ගීත රූප රචනා කිරීම අභි­යෝ­ග­යක් | සිළුමිණ

ගීත රූප රචනා කිරීම අභි­යෝ­ග­යක්

තාරුණ්‍යය නිර්මාණ කලාවට එක් කරන්නේ අපූර්වත්වයකි. එනිසාම වත්මනේ තාරුණ්‍යයේ එක්වීමත් සමඟ කලාව ද නිර්මාණාත්මක, ජවසම්පන්න මෙන්ම තාක්ෂණික දැනුම ද අතින් නවමු මුහණුවරක් ගෙන ඇත. මෙකී කලා හැකියාවන්ගෙන් පෝෂණය වී කලාවට අලුත් යමක් ගෙන එන්නට වෙර දරන තරුණ කලාකරුවෙකු ලෙස ලලිත ආතාවුද හැඳින්විය හැකියි. මේ දිනවල කවුරුත් ලලිත ගැන කතාබහ කරන්නේ ඔහු නිර්මාණය කළ ගීතමය රූප රචනා නිසාවෙනි.

'මම මේ ක්ෂේත්‍රයට එක් වුණේ සාහාය අධ්‍යක්ෂවරයෙක් වශයෙන්. මේ වන විට හුඟ දෙනෙක් මාව හඳුනන්නේ විෂුවල් ඩිරෙක්ටර් කෙනෙක් ලෙසයි. මේ වන විට ගීත කිහිපයක්ම සඳහා රූප රචනා නිර්මාණය කොට අධ්‍යක්ෂණය කර තිබෙනවා. ඒ අතර 'මගේ හිත කරදර...,මගේ කාලගෝල ..., වැනි ගීත රසිකයන් අතර ජනප්‍රියත්වයට පත්ව තිබෙනවා. ඒ ගීතවලට නිරතුරුවම මට හුඟක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා.' ලලිත පවසන්නේ තමා පැමිණි ගමන්මඟ ගැන නිහතමානී ආඩම්බරයකිනි. 'මම මෙතරම් දුරක් මේ ගමන් මගේ පැමිණියේ කුඩා කාලයේ සිටම මා තුළ පැවැති උත්සාහය හා නිර්මාණශීලිත්වය නිසා කියලයි මට හිතන්නේ.මම ඉපදුණේ නක්කවත්ත, කුලියාපිටිය ප්‍රදේශයේ. පාසල් අධ­්‍යාපනය ලැබුවේ නක්කවත්ත ජාතික පාසලෙන්. පාසලත් ගෙදර පරිසරයත් කුඩා කළ සිටම මගේ කලා හැකියාවන් ඔප් නංවන තෝතැන්නක් වුණා.'ලලිත නවක නළුවෙක් ලෙස ද ජනප්‍රියයි .පාසල් කාලයේ දී නාට්‍ය කලාවට අත්පොත් තබන ලලිත වේදිකා නාට්‍ය හා වීදි නාට්‍ය කෙරෙහි විශේෂ දක්ෂතාවයක් දක්වනවා. ' සාමාන්‍ය පෙළින් පසුව මම පාසලේ වේදිකා නාට්‍යයට වගේම වීදි නාට්‍ය කලාවෙත් නිරත වන්නේ පාසල් කාලයේ සිටයි. ඉන්පසුව ටවර් හෝල් රඟහල පදනමේ නාට්‍ය පාසලෙන් නාට්‍ය කලාව ගැන වැඩිදුරටත් හදාරනවා. ඒ අතරම තරුණ සේවා සභාවේ රංගන පාඨමාලාවත් මම හදාරනවා.

ටෙලි වීව් ආයතනයේ රූපවාහිනී වැඩසටහන් පිළිබඳ හැදෑරීමක් කළා. රවීන්ද්‍ර ආරියරත්නගේ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යයේ වැඩකටයුතුවලට මගේ දායකත්වය ලබා දුන්නා. පසුව ජාතික රූපවාහිනියේ සහාය අධ්‍යක්ෂවරයෙක් විදිහට වසර තුන හමාරක් පමණ කටයුතු කරන්න මට හැකි වෙනවා.

මේ ආකාරයට කලා කටයුතු අතරේ කාලය ගත වෙත් දී පන්නිපිටිය ධර්මපාල විදුහලේ නාට්‍ය හා රංගකලා ගුරුවරයෙක් ලෙස කටයුතු කරන්න මට අවස්ථාව උදා වෙනවා. මේ වන විට මම ත්‍රිකුණාමලය තිස්ස විදුහලේ දරුවන් රැසකට රංග කලාව පිළිබඳ උගැන්වීම සිදු කරනවා.' ගුරුවර‍යෙක් ලෙස කටයුතු කරන ජීවිතය බොහෝ සුන්දර බවයි ලලිත පවසන්නේ. විවිධාකාර හැකියාවන් රැසකගෙන් පිරි දුවා දරුවන් නිසාම ජීවිතයේ විවිධ අත්දැකීම් ලබන ලලිත ඒ සොඳුරු අත්දැකීම් තම නිර්මාණවලට පවා පාදකවෙන බව පවසන්නේ සතුටිනි.' මම රූපරචනා කළ ගීත බොහොමයක මම ගුරුවරයෙක් විදිහට දකින සහ මම ලබන අත්දැකීම් අන්තර් ගත වෙනවා.

මම රූපරචනා කළ මුල්ම ගීතයට තේමාව වුණෙත් මා ලැබූ අත්දැකීමක්. රෝහණ වීරසිංහ සංගීතවේදියා සමඟ තමයි මගේ පළමු විෂුවල් එක මම කළේ. මගේ කලා දිවියේ පටන් ගැන්ම වේදිකාව වුණත් අද වන විට විෂුවල් ඩිරෙක්ටර් කෙනෙක් විදිහට මා ඇවිත් තිබෙන තැන වගේම මට ලැබෙන ප්‍රතිචාර ගැන මම සතුටු වෙනවා. මේ වන විට ගීත රූප රචනා පහක් පමණ මම සිදු කර තිබෙනවා.

ඉදිරියට විජය කුමාරතුංග මහතාගේ ගීත කීපයක් සඳහා රූප රචනා කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් අධ්‍යයනයක නිරත වෙනවා. මොකද විජය කුමාරතුංගයන් කියන්නේ විශේෂ චරිතයක්. එවැනි ප්‍රවීණයෙකුගේ ගීත සඳහා රූප රචනා කිරීම පහසු කටයුත්තක් නෙමෙයි. විවිධ විවේචන එල්ල වෙන්න පුළුවන්. එනිසා හොඳින් හදාරා ඒ දේවල් කළ යුතුයි. ගීත සඳහා රූප රචනා කිරීම අභියෝගාත්මකයි. ගීතයේ අර්ථය තීව්ර වෙන ලෙස අපූර්ව රූපරචනාවක් කළ යුතුයි. රූප රචනාවකින් අපි බලාපොරොත්තු වන්නේ ගීතයට එහි අර්ථයට හානියක් නොවී ප්‍රේක්ෂකයාට අමතක නොවන අර්ථවත් විෂුවල් එකක් කිරීමටයි. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාගේ බුද්ධිය අවධි කිරීමට අපි උත්සාහ කළ යුතුයි. ඉදිරියේ දී පෝය නාට්‍ය කිහිපයක් වෙනුවෙන් මගේ දායකත්වය මම ලබා දෙනවා. ඒ වගේම හොඳ චිත්‍රපටයක් කෙදිනක හෝ අධ්‍යක්ෂණය කිරීම මගේ බලාපොරොත්තුවක්. ඒ වෙනුවෙන් තමයි මම අද දවසේ මගේ කලා නිර්මාණ ඔස්සේ අත්දැකිම් මම හඹා යන්නේ.

1009/12/A,එක්සත් මාවත, කටුකුරුන්ද , පන්නි පිටිය. ලලිතගේ ලිපිනයයි. 

 

Comments