
• මෙවර ස්වර්ණ පුස්තක සම්මානය හිමි වූයේ නිශ්ශංක විජේමාන්න විසින් රචිත ‘හඳ පළුව තනි තරුව’ කෘතියට යි. ‘හඳ පළුව තනි තරුව’ නවමු ආකෘතියකින්, භාෂා රටාවකින්, නව අත්හදාබැලීම්වලින් සමන්විත ගද්‍ය ආඛ්‍යානයකි. නිශ්ශංක, චිත්‍ර රටා ඔස්සේ රූප අකුරු බවට පෙරළන්නේ ය. ඒ රූප කතා කරන්නේ අපේ හදවතට ය. එබැවින් ම ‘හඳ පළුව තනි තරුව’ වෙනස් මානයක් ස්පර්ශ කරන්නේ ය. මේ අගනුවරින් දුර බැහැර සිටින ඔහු සමඟ සම්මානිත වීම වෙනුවෙන් අප කළ සංලාපයයි.
• ඔබේ කෘතිය සංක්ෂිප්ත බැව් සමහරුන්ගේ මතයයි. දීර්ඝකාලීනව කෙටිකතාකරණයේ නිරත වීම ඊට බලපෑමක් කළා ද...
කෘතිය සංක්ෂිප්ත නැහැ; කුඩයි. හුරුබුහුටි කුඩාකමත් සමඟ කෘතියේ නිමාව ලබාගන්න මම ගොඩක් මහන්සි වුණා. Paulo Coelho ගේ ALCHEMIST තරම් අත්ල මත රඳවා කියවා ම බිම තැබිය හැකි කුඩා පොතක් කරගන්නයි මගේ වුවමනාව වුණේ. ඒත් කියන්නට ඕනෑ දෙයක් තිබෙනවා. තව පිටු 100ක් විතර ලියන්න තරම් මෙහි කොටස් තියෙනවා. මෙහිදී මා ලිපි ගොනුවක් ම සංස්කරණය කළා; සංක්ෂිප්ත කළා නොවේ.
කෙසේ වෙතත් කෙටිකතාකරණය ඊට බලපෑමක් වී ඇතැයි මා සිතන්නේ නැහැ. එසේ නම් එය පළමුව ම මගේ ‘වැලන්ටයින් කුමාරයා’ පොතෙන් පෙනෙන්න ඕනෑ. මොක ද: ඒක තමා කෙටිකතා ලිවීමෙන් අනතුරුව මා ලියූ පළමු නවකතාව. ලංකාවේ අපි බොහෝ විට කියවන්නේ පිටු 350 ඉක්මවූ නවකතා කෘති නේ... මගේ පොත ඉක්මනට කියවා ඉවර වීම ගැන පාඨකයන් කීපදෙනකු ම සුහද නෝක්කාඩු මැසිවිලි නඟලා තිබුණා.
• 'හද පළුව තනි තරුව' ආකෘතික වෙනසක් සඳහා උත්සාහ දරන බව පෙනෙනවා. සිංහල නවකතාවේ ඒකාකාරි බව ගැන ඔබ කුමක්ද සිතන්නේ...
කොහොමත් මම ආකෘතික පර්යේෂකයෙක්; සාර්ථක හා අසාර්ථක වීම පිරුණු ලේඛන අතීතයක් සමඟ එහි අවදානම ගනිමින් ගමන් ගන්නෙක්. ආකෘතියේ නැත් නම් ප්රතිනිර්මාණ තාක්ෂණයේ වුවමනාව කුමක් ද? එය එක් වුවමනාවක් මත් නො වේ; කියාගන්න බැරි දේ කීමට පාර හදාගැනීම. ඒ වගේ ම පාඨකයා සමඟ පහසු සන්නිවේදන පථයක් සකසාගැනීම... ඔය වගේ දේවල් නේ. පළමු වුවමනාව වන්නේ පොතක කියවිය හැකි ගුණය (Readable - කියවුම් ලාලසය) යි. පොත සාහිත්‍ය කෘතියක් නම්, එය නියෝජනය කරන්නේ කලාව නම්, මං දකින පළමු වුවමනාව රසිකයාගේ ආනන්දය යි. වෙහෙසකර ආකෘතියක් ආනන්දය විනාශ කරනවා. සිංහල කෘති විතරක් නොවේ: පරිවර්තන ග්රන්ථ අතර පවා එවන් කෘති හමු වෙනවා.
• චිත්‍ර ගුරුවරයකු වීමේ ප්‍රතිලාභය කෘතිය පුරා විහිදෙනවා...කුමක්ද එයින් ඔබේ නවකතාවට ලැබුණු ආශිර්වාදය..
මෙහෙම පටන්ගනිමු. ගුරුවරයකු වීමෙන් ලැබූ සමාජ අත්දැකීම කලා කෘතියකින්, විශේෂයෙන් සාහිත්‍යයෙන් ප්රක්ෂේපණය කරන්න මම තාම තදින් පෙලඹිලා නැහැ. ඒ තුළ විශාල කථිකාවක් තිබෙනවා කරන්න. චිත්‍ර කලා ගුරුවරයකු වීම නිසාත් ඒ හේතු කොටගෙන නෙළාගත යුතු සාහිත්‍ය ඵලයත් තාමත් මම ලබාගෙන නැහැ. ඒත් චිත්‍ර අඳින්නකු හා චිත්‍ර කියවන්නකු වීම මගේ සාහිත්‍යය කාර්යයට හොඳින් උපකාර වෙනවා. ඔබ හරි, එය ආශීර්වාදයක්. මට ලියන්නට බැරි තැන ලියන්නට පාර පෙන්වන්නේ චිත්‍ර කලාව විසින්. ‘නිලගම පටබැන්දා’ නම් මහනුවර යුගයේ චිත්‍ර ශිල්පියාගේ පටන් ‘පැබ්ලෝ පිකාසෝ’ දක්වා සියලු ශිල්පීන්ගේ චිත්‍ර විතරක් නොවේ අනෝලි පෙරේරා, චමරි තපස්සරගේ, ජගත් වීරසිංහ, චන්ද්‍රගුප්ත තේනුවර ආදි මේ මොහොතේ ලාංකික අවකාශයේ චිත්‍ර ඇඳීම හා කියවීම සිදු කරන ඔවුන්ගේ කාර්යයන් මගේ ලිවීමට උදවු වෙනවා. ඒත් මතක් කළ යුතු දේ නම් චිත්‍රපටය, නාට්‍ය, සංගීතය, විද්‍යාව ඈ බොහෝ විෂයයන්ගෙන් මගේ ප්‍රබන්ධයට ‘සොරාගන්නා’ දේ අපමණ බවයි. බහුශාබ්දික කෘතියක් නිර්මාණය කිරීම වෙත ළඟා වෙන්න එක් විෂයයක් මත යැපෙන්න බැහැ. ඒත් ඕනෑම ලේඛකයකුගෙ කෘති තුළින් ඔහු ස්පර්ශ කරන වෙනත් විෂයයන් පේන්න ගන්න එක අපූරු කාරණයක්. කුන්දේරාගේ සංගීත ළැදියාව, මාකේස්ගේ පුරාවෘත්ත ලෝලි බව, සරච්චන්ද්‍රයන්ගේ ගීතමය ප්‍රහර්ෂය ඔවුන්ගේ ප්‍රබන්ධ තුළ සුවඳවත් වෙනවා.
• සහජීවනය ගැන බෙහෙවින් කතා කරන මෙවැනි කාලයක ඔබේ කෘතිය පුරා විහිදෙන එකී ගුණය නිසර්ගයෙන් ඊට ඇතුළත් වූ බව පෙනෙනවා... ඒ භාවිතය ගැන... ප්රතිලාභාත්මක සංකල්පයක් හඳුනාගත් විට, එය තවත් පිරිපහදු කොට සිටුවා පොහොර යොදා පළිබෝධ පාලනය කර අස්වැන්නක් ගැනීම හා මිල කිරීම අලුත් දෙයක් නොවේ. අදත් එය ම සිදු වෙනවා. ‘සහජීවනය’ යන්නත් මේ මොහොතේ එවැන්නක්. බර්ටොල්ට් බ්‍රෙෂ්ට් සිය කවියක කියනවා ‘භූමි කම්පාවලට සිය පසුම්බිවල මුදල් ඇත. කඳු පාරට එන්නේ වාහනවලින්’ කියලා. ඒක ඇත්ත. ලෙල්ලත් එක්කම කන්න පුළුවන් ඵලයක් ‘සහජීවනය’ කියන්නේ. ඒත් මගේ අධ්‍යාශය වූයේ එය ම නො වේ. මෙහි ම අනෙක් ව්‍යාපෘතිය වන ‘නුරුස්සනාව වෙතට උසිගැන්වීම’ නම් අවාසිදායක දෙයට මනුෂ්‍යයා පොලඹවන කාරණා හඳුනාගැනීමට ඉඩ සැලැසීමයි. ‘අපව කොටවනවා, අප අවාසිසහගත ලෙස ලේ පෙරාගෙන කොටාගන්නවා’ මේක තමයි මට දැනුණ දේ. ඒත් නෛසර්ගිකව ම මා අතින් ලියැවුණේ සංහිඳියාවටත් වඩා එහි මහා ගුණාකාරය මහා පොදු සාධකය/ සර්වත්‍ර කුලකය වන ආදරය යි. අනේක සංස්කෘතීන්ගෙන් යුතු චමත්කාරයක් ඇති පෘථිවිවාසියා අසල්වැසියා සමඟ බෙදාගනිමින් ජීවිතයට පාර හොයාගන්න ඕනෑ නේද? අප චමත්කාරයේ වාසිය අත්හැර නුරුස්නාවට ළඟා වෙනවා. එවිට ආදරය කොහේද? මා අසන්නේ එය යි.
• ඔබ නවකතාව මඟින් චිත්‍ර අකුරු බවට පෙරළනවා. සංකේත භාවිතය නවකතාව පහසු ඉලක්කයක් බවට පත් කරනවා ද..
මම සාහිත්‍යයේදී අකුරු චිත්‍ර බවට පත් කරනවා යන්න සැම විට ම සිදු වනවාද ද යන්න සැකයි. එහෙත් මේ නවකතාවේදී මුලදි ම කියනවා මේ මගේ කැලිග්රැෆිය කියා. සිංහලෙන් එයට දී ඇති වචනය චාරුලේඛනය. කැලිග්රැෆියේ ලක්ෂණ ගොඩාක් තියෙනවා. එකක් එය දීර්ඝ ලියවිල්ලක් නොවීම. සමහර විට කුඩා කවියක්, ධර්ම පාඨයක්, ප්‍රශංසා වාක්‍යයක්, ආශීර්වාදයක්... ඔය වගේ දෙයක්. ඒක තමා හරය. මහා ගසක් වන්ට පැළ කරන්න පුළුවන් බීජය එයයි. ඒත් එය රූපයක් ලෙස සරසනවා. මලක්, කොළයක්, සතෙක්, මිනිසෙක්, නිර්ජීවි සැරසිල්ලක් ලෙස එය සරසා ‘චාරුමය’ තත්ත්වයක් ඇති කරනවා. දැන ගත යුතු පළමු දෙය එය. දෙවැන්න ශිල්පියා සිය ආගමින් දක්වන, පනවන චිත්‍ර ඇඳීම නම් එම විෂයයෙහි දක්වන වාරණය අතික්‍රමණය කිරීමේ උපාය මාර්ගය හඳුනාගැනීම. මොකද: ඉස්ලාම් ආගම චිත්‍ර ඇඳීම, විශේෂයෙන් මානව රූපය ඇඳීම ගැන සතුටට පත් වෙන්නෙ නැහැ. ඔවුන්ගේ මතය අනුව එය සර්වබලධාරි දෙවියන්ගේ අයිතිය. ඉතිං ඔබ අහනවා සංකේත භාවිතාව ගැන. එය පහසු ඉලක්කයක් නොවේ. ලේඛකයාත් පාඨකයාත් එක ලෙසට සංකේතයේ අර්ථය තේරුම් කරගන්න ඕනෑ, සරල උදාහරණයක් ගමු. අප ‘V’ අකුර හෝ හැඩය පෙන්වූ විට එකෙක් හිතනවා එය ජයග්‍රහණයේ සලකුණක් ලෙස. තවෙකකු හිතන්න පුළුවන් එයට ඉරි දෙකක් ඇති නිසා ජය හෝ පැරදුම කියා. තවත් අනෙකෙක්ට එය ඉලක්කය මානනා කැටපෝල් කරුවක් විය හැකි සේම දෙපෙති පත් පැළෑටියක් ලෙස හිතන්න හැකියි. ඒ නිසා එය ලේසි කාර්යයක් නොවේ. කෙසේ නමුත් ලේඛකයකුට තම ආඛ්‍යානයේ සාර්ථකත්වය සඳහා ඉලක්කයන් වෙත ළගා වීම සඳහා බොහෝ විධික්රම භාවිතා කළ හැකියි. සංකේතය එක් උපායනයක් පමණයි.
• ස්වර්ණ පුස්තක සම්මානය ලැබීම ඔබේ නිර්මාණකරණයට කරන බලපෑම කවරාකාර ද...
මීට පෙරත් මා අවසාන වටයට තේරුණා. ඒ ‘තාරා මගේ දෙව්දුව’ පොත සඳහා. මෙහි තෝරා පත් කර ඇති විනිශ්චය මණ්ඩලය විෂයය කෙරේ මෙන් ම කාර්යය කෙරේ කැප වූ බව පේනවා. නිර්ණායක සාධක විවෘතව දැක්වූවා. පරිශ්රමයේ පළල පෙන්වූවා. ඒවා සතුටුසහගත කරුණු. මගේ යෝජනාව සම්මාන ප්‍රදානෝත්සවයෙන් පසු අවසන් දොළොස් දෙනාගේ වත් ලියවිලි ගැන (මෙය ඊටත් වැඩි වුණත් කමක් නැහැ) සංකථනයක්, විචාරයක්, ලිඛිත විමසුමක් කරන්නේ නම් හොඳයි කියන එක. ස්වර්ණ පුස්තක සම්මානය මා සතුටු කළා. එය ලිවීමට ධෛර්යය දීමක්. එය කැප වීමෙන් මහන්සියෙන් අවබෝධයෙන් අපූර්වත්වයෙන් ලියන ලේඛකයන් වෙත දෑත දිගු කිරීමක්. එසේ වුවත් සම්මාන සඳහා ලිවීම මගේ වුවමනාව නොවේ. ස්වයං තෘප්තියට පත් වන තුරු මම මගේ නිර්මාණය එක්ක ජීවත් වෙනවා; නැවත ලියනවා; හැඩ තළා ගන්නවා; කල් ගන්නවා. නිර්මාණකරුවා ධෛර්යවත් කරන සාහිත්‍ය සංවිධාන අතර ස්වර්ණ පුස්තක සම්මානයේ සංවිධානාත්මක ව්‍යූහය ගැන මගේ සතුට පළ කරනවා. ලාංකික ලේඛකයාගේ කෘති ලෝකයට ප්‍රවිෂ්ට කරවීමට ක්‍රමවේද හඳුනාගන්නේ නම් තවත් හොඳයි.
සේයාරූ - ශාන් රඹුක්වැල්ල