ගමේ ගිය ෂැගී ආයෙත් ඇවිත් | සිළුමිණ

ගමේ ගිය ෂැගී ආයෙත් ඇවිත්

සිරස රූපවාහිනිය ඔස්සේ විකාශය කෙරෙන 'සල්සපුනා'ටෙලි නාට්‍යයේ එන ෂැගී මේ දිනවල පේක්ෂකයන් අතර බෙහෙවින් ජනප්‍රියයි.පසුගිය දිනවල හිටි හැටියේම ෂැගී මවට අසනීපව ගමේ ගියා.ටික දිනක් ගත වුවත් ෂැගී තවමත් ෙප්‍ර්ක්ෂකයන් හමුවට පැමිණියේ නැහැ.ඒ ගැන ප්‍රේක්ෂකයන්ට ඇත්තේ බියක්. ඒ ෂැගීගේ චරිතය නැතිව යයිදෝ කියා.ඒ ගැන චම්පික ප්‍රියදර්ශන අප සමග මෙසේ දොඩමළු වුවා.

 'සල් සපුනා' ෂැගීට ලැබෙන ප්‍රතිචාර කොහොමද..

කියන්න සතුටුයි ගොඩක් රසිකයන් මාව හඳුනන්නේ චම්පික කියා නෙමෙයි ෂැගී කීවම. ඒ තරමටම රසිකයන් අතර අද ෂැගීගේ චැරිතය ජනප්‍රිය වෙලා. මග තොටේදි වුණත් මුණ ගැසෙන අය මට කතා කරන්නේ ෂැගී යන නමින්.

 

පසුගිය දවස්වල ෂැගී එකපාරටම ගමේ ගියා..ඒ ගැන රසිකයන් දැන ගන්න ආසාවෙන් ඇති..

ඔව්..මාස දෙකක් විතර සල්සපුනා හි ෂැගී ගමේ ගියා. අම්මාට අසනීප වෙලා ගමට යන ලෙස පෙන්වුවත් සිදුවුණේ මට ඩෙංගු රෝගය වැළඳීීමයි. පසුගිය කාලයේ මාස දෙකක් පමණ ඩෙංගු රක්තපාත රෝගය වැළඳී අසාධ්‍ය තත්ත්වයටම පත්වුණා. කෙලින්ම කියනවානම් එළොව ගිහින් මෙළොව ආවා. යන්තම් දෙවියෝ බලලා දැන් ටිකක් සුව අතට හැරී සිටිනවා.

 

ඒ කියන්නෙ 'ෂැගී'නැවතත් තිරයට එනවා..

ෂැගී ගමේ සිට ළඟදීම නගරයට එනවා. ඒ කියන්නෙ මට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට නැවතත් ළඟදීම ෂැගීව දැක බලාගන්න පුළුවන්.දැන් මට ගොඩක් දුරට සුවයි.විවේකයෙන් ඉන්න කියා වෙද්‍යවරු කීවා.ඒ නිසා වැඩිපුරම වැඩ කරන්න යන්නේ නෑ.

 

චම්පික රෝගීව සිටියදී කවුරුද බලා ගත්තේ..

මගේ ගම අනුරාධපුරේ.නතර වී සිටින්නේ අවුරුදු 10ක ඉදන් මහරගම බෝඩිමක. ඒක තමයි අද මගේ සින්නක්කර නිවහන වෙලා තියෙන්නේ. අසනීපව සිටියදී දෙමවුපියන් හෝ ඥාතීන් කිසිවකු මගේ සාත්තුවට හිටියේ නෑ. මම නතරව සිටින නවාතැනේ සිටින කොළඹ විශ්ව විද්‍යාලයේ ඉගෙන ගන්නා සොහොයුරන් තමයි සුවය ලැබෙන තුරු රැක බලා ගත්තේ. ඒ වගේම බෝඩිම ආසන්නයේ සිටින අසල්වාසි හිතවතුන්ද නිතරම සුවදුක් සොයා බලමින් උදවුකළා.ඒ අය තමයි රෝගීව සිටියදී මගේ ඕනෑ එපාකම් සොයා බැලුවේ.ඒ සියලු දෙනාට ගොඩක් පින්.ගොඩක් අය හිතාගෙන ඉන්නෙ මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක් කියා. නමුත් මම වෘත්තිය රංගන ශිල්පියෙක්.

 

ඔබ වෙළෙඳ දැන්වීමක් හරහා අසීමිතව ජනප්‍රිය වුවා..මතකද ඒ අතීතය

බිස්කට් දැන්වීමකින් තමයි මාව බොහෝ ප්‍රේක්ෂකයන් හඳුනාගත්තේ. එයට අමතරව 'එරන් ලන්දු' වැනි ටෙලි නාට්‍ය කිහිපයකත් දැන්වීම් කිහිපයකත් රංගනයෙන් දායක වූවා. කියන්න කනගාටුයි බොහෝ දැන්වීම්වල මම වෙනුවට වෙනත් නළුවන් යොදා ගන්නවා. බොහොම සුළු ගණන්වලට කතා කළාම බෑ කී විට වෙනත් රංගන ශිල්පීන් යොදා ගන්නවා. මට අවශ්‍ය නිර්මාණ ගොඩක පෙනී සිටින එක නෙමෙයි හොඳ නිර්මාණවලට සම්බන්ධ වීමයි.සල් සපුනා අධ්‍යක්ෂ නාලන් මෙන්ඩිස් මහත්මා ඇතුළු සියලු ‍දෙනා ආදරයෙන් මතක් කරනවා.

 

ඔබ රංගනය පිළිබඳව හැදෑරීම්වල නිරත වෙනවද..

රංගනය පිළිබඳව වි‍විධ වැඩමුළුවලට සහභාගි වී නොදන්නා දේවල් ඉගෙන ගන්නවා. එයට අමතරව ප්‍රවීණ කලා කරුවන්ගෙන්ද රංගනය ගැන ඉගෙන ගන්නවා.කියන්න සතුටුයි මගේ කියල කිසි කෙනෙක් රංගන ක්ෂේත්‍රයේ නෑ. ‍මම මේ ගමන ආවෙ බොහොම අසීරුවෙන්.තවම මම රංගනයට බොහොම ආධුනිකයි.ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. ඉදිරි‍යේදි සාර්ථක රංගන ශිල්පියකු වීමයි එකම බලාපොරොත්තුව.

 

බොහෝ රංගන ශිල්පීන් වේදිකා නාට්‍ය හරහා පැමිණි අය.චම්පික ඇයි වේදිකාවේ දක්නට නැත්තේ..

වේදිකා නාට්‍ය කිහිපයකම රඟ පෑවත් හරි හමන් වේදිකා නාට්‍යයක රඟ පාන්න ලැබුණේ නෑ.හොඳ වේදිකා නාට්‍යයක් ලැබෙනවානම් බොහොම කැමැතියි රඟපාන්න.මගේ බලාපොරොත්තුව ඉදිරියේදි දක්ෂ රංගන ශිල්පියෙක් වීමයි. 

 

Comments