පිනි­බර මලක් පොත බිහි­වුණේ මා වටා සිටි අයගේ බල­කි­රී­මට | සිළුමිණ

පිනි­බර මලක් පොත බිහි­වුණේ මා වටා සිටි අයගේ බල­කි­රී­මට

ඔහුට කිහිපවතාවක්ම විශේෂාංග ලිපියක් ලියන්නට ආරාධනය කළෙමු. ඒ මෙයින් වසර තුන හතරකට පෙර රසඳුන අතිරේකයේ පළවු ලිපි පෙළක් සඳහාය. එකල අපි ප්‍රවීණ ගී පද රචකයන්ගේ ජනප්‍රිය ගීත සහ ඒ ගී වලට පාදක වූ අත්දැකිම් ඇසුරෙන් ලිපි ලිවූවෙමු. නැසීගිය ගී පද රචක අජන්තා රණසිංහ, සමන් චන්ද්‍රනාත් වීරසිංහ, සුනිල් ආර් ගමගේ, කුමාරදාස සපුතන්ත්‍රි, ...ආදී වු ගී පද රචකයෝ ඊට දායක වුහ. මේ අතර කිහිප දිනක් කතා කළ ද කුමක් හෝ කියා මඟ හැරිය දෙදෙනෙක් ද වුහ. ඒ දෙදෙනාගෙන් එක් අයකු වුයේ කුලරත්න ආරියවංශ ගී පද රචකයාය. කිහිප දිනක් කතා කළ ද අවස්ථාවක් නොලැබුණ තැන ඒ උත්සාහය අතහැර දැමූවෙමි... කාලය ගෙවී ගියේය. යළිත් කුලරත්න ආරියවංශ නම් වු ගේය පද රචකයා හමු වී ලිපියක් ලිවීමේ අදහස සිත් හී පහළ වුයේ මෙවර රාජ්‍ය සම්මාන ප්‍රදානෝත්සවය නැරඹිමට ගිය අවස්ථාවේදීය. ඒ ඔහු ගේ ප්‍රථම ගීත සංග්‍රහය වූ පිනිබර මලක් කෘතිය හොඳම ගී පද සංග්‍රහය ලෙස සම්මානයෙන් පිදුම් ලැබීමත් සමඟය. ඉන් දින දෙක තුනකට පසු ඔහු ඇමතීමි. ඔහුගෙන් ලැබුණ පිළිතුරේ වෙනසක් නැත. “මේ දවස්වල වැඩ වැඩියි, කාලය අඩුයි. පස්සේ දවසක ලියමුද.ඔහු සුපුරුදු ලෙස උත්තර බදින්නට වුයේය. නමුදු අවසානයේ කෙසේ හෝ ඔහු කොටුකරගන්නට අවස්ථාව ලැබුණේය .ඒ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය පැවැත්වෙන භූමියේදීය..

“ඔන්න ඔය හෙවණකට වෙලා කතා කරන්න.” ඒ මද්දහනේ ඇහැලියගොඩ සොයුරා අත දික්කර පෙන් වු ඉසව්වේ සිට අප කතා කළෙමු.

කොළඹ ආන්නද විද්‍යාලයේ ඉගෙන ගන්නා කාලයේ සිට කවියට ගීයට පෙම්බැදී කුලරත්නයන් ගේය පද රචකයකු ලෙස ජනප්‍රිය වීමට පෙර පාසලේ ප්‍රසිද්ධව සිටියේ හොඳ හඬක් තිබූ ගායකයකු ලෙසිනි. පාසල් කාලයේ සිටම නිර්මාණශීලි දෑ ලියූ ඔහු පසු කාලීනව ගේය පද රචකයකු ලෙස කලඑළි බසින්නේය.

“ආදරයෙන් මා හද වට එතෙන ලතා

ගම්මානේ එළිය නුඹයි ස්වරණ ලතා ”

අබේවර්ධන බාලසූරිය වෙනුවෙන් මුල්ම ගීතය ලියන ඔහු ඉන් අනතුරුව බොහෝ රසබර නිර්මාණශීලි ගී ලියන්නේය. ඔහු ලියු ගී හැත්තෑව අසූව දශකයේ පමණක් නොව අද ද බෙහෙවින් ජනප්‍රියය. ගීත නිර්මාණ දහසකට වැඩි ප්‍රමාණයක් ලියා තිබුණ ද කුලරත්නයන් පිනිබර මලක් ගීත සංග්‍රහය පළ කරන්නේ වසර හතළිහකට පසුය. ඒ ගී සංග්‍රහය ම මෙසේ සම්මානයෙන් පිදුම් ලැබීම ද අපුරුවකි. ගීත සංග්‍රහයක් පල කිරීමට මෙතරම්ම ප්‍රමාද වීමට හේතුව කුමක්දැයි විමසූ විට ඔහුට ඒ වෙනුවෙන් කියන්නට හේතු කාරණා ද රැසකි.

“මාව ගී පද රසිකයෙක් කළේ මා තුළ තිබු ගීත රසිකත්වයයි. ගැටවර වියේ ඉඳලම ම‍ම දරුණු රසිකත්වයක් තිබූ කෙනෙක්. අමරදේව මහත්තයාගේ මින්දද හී සර ගීත ගුවන් විදුලියේ ප්‍රචාරය වෙනකොට මම පොතක් අරගෙන ඒ පද ලියා ගන්නවා. ඒ පද වල තිබුණ සාහිත්‍ය රසය අපව අමුතුම ලෝකයකට ගෙන ගියා. මම සී.ආර් පොත්වල පිටු ගණන් ගීත ලියලා ඇති.ඒ කාලේ යාළුවෝ මාව වටකරගෙන මා ගයන ගී අහගෙන ඉන්නවා. මම ඒ ඩී රංජිත් කුමාර එක්ක කොට කලිසම ගහගෙන ලේක් හවුස් එකට ආවේ පාසල් යන කාලයේමයි. රංජිත් තමයි මාව අබේවර්ධන බාලසූරියට හඳුන්වා දුන්නේ. අපේ තරුණ කාලෙම ඒ යුගයේ පමණක් නොව අදත් බෙහෙවින් ජනප්‍රිය ගායන ශිල්පීන් රැසක් හඳුනා ගැනීමට ලැබුණා. වික්ටර් රත්නායක, සනත් නන්දසිරි අමරදේව ආදී ප්‍රවීණයන් මෙන්ම සුනිල්, එඩ්වඩ්, ලක්ෂ්මන්, රෝහණ, නිරංජලා, නිර්මලා, දමයන්ති ඇතුළු සමකාලීනයෝ හඳුනා ගන්නට ලැබෙන්නෙත් මේ කාලයේ.කුලයට සිංදු ලියන්න පුළුවන් කියලා ප්‍රවීණයන්ට කියන්නේ රංජිත් තමයි. ආදරයෙන් මා හදවට එතෙන ලතා ගීතය ලිව්වේ ගුවන් විදුලියේ ජන ගී පර්යේෂණ අංශයට.සරත් දසනායක සංගීතවත් කළ ඒ ගීය ගැයුවේ අබේවර්ධන . ගීතය ජනප්‍රිය වුණා.ඉන් පසුව තමයි මම වික්ටර් රත්නායකට, රෝහණ සිරිවර්ධනට, ගීත ලිව්වේ. මේ අතර මම විසිතුර පත්තරේ ගීත ගැන ලියනවා. ඒ යුගයේ හිටපු ගුවන් විදුලි නිවේදක නිවේදිකාවෝ අපේ ගීත වාදනය කරනවා.

සිංග් ලංකා ආයතනයේ සේවය කරන යුගයේ මට බොහෝ දෙනකු හඳුනා ගන්නට ලැබෙනවා. නමුත් මා වටා සියලු සම්පත් තිබුණත් ගී පොතක් කීරීම හෝ ගී ප්‍රසංගක් කිරීම සිදු වුණේ නැහැ. අවසානයේ පිනිබර මලක් පොත බිහිවුණේ මා වටා සිටි අයගේ බලකිරීමට. මුල් යුගයේ අප ගීත ලිව්වේ හිතේ තෘප්තියට. මුදල් ගැන හිතුවේ නැහැ .”

“මෙහෙමනේ ඒකාලේ ගුවන් විදුලියේ හිටිය නිවේදකයෝ සම්පාදකවරු හොඳ රසවත් අය .ඔවුන්ට හොඳ රසඥතාවක් තිබුණා. ඔවුන් ගීතයක් හඳුන්වා දෙද්දි ඒ ගැන කියනවා. එයින් රසිකයා ගීතයේ සාහිතය රසය හඳුනනවා වගේම එහි හිමිකරුවෝ ගැනත් දැන ගන්නවා. නමුත් අද එහෙම එකක් නැහැ. අද වෙන කොට චැනල් හතළිස් ගාණක් තියෙනවා. අද ඉන්නේ මුඛරිකම විතරක් තියෙන නොමේරු තරුණ තරුණියෝ. ඔවුන් ගීතයක සාහිතය රසය හඳුනන්නේ නැහැ. ඔවුන්ට බැහැ මිනිසුන්ගේ හදවතට මනසට බලපෑඹ් කරන්නට. එදා වගේම අදත් ඉන්නවා හොඳ ගී ලියන තරුණ නිර්මාණ කරුවෝ නමුත් මේ යන රැල්ලේ දී ඒ අයට මාධ්‍ය තුළ ඉඩක් නැහැ. ඔවුන්ගේ නිර්මාණ ප්‍රචාරය වන්නේ නැහැ. ප්‍රචාරය වුණත් ඒ අයගෙ නම ගම කියැවෙන්නේ නැහැ. මේ නිසා රසිකයෝ ඔවුන්ව හඳුනන්නේ නැහැ. මම එදත් අදත් ගීත ලියන්නේ තෘප්තියට. අපට යම් මිලක් ලැබුණා නම් ඒ කැසට් පට යුගය එළැඹීමත් සමඟ.පසුකාලීනව චිත්‍රපට ඉන් පස්සේ ටෙලිනාට්‍ය වලට ගී ලිවීමෙන් මුදල් ලැබුණා. නමුත් අද ගීතවලට මිල ගණන් නියම වෙලා. ඒත් ඒ ගී වල තියෙන රහ මොකක්ද කියලා දැනෙන්නේ නැහැ.”

මහාචාර්ය සුනිල් ආරියරත්නගේ පළමු අනුපමා චිත්‍රපටයෙන් චිත්‍රපට ගී කේෂත්‍රයට පිවිසි කුලරත්නයන් ඉන් පසු චිත්‍රපට ගණනාවකට ගීත නිර්මාණ කරන්නේය. ආරාධනා චිත්‍රපටය සඳහා ලියූ ගී සඳහා ඔහු සම්මානයෙන් පිදුම් ලබන්නේය.

1980 රාජ්‍ය සේවයෙන් ඉවත් වෙලා ආනන්ද ගනේගොඩ මහතා ආරම්භ කළ සින්ග් ලංකා ආයතනයට එක් වුණා. ඒ යුගයේ සින්ග් ලංකා ආයතනය ආරම්භ වුණේ යහපත් ගීත කලාවක් ඇති කිරීම සඳහා. රජයේ සංගීත ආචාර්ය පදවියෙන් ඉවත් වී සුබාවිත ගීත කලාවක් බිහිකිරීමේ කාර්යයට උරදීම සඳහා රෝහණ වීරසිංහයන්ද සින්ග් ලංකා ආයතනය සමඟ එක්ව සිටියා. ඒ කාලේ ප්‍රවීණයෝ මෙන්ම නව පරපුරේ ශිල්පීන් අප වටා හිටියා.”

සුබාවිත ගීත කලාවට ඒ යුගයේදී හිමිව තිබු තැන අද හිමිව ඇත්තේ අරුත් සුන් බොළද ගී කලාවකටය . අපට කොතැනක හෝ වැරැදී ඇත්තේය. එය නිවැරැදි කිරීමට කාලය දැන් එළැඹ ඇත්තේය . ඒ කොහොම වුවත් කුලරත්න ආරියවංශයකන් ලියු ‍බොහෝ ගී අතුරින් රසික ආදරය හිමිව ඇත්තේ ප්‍රේම ගීතයන්ටය.

පාවෙනා නිල්වලාවේ, සඳ හොරෙන් හොරෙන්, ඔබේ අතගෙන පෙර සැදෑවක, සඳ මා හා සිනාසුනා, සිනාපොදක් වී ඔබගේ දෑසින්... ආදී බොහෝ ගී ඔහුගේ නිර්මාණශීලී පද ගැලපීම් වලට උදාහරණයන් වේ.

කුලරත්න ආරිය වංශයන්ගේ ගී සිත තවමත් අවදියෙනි. පෑන තවමත් අවදියෙනි. ඔහු දැනුදු සිතට එන දේ කොහේ හෝ කුරුටු ගාන්නේය. ඒ කුරුටු ගෑ දේ අතර බොහෝ සුන්දර නිර්මාණ ඇත්තේය.අපේ පැතුම ඒ නිර්මාණ පණගැන්වී යළි දිනෙක රසික දෙනුවන් සනසන මොහොතක් එළැඹේවා කියාය. 

 

Comments