆෝන් වාදනය කරන දෙදෙනාත් සුවිශේෂයි
මියුසික් වීඩියෝ එක පිළිබඳ මගේ අදහස වික්ටර් සර්ට කිව්වාම ඔහු ඊට එකඟ වුණා. හැබැයි සර් කිව්වා මේ චරිත වලට නිකම් මොඩ්ල් පාවිච්චි කරන්න නම් එපා කියලා. ඒ අනුව තමයි අපි සංගීතය පිළිබඳ හොඳ දැනුමක් තියෙන වයලීනය සහ සැක්සෆෝන් එක හොඳටම වාදනය කරන්න පුළුවන් දෙදෙනෙක්ම තෝරාගත්තේ. මෙහි වයලිනය වාදනය කරන්නේ වගීෂා හෙට්ටාවඩු.සැක්සෆෝනය ගයාන් මෙන්ඩිස්.ඔවුන් විෂුවල් එකට වුණත් හරියට නෝට් එකට වාදනය කරනවා.
මේ මියුසික් විඩියෝව සාර්ථක නිර්මාණයක්
සැබැවින්ම මේ ගීතයට වික්ටර් රත්නායකයන් සංගීතයෙන් ගායනයෙන් කර තිබෙන සාධාරණත්වයට හානියක් නොවන ලෙස වගේම එ් අදහස වඩාත් තීව්ර වෙන ලෙස ඉදිරිපත් කරන්න විඩියෝව නිර්මාණය කරන්න හැම කෙනාම උපරිමයෙන් දායක වුණා. ඒත් රනේෂ් තමයි මේ ලොකේෂන් එක හොයාගෙන ගීතයගැන මගේ සිතේ තිබුණු විෂුවල් එක ඒ විදිහටම යථාර්ථයක් බවට පත්කළේ. ඒ නිසා රනේෂ්ට මෙහි ලොකු ගෞරවයක් යන්න ඕන. අනෙක් කාරණය තමයි වික්ටර් සර් දුන්නු අදහස් සහ උපදෙස්.එතුමන් ගේ උපදෙස් අනුව වැඩකළ නිසා මේ ගීතයේ රූප රචනාවට ආලෝකය වැටුණා.