සිනා කතා | සිළුමිණ

සිනා කතා

උත්තර නොදී ඉන්ඩ පුළුවන්

“ලකී කියනවා බලන්ඩ, ලංකාවට බුද්ධාගම ගෙනාවේ කවුද?” පන්තිය සිසාරා තියුණු බැල්මක් හෙළූ චමරි ටීචර් පසුපෙළ අසුනක සිටි දඩබ්බර සිසුවකු දෙස බලා ඇසුවා ය.

“මං ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්ඩ කැමැති නෑ ටීචර්.” ලකියා නැගිට කීවේය.

“මොනවා! ඒ මොකද?” ටීචර් නැඟී එන කෝපය අසීරුවෙන් යටපත් කර ගනිමින් විමසුවා ය.

“ටීචර් අහන ප්‍රශ්නවලට උත්තර නොදී ඉන්ඩ නීතිය අනුව ‍ඕනෙනං මට පුළුවන්” ලකියා පපුව මඳක් ඉදිරියට දමා කීවේ නීති තර්කයක් මතු කරමිනි.

ඒවා එහෙම තමයි

“මේක මහ පුදුම කතාවක් නෙ. අනේ හැබෑවටම මේ වගේ දේවල් වෙන්ඩ පුළුවන්ද? උතුරේ මහ ඇමැතිතුමා පලතුරු කදකුත් බැඳගෙන මල්වතු, අස්ගිරි නායක හාමුදුරුවරු බැහැ දකින්ඩ ගියා කියන්නෙ” පුවත්පතක් කියවමින් සිටි අමිතා තම සැමියා දෙස බලා කීවේ තම විශ්මය අයාගත් මුවින් පළ කරමිනි.

“ඕක මොකද්ද හාමිනේ, කොයිතරම් ප්‍රශ්න තිබුණත් දැන් මම අඩුම කුඩුම පොදි බැඳගෙන ඔයත් එක්ක අපෙ නැන්දම්මා බලන්ඩ යන්නෙ නැත්ද?” කරුණාසේන කීවේ සිනාසෙමිනි.

ඒ වේගය ඊට වැඩියි

“පසුගිය දවස්වල තිබුණු වැස්සෙන් හදිසි අනතුරු සිද්ධ වෙන්ඩ තියෙන ඉඩකඩ වැඩි හින්දා අධිවේගී මාර්ගවල වාහන වේගය පැයට කිලෝ මිටර් 60 – 80 ට සීමා කරපු එක බොහොම බුද්ධිමත් තීරණයක්” අනෝමා, නිහාල් දෙස බලා කීවේ තම සැමියා වාහනය පදවන වේගය සිහිපත් වීමෙනි.

“ඒ වුණාට ඔය හැම වේගයක්ම සීමා කරන්ඩ පොලීසියට පුළුවන් යැ. පසුගිය දවස්වල විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ කරපු උද්ඝෝෂණවලට පොලීසිය කඳුළු ගෑස් ගහලා බැටන් ප්‍රහාර දෙන්ඩ ගත්තාම කොල්ලෝ කෙල්ලෝ දුවන්ඩ ගත්තේ පැයට කිලෝමීටර් 100 කටත් වඩා වැඩි වේගයකින් නෙ” නිහාල් කීවේ ඔලොක්කුවට මෙන් සිනාසෙමිනි.

දෙගොල්ලොම එක වගෙ

“ජාත්‍යන්තර වැඩිහිටි දිනයයි. ළමා දිනයයි දෙකම එකම දවසට යොදා ගෙන තියෙන එක හරිද මචං.” නාඔටුන්න, සෙනෙවිගෙන් ඇසුවේ තම දිගු රැවුල පිරිමදිමිනි.

“හරි නේන්නං. දැන් බලපං, උඹලා වගෙ වැඩිහිටියො වැඩ කරන්නෙ ළමයි වගෙ බොළඳ විදියට නෙවෙයිද? අනික උඹලා කියන්නෙම ළමයින්ටත් හපන් ළාමක කතානෙ. ජාත්‍යන්තර වැඩිහිටි දිනයයි ළමා දිනයයි දෙකම එක දිනේකට යොදාගන්ඩ ඇත්තෙ ඔය හින්දා වෙන්ඩ ඇති.” සෙනෙවි කීවේ සමච්චල් සිනාවක් නඟමිනි.

වුණේ ඒකයි

“මම මේ නැවතිලා බලා හිටියේ චන්ද්‍රසිරි මහත්තයා ඇවිදින විදියෙ ලොකු අමුත්තක් දැකලයි. එක කකුලක් ටිකක් වැඩිපුර උස්සලා ඔය විදියට ඇවිදින එක ව්‍යායාම ක්‍රමවල එක න්‍යායක් වෙන්ඩ ඇති ‍නේද?” දැදිගම තම කඩය ඉදිරිපිට සිට කීවේ දුර එන චන්ද්‍රසිරි වෙත කට පළල් කොට පුළුල් සිනාවක් පාමිනි.

“පිස්සුද දැදිගම. මම ඇවිදගෙන යනකොට එක පාරටම මගෙ එක සපත්තුවක අඩිය හරියට කට ඇරියා වගෙ ඉස්සරහින් පදාසයක්ම ගැලවුණා. ඊට පස්සෙ අඩිය තියනකොට සපත්තු අඩිය සපත්තුවේම පැටලෙන්ඩ ගත්තා. ඒකයි මම ඒ ගතිය අවම කර ගන්ඩ හිතාගෙන ඒ කකුල ටිකක් උස්සල අඩිය තිය තියා මේ හන්දියේ සපත්තු හදන මනුස්සයා ගාවට ගාටන්නෙ” චන්ද්‍රසිරි කීවේ තරමක අසහනයෙනි.

එහෙම කරලා බලමු

“මල්ලියෙ දැන් උඹයි මමයි මේ අවට ඉන්න අයට වාතයක් වෙන විදියට මෙතන ඉඳ‍ෙගන රණ්ඩු කරන්ඩ ඕනෙ. පොඩ්ඩ එහා මෙහා වුණ ගමන් අපේ අසල්වැසියන්ට බණින්ඩ ගහන්ඩ ඕනෙ. කොටින්ම මෙතැන ලොකු ජංජාලයක් ඇති කරන්ඩ ඕනෙ” මානෙල් තම සොයුරා සමඟ කීවේ ලොකු සැලැස්මක් පැහැදිලි කරන්නාක් මෙනි.

“ඒ පාර උඹ තවත් ජල්ලියක් අල්ලලා අමාරුවේ වැටෙන්ඩද යන්නෙ?” ලාල් ඇසුවේ කෝපයෙනි.

“ඇයි බං උඹට ඒකවත් තේරෙන්නෙ නැද්ද? අපි එහෙම හැසිරෙන්ඩ ගත්තාම ආණ්ඩුව සරණාගතයෝ විදියට සලකලා අපිව අරගෙන ගිහින්, අපේ පදිංචියට හොඳ මහල් නිවාසයක් දෙන්ඩ බැරි නැහැ” මානෙල් කීවේ කපටි සිනාවක් පාමිනි. 

Comments

Kithi kavaganna one mewata Hinayana.

පිටු