මෙගා බෝතල් වලින් ගෙවල් හදන උමතු ඉංජි­නේ­රුවා | සිළුමිණ

මෙගා බෝතල් වලින් ගෙවල් හදන උමතු ඉංජි­නේ­රුවා

ඇල්ජීරියානු කාන්තාරය වර්තමානයේදී 90,000 ක් පමණ වූ දිගුකාලීන සරණාගතයන් සඳහා නිවහන වී තිබෙනවා. සහරාවි සරණාගතයන් ලෙසින් හඳුන්වනු ලබන මොවුන් 1975 වසරේදී ස්පාඤ්ඤයට අයත්ව තිබූ බටහිර සහරාව, මොරොක්කෝව හා මොරිටානියා යන රටවල් සඳහා ලබා දුන් විට මොරොක්කෝව හා පොලිසාරියෝ පෙරමුණ අතර හටගත් යුද්ධය නිසා පලාගිය පිරිස් වනවා.

කාන්තාරයේ කටුක දිවිය මෙම මිනිසුන්ට ඉතාමත් අසීරු වන්නේ සෙල්සියස් 50 ඉක්මවන උෂ්ණත්වයක් ග්‍රීෂ්මයේ පවතින නිසාම පමණක් නොවේ. විටින් විට පැමිණෙන වැලි කුණාටු හා ධාරානිපාත වර්ෂාවෙන්ද මොවුන් බැට කන්නේ කාන්තාර පරිසරයට ගැළපෙන අන්දමේ ස්ථිර නිවාස නොමැති නිසායි. මේ සඳහා විසඳුමක් මෙම සරණාගත කඳවුරක් තුළම හැදී වැඩුණු තරුණයකු සොයාගත්තේ මීට මාස කිහිපයකට ඉහතදී ය.

27 හැවිරිදි ටටේ ලෙබිබ් බ්‍රයිකා (Tateh Lehbib Braica) එසේත් නැතිනම් උමතු බෝතල් මිනිසා යන නමින් හඳුන්වනු ලබන මොහු ඉංජිනේරුවරයකු වනවා. වැලි පුරවන ලද මෙගා ප්ලාස්ටික් බෝතල් වලින් නිවාස තැනීම නිසා ඔහුට මෙම අන්වර්ථ නාමය ලැබී තිබෙනවා. ඔහු කුඩා කාලයේ ජීවත් වූ නිවසේ වහළයට යොදා තිබී ඇත්තේ ටකරං තහඩුයි. මේ නිසා ඔවුන් නිරන්තරයෙන්ම දැඩි උෂ්ණත්යෙන් බැට කා තිබෙන අතර වැලි කුණාටු හා වර්ෂාවන් වලදී ටකරං සුළඟට ගසාගෙන යෑම නිසා බොහෝසෙයින් පීඩාවට පත්වී තිබෙනවා. මේ නිසා තමන්ගේ මිත්තනියට සුවපහසුව ජීවත්වීමට නිවසක් සාදා දීමට විශ්වවිද්‍යාල අධ්‍යාපනය හමාරකර නැවත කඳවුර වෙත පැමිණි මොහුට සිතී තිබෙනවා.

ඇල්ජියර්ස් විශ්වවිද්‍යාලයෙන් පුනර්ජනනීය ශක්තිය පිළිබඳව උපාධියක් හදාරා ඉන්පසුව ලාස් පල්මාස් විශ්වවිද්‍යාලයෙන් බලශක්ති කාර්යක්ෂමතාව පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරා තිබෙන මොහුට 2016 වසරේදී ඇතිවූ ජල ගැලීමක් අවස්ථාවකදී මෙම ප්ලාස්ටික් නිවාස ඉදිකිරීමට සංකල්පය ඇතිවී තිබෙනවා. වැලි පුරවන ලද ප්ලාස්ටික් බෝතල් ගඩොල් ආකාරයෙන් තබා සිමෙන්ති, පස් හා පිදුරු වැනි ද්‍රව්‍යයන් මගින් සාදා ගන්නා ලද බදාමයකින් රවුමක් හැඩයට බිත්ති සකස් කිරීමෙන් මෙම නිවාස ඉදිකරනවා. රවුම් හැඩැති බිත්ති නිසා වැලි කුණාටු අවස්ථාවලදී බිත්තිය අසළ වැලි එක් රැස්වීම වැළකෙන අතර සුදු ආලේපිත රවුම් බිත්ති මඟින් සූර්ය රශ්මියෙන් නිවස රත් වීම 90%කින් අඩු කරනවා. වාතාශ්‍රය ගමන් කළ හැකි ද්විත්ව වහළය නිසා කඳවුර තුළ තිබෙන සාමාන්‍ය නිවාස වලට වඩා මෙම නිවාස වල උෂ්ණත්වය සෙල්සියස් අංශක 5කින් පමණ පහළින් තිබෙනවා.

ටටේගේ මෙම අදහස එක්සත් ජාතීන්ගේ සරණාගතයින් සඳහා වන ඒජන්සිය (UNHCR) දැනගත් විට නියමු ව්‍යාපෘතියක් ලෙසින් තවත් නිවාස 25ක් කඳවුරු 5ක් ආවරණය වන ලෙසින් සෑදීමට මොහුට මුදල් ලබා දී තිබෙනවා. මෙම නිවාස සෑදීම සඳහා යන පිරිවැය ඉතාමත් අඩු නිසාත් හා ඉවතලන ප්ලාස්ටික් බෝතල් යොදාගැනීම නිසා පරිසරයට සිදුවන යහපත නිසා මෙම ව්‍යාපෘතිය වෙත මුළු ලෝකයේම අවධානය ලැබී තිබෙනවා. එක නිවසක් සෑදීමට ප්ලාස්ටික් බෝතල් 6000 ක් පමණ අවශ්‍ය වන අතර සතර දෙනකුගෙන් යුත් කණ්ඩායමකට සතියක් වැනි කුඩා කාලයකින් මෙම නිවසක් සාදා නිමකළ හැකියි. දියුණු රටවල මෙන් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කිරීමට නොහැකි වූවත් ප්ලාස්ටික් සියල්ලම ප්‍රයෝජනයට ගැනීම ඔහුගේ අරමුණ බව ටටේ වැඩිදුරටත් පවසනවා. 

Comments