රෝද පුටු රූ රැජන රාජ­ලක්ෂ්මී | සිළුමිණ

රෝද පුටු රූ රැජන රාජ­ලක්ෂ්මී

රාජලක්ෂ්මී ෂන්කාර් ජනර්ධනා මූර්තිට ඒ වෙද්දී වයස අවුරුදු විසි එකයි. ඉන්දියාවේ බෙංගලාරු පළාතේ පදිංචි රාජලක්ෂ්මී ඉගෙනීමටත් හරිම දක්ෂයි. 2007 එක්තරා දිනයක රාජලක්ෂ්මි ‍ශිෂ්‍ය නියෝජිතයන්ගේ ජාතික සම්මේලනයේ විශේෂ දේශනයක් ඇමතීම සඳහා චෙන්නායි බලා පැමිණියා. ඉතා දක්ෂ ලෙසින් එහි සැසිවාරය ඇමතූ රාජලක්ෂ්මී ආපසු බෙංගලාරු බලා යන ගමනේදී ඇය ගිය වාහනය දරුණු රිය අනතුරකට ලක් වුණා. අනතුරට හේතුව වූයේ ඇය ගිය වාහනයේ රියැදුරුට නින්ද යෑමයි. එහෙත් ඉන් මුළු ජීවිත කාලයක්ම විඳවන්න සිදුවුණේ රාජලක්ෂ්මීටයි. දරුණු ලෙස තුවාල ලැබූ රාජලක්ෂ්මී රෝහල් ගත කෙරුණා. එහෙත් මද සුවයක් ලබද්දී වෛද්‍යවරුන් පැවසූ දෙයින් රාජලක්ෂ්මී හා ඇයගේ පවුලේ අය පත් වූයේ දැඩි කම්පාවකටයි.

“අනතුරින් දියණියගේ සුෂුම්නාවට දැඩි හානි සිදුවෙලා. මින්පසු ඇයට කිසි දිනක දෙපයින් ඇවිදීමට නොහැකි වේවි”

එතෙක් දුව පැන ඇවිදි ඉතා ක්‍රියාශීලි තරුණියක වූ රාජලක්ෂ්මී ගේ ජීවිතය එතැන් පටන් නිවෙසේ ඇඳකට සීමා වුණා. බොහෝ අය ජීවිතයේ යම් යම් හැලහැප්පීම් දරාගත නොහැකිව ජීවිතයෙන් පලා යෑමට උත්සාහ කරද්දී දෙපාවල පහළ කොටස අප්‍රාණික වූ රාජලක්ෂ්මී එතැන් පටන් උත්සාහ ගත්තේ ජීවිතය ජය ගැනීමටයි. රිය අනතුරින් පසු ඇයට ශාරීරිකව හා මානසිකව ස්ථාවර තත්තවයකට පත්වීමට හය වසරක කාලයක් ගතවුණා. ඉන්පසු ඇයගේ මුල්ම අභියෝගය වූයේ රෝද පුටුවයි. ඇ‍ඳෙන් රෝද පුටුවට මාරු වීමට සිතුවත් ඇගේ සිත රෝද පුටුවේ ජීවිතය ප්‍රතික්ෂේප කළා.

“මං දිගින් දිගටම රෝද පුටුව එපා කිව්වා. එහෙම වුණානම් මං එක තැනකට කොටුවේවි. එය මට දරා ගන්න බැරි දෙයක්. එහෙත් නිවෙසේ බිත්ති හතරින් එළියට යන්න නම් මං රෝද පුටුවට යායුතුමයි. අවසානයේ මං හිත හදා ගත්තා. මං ඒ ‍අභියෝගය බාර ගත්තා. දැන් රෝද පිටුව මගේ හොඳම මිතුරායි.”

එතැන් පටන් රාජලක්ෂ්මී විශ්ව විද්‍යාලයට ගියේද අනෙකුත් සෑම ගමනක් බිමනක් ගියේද රෝද පුටුවෙනි. නොපසුබට වීර්යයෙන් යුතුව ජීවිතය ජය ගත් රාජලක්ෂ්මී අද දන්ත වෛද්‍යවරියකි. රජයේ රෝහල්වල සේවයෙන් පසු ඇය බෙංගලාරු හි තමාගේම කියා දන්ත චිකිත්සාගාරයක් පවත්වා ගෙන යන්නීය. ඇය තමා පදිංචි පළාතේ පාසල් ගණනාවක දරුවන්ට නොමිලයේ දන්ත වෛද්‍ය සායන පවත්වන්නීය. ඉනුදු නොනැවතී ඇය රෝද පුටුවෙන් යමින් පැසි පන්දු ක්‍රීඩාවේද යෙදෙනවා.

රාජලක්ෂ්මීගේ මෝටර් රථයද ආබාධිත අය සඳහා විශේෂයෙන් නිපදවූවක්. එය පදවාගෙන යන්නේද ඇයමයි. දෙපයින් ඇවිදින අය නොකරන අන්දමේ සුවිශේෂ හැකියා ගොන්නක් රාජලක්ෂ්මී සිය ජීවිතයට ළඟා කර ගත්තේ ද රෝද පුටු‍වේ සිටින අතරේයි. අභ්‍යන්තර ගෘහ අලංකරණ ශිල්පිනියක් ලෙස නිවෙස් අලංකරණයටත් ඇයට තියෙන්නේ පුදුම හැකියාවක්. ඒ විතරක් නොවෙයි ගායිකාවක්. චිත්‍ර ඇඳීමටත් ඇය දක්ෂයි. කකුල් පහළ පණ නැති වුණත් ඇය හොඳින් පීනනවා. ඒ විතරක් නොවෙයි ඇය මේ වෙද්දී රෝද පුටුවෙන් ලෝකයේ රටවල් 11ක සංචාරය කරලා.

මේ හැම දේටම හපනියක් වුණු රාජලක්ෂ්මීගේ ජීවිතයේ හැරවුම් ලක්ෂය වුණේ 2014 වසරේදී ඇය පෙනී සිටි රෝද පුටු රෑප රාජනී තරගයයි. එම තරගයට මුළු ඉන්දියාවෙන්ම ඉදිරිපත්වූ රූප රාජනියන් අතරින් රාජලක්ෂ්මී මුල් තැනට ආවා. එතැන් පටන් ඇය ගැන මුළු ඉන්දියාවම දැන ගත්තා. දැන් ඇය රූප රාජනියක්. එපමණක් නොව ලෝක රූප රාජනී තරගයටත් පසුගියදා ඉන්දියාව නියෝජනය කිරීමට අවස්ථාව ලැබුණේ රාජලක්ෂ්මීටයි.

පෝලන්තයේ වෝර්සෝ අග නගරයේ පසුගිය 08 වැනිදා ලොව පළමු වරට රෝද පුටු රූප රාජනියන්ගේ තරගය පැවැත්වූවා. 2014 වසරේ කිරුළ දිනා වසර තුනකට පසුව වුවත් තරගයට ඉදිරිපත් වීම සඳහා සුදුසුකම් ලැබුවේ රාජලක්ෂ්මීයි. ඒ අතරතුර ඉන්දියාවේ රෝද පුටු රූප රාජනී තරග රැසක් පැවැත්වූවත් ලෝක තරගයට සහභාගි වීමට රාජලක්ෂ්මීට ඇගේ රූපය පමණක් නොව බුද්ධියද හේතු වුණා.

තරගයේ අරමුණ වුණේ ලොව විවිධ ජාතීන් අතර සිටින ආබාධිත පුද්ගලයන් අතර එකමුතුවක් ඇති කිරීමයි. ආබාධිත පුද්ගලයන්ගේ අවශ්‍යතා හඳුනාගෙන ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමත් එහි තවත් අරමුණක්. රටවල් ගණනාවකින් රෝද පුටු රූප රාජනියන් මේ තරගය සඳහා සහභාගි වුණා. අනෙක් රටවලත් මෙවැනි රෝද පුටු රූප රාජනී තරග පවත්වා ඔවුන් ගැන ප්‍රජාව අතරේ හැඟීමක් ඇති කරන ලෙස මේ තරගය සංවිධානය කළ පෝලන්තයේ The Only One Foundation ආයතනය ලෝක ප්‍රජාවගෙන් ඉල්ලනවා.

තරගයේ පළමු තැන දිනා ගත්තේ බෙලාරූස් හි රෝද පුටු රූ රැජනයි. පිළිවෙළින් දෙවැනි තැන දකුණු අප්‍රිකාවත් තෙවැනි තැන පෝලන්තයත් දිනා ගත්තා. අප මෙතෙක් කතා කළ රාජලක්ෂ්මීත් එතැනදී කැපී පෙනෙන තැනක් ලබා ගන්න සමත් වුණා. ඒ ජනප්‍රියම රෝද පුටු රූ රැජන කිරුළයි.

 

Comments