සිනා කතා | සිළුමිණ

සිනා කතා

සෑහෙන දුරක් ගිහින් ඇති

මහාචාර්ය විජේසූරිය සියල්ල වහා අමතක වන චරිතයකි. පිටරට සවාරියක් ගොස් මාස තුනකට පසු පෙරළා ලංකාවට පැමිණ තම නිවසේ තේ බොමින් සිටියදී ඔහු ගේ බිරිය මෙසේ කීවා ය.

‘ඔයා දන්නවද, දැන් අපේ පුතා හොඳට ඇවිදනවා.’

‘එහෙමද? දැන් කොච්චර කල් වෙනවද එයා ඇවිදින්ඩ පටන් අනේ?’ මහාචාර්යතුමා ඇසීය.

‘අපොයි දැන් මාස දෙකක් විතර ඇති.’ බිරිය වහා කීවා ය.

‘එහෙම නං දැන් මිනිහා සෑහෙන දුරක් ගිහින් ඇතිනෙ.’ මහාචාර්යවරයා සිනාවක් පාමින් කීවේ ය.

ඒ රස්සාව හොඳයි

කම්හලේ කාර්යාලයට ගොඩ වී එහි අයිතිකරු මුණගැසුණු රන්ජිත් රැකියාවක් අපේක්ෂාවෙන් තමා පැමිණි බව ඔහු හට පැවසුවේ බයාදු සිනාවක් නඟමිනි.

‘කොහෙ තියෙන රස්සාවල් ද අයිසෙ? තමුසෙ දන්නවද දවසකට කී දෙනෙක් නං රස්සාවල් ඉල්ලාගෙන මේ පැක්ටේරියට එනවද කියල? ඒ ගොල්ලන්ගෙ නම් ලියා ගන්ඩ විතරක් වෙනම ම කෙනෙක් යොදවන්ඩයි දැන් මට වෙලා තියෙන්නෙ, දන්නවද?’ අයිතිකරු කීවේ සෝපහාස සිනාවක් පාමිනි.

‘ඉතින් සර්, ඒ නම් ලියන ජොබ් එක මට දෙන්ඩකො, මගෙ අකුරුත් මුතු කැට වගේ ලස්සනයි.’ රන්ජිත් වහා කීවේ ලොකු උනන්දුවකිනි.

තමුසෙ කව්ද?

‘ඔහේගෙ නම මොකක්ද?’ මානසික රෝහලේ වෛද්‍යවරයා තමා අභියස සිටි රෝගියා දෙස බලා ඇසී ය.

‘මං අයිසෙක් නිව්ටන්.’ රෝගියා කීවේ විරිත්තමිනි.

‘හැබෑද...’ එතකොට ඔය ඔළුව මොකද ගොඩි ගැහිලා?’ වෛද්‍යවරයා තඩිස්සි වී තිබූ ඔහුගේ මුඩු හිස දෙස බලා විමසී ය.

‘ඇයි දොස්තර මහත්තයෝ, ඒකවත් තේරෙන්නෙ නැද්ද? මෙතෙන්ටනෙ ඇපල් ගෙඩිය වැටුණේ.’ රෝගියා කීවේ සමච්චල් සිනාවක් පාමිනි.

තකතීරු වැඩක්

‘ඊයේ රෑ මම වහ බීළා මැරෙන්ඩ හදනවා හීනෙන් දැක්කනෙ අනේ.’ අමිතා තම සැමියා දෙස බලා කීවේ උදේ තේ බොමින් සිටියදී ය.

‘ඉතින්...?’ කරුණාසේන ඇසුවේ විමතියෙනි.

‘ඉතින් ඔයා දුවලා ඇවිත් මගෙ අතේ තිබුණු වහ ‍කෝප්පෙ උදුරලා අරගෙන මාව බේරගත්තා.’ අමිතා කීවේ තම සැමියා දෙස ආදරයෙන් බලමිනි.

‘නොදකින්...’ මම හීනෙන් වුණත් කරලා තියෙන්නෙ මහ තකතීරු වැඩක්නෙ.’ කරුණාසේන කීවේ සන්තාපයෙනි. 

Comments