
සම්මානිත මහාචාර්ය කුලතිලක කුමාරසිංහ
සිංහල කෙටිකතාව විකාශනයේ දෙවන අදියරේ දී නිර්මාණකරණයට ප්‍රවිෂ්ට වූ ලේඛකයකු ලෙස හේමපාල මුනිදාස දැක්විය හැකි ය. ප්‍රබන්ධ කතාකරුවකු මෙන් ම, පුවත්පත් කලාකරුවකු වූ හෙතෙම කෙටිකතා කලා මාධ්‍යය පිළිබඳ යථාවබෝධයකින් යුතුව කෙටිකතා රචනා කිරීමට පෙලඹුණු බැව් ඔහු විසින් රචනා කොට ඇති කෙටිකතා සංග්‍රහවල ඇතුළත් කෙටිකතාවලින් ප්‍රකට කෙරේ. සමාජ ගවේෂකයකු ලෙස සමකාලීන සිංහල පාඨකයන්ගේ ප්‍රසාදය දිනා ගත් ඔහු සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි සිය අනන්‍යතාව තහවුරු කර ගත්තේ කෙටිකතාකරුවකු ලෙසට ය. බටහිර සාහිත්‍ය ක්ෂේත්‍රයෙහි ප්‍රකට ලේඛකයන් වූ එඩ්ගාර් ඇලන්පෝ, ගී ද මෝපසාං, ඇන්ටන් චෙකෝෆ් බඳු ලේඛකයන්ගේ උසස් කෙටිකතා විමර්ශනය කිරීමෙන් උකහා ගත් අවබෝධයෙන් යුතුව නිතර කෙටිකතා රචනා කිරීමෙන් ලද අභ්‍යාසය පසු කාලයේදී කුසලතා පූර්ණ කෙටිකතාකරුවකු බවට පත්වීමට බලපෑයේ ය.
හේමපාල මුනිදාස කෙටිකතා රචනා කළේ සමකාලීන සෙසු ලේඛකයන් මෙන් කෙළින් ම මිනිස් ජීවිතය හා සමාජ ජීවිතයෙහි දක්නට ලැබුණු ඌනතා, දුර්වලතා හා දූෂිතාංග නිර්දය විවේචනයට ලක් කිරීම ප්‍රමුඛ කොට ගත්, සමාජ ශෝධන අරමුණ පෙරදැරි කරගෙන නොවේ. කතාවක් රචනා කරන වේශයෙන් ලේඛකයා ඉදිරියට පැමිණ සිදුවීම් හා බැඳුණු චරිත හොරණෑ බවට පත් කරගෙන, විවෘත ලෙස කරන විවේචනය ඔහු නොඉවසී ය. කලාකරුවකු ලෙස සංයමයෙන් යුතුව, සමකාලීන පුද්ගල හා සමාජ ජීවිතයෙහි දක්නට ලැබුණු අඩුපාඩු හා දුර්වලතා විවරණය කිරිමට ඔහු උත්සාහ ගෙන ඇත.
මාර්ටින් වික්‍රමසිංහ හැරුණු විට සෙසු කෙටිකතාකරුවන් අතර බොහෝ දුරට කලා විඥානයකින් යුතුව ජීවිතයේ ජඩ පක්ෂය නිර්දය ලෙස විවේචනය කළ කෙටිකතාකරුවා වන්නේ ද හේමපාල මුනිදාස ය.
ඔහු විසින් මනාලිය, වහල් වෙන්දේසිය, ස්ත්‍රී රත්නය, යකාබාස්, නාරිගැටය, කිණ්ණර පිස්සුව, රතු කැට හා සැකය යනුවෙන් කෙටිකතා සංග්‍රහ අටක් රචනා කරනු ලැබී ය. හාස්‍යය හා සන්ත්‍රාසය ප්‍රකට කරන අත්දැකීම් විෂයය කර ගත් කෙටිකතා අතර අගය කළ හැකි කෙටිකතාවක් ලෙස ‘සියුම් වූ පළිගැනීම’ දැක්විය හැකි ය. හාස්‍ය රස ජනනයට තුඩු දෙන අයුරින් නිර්මාණය කර ඇති මේ කෙටිකතාව මඟින් හැඟීම් නිරූපණයට උචිත රචනා ශෛලියක් ගොඩනඟාගෙන ඇත. එය පසුකාලයේදී සිය අපේක්ෂාර්ථ සඵල කර ගැනීමට ආධුනිකයක් වූ බැව් පෙනේ. කෙටිකතා ක්ෂේත්‍රයෙහි ආධුනිකයකු වූ මුනිදාස සිය නිර්මාණ කුසලතා ක්‍රමානුරූපී ලෙස වැඩි වර්ධනය කර ගැනීමට සැලැකිලිමත් වූ අයුරු ප්‍රකට වන්නේ දෙවන කතා සංග්‍රහය වූ ‘වහල් වෙන්දේසියෙ’නි. මෙහි ‘මහ රෑ ආ මාරයා’, ‘උපාසිකාව’ වහල් වෙන්දේසිය’, ‘සූත්තර බුංජා’ හා ‘කලු කුමාරයා’ නම් වූ කතා පහකින් යුක්තය. මුනිදාසගේ ජිවිතාවබෝධය, පරිණත ජීවන දෘෂ්ටිය හා නිර්මාණාත්මක පරිකල්පන ශක්‍යතා හඳුනාගත හැකි කෙටිකතාවක් ලෙස වහල් වෙන්දේසිය දැක්විය හැකිය. ජාතක කතා කලාව සතු රචනා රීතිය කතා ප්‍රයෝග හා බස් වහර මැනවින් සුසංයෝජනය වී නිර්මිත කතාවකි මෙය. ලක්දිව ගජබා රාජ්‍ය සබය පසුබිම් කොටගෙන රචනා කොට ඇති මෙහි කතා නායකයා ‘චොරනාග’ය.
මෙහි කතාව නිමා වී ඇත්තේ ජාතක කතාවක සාමෝධානය සිහියට නංවන අයුරිනි. මේ වූකලී චරිතාංගයක් නිරූපණය කිරීමේ අභිප්‍රායෙන් රචනා කරන ලද කෙටිකතාවකි. මං පහරා උපයා ගත් මුදලින් යහළුවන් හා එක්ව විනෝදශීලීව කාබී සතුටු වූ සුරා ධූර්තයකු වූ චෝරනාග, තාපසයා හමු වූ දින සිට සත්‍යවාදීව ජීවත්වීමට පෙලඹුණු ආකාරය මේ කෙටිකතාවෙන් මැනවින් නිරූපණය වේ. සත්‍යවාදී වීම සොරකම ජීවන මාර්ගය කර ගත් ඔහුට බාධකයක් වුවද, යහ ගුණයෙහි මැනවින් පිහිටීම හේතු කොටගෙන ජීවිතය සුරක්ෂිත කර ගැනීමට හැකි විය. රාජ භාණ්ඩාගාරය බිඳීමේ අදහසින් පිටත්ව යන චෝරනාගට අතරමඟදී හමුවන ආගන්තුකයා ඔහු යන කාර්යය පිළිබඳව ප්‍රශ්න කිරිම හා පැහැර ගන්නා ධනයෙන් හරි අඩක් ඉල්ලා සිටීම ආදී සිදුවීම් කතාවට එක් කොට ඇත්තේ මනා සංයමයකින් යුත් ලේඛකයකුගේ උචිතානුචිත විවේක බුද්ධිය ප්‍රකට කරන අයුරිනි. ජාතක කතා සම්ප්‍රදාය සතු ඇතැම් කතා ප්‍රයෝගයක් මැනවින් උපයෝගී කර ගැනීමට ලේඛකයා සතු කුසලතාව මෙයින් ප්‍රකට ව පෙනේ. චෝරනාගගේ බිරිය වන සුගලා ආගන්තුක පුරුෂයා මහරජතුමා, භාණ්ඩාගාර ඇමැතියා යන චරිත අතු චරිත ලෙස ප්‍රධාන චරිතයෙන් අපේක්ෂිත චරිත ලක්ෂණය නිරූපණය කිරීමට අවශ්‍ය අයුරින් මැනවින් සංවිධානය වී ඇත.
කෙළින් ම සමාජයට අවවාද අනුශාසනා කිරිමට නොපෙලඹී කතාවෙන් පණිවිඩයක් නිකුත් කිරිමට ලේඛකයා පෙලඹුණු බැව් පෙනේ. ‘සත්‍යවාදී වීම, කෙනකුගේ ජීවිත අරමුණු සඵල වීමට තුඩු දිය හැකි අතර වංචනික වීම ජිවිත විනාශයට ද හේතු වීමට පුළුවන’ යන අදහස බොහෝ දුරට කලාත්මක ලෙස මේ කතාවෙන් ප්‍රකට වන්නේ ය.
සුදන දුදන වශයෙන් චරිත වර්ග කළ නොහැකි බවත්, සුදනා යැයි සම්මත පුද්ගලයා ඇතැම් විට දුර්ජන ගති ස්වභාවයන් යුක්ත වන අතර, දුදනා යැයි සම්මත පුද්ගලයා සමහර විට යහපත් චරිත ලක්ෂණවලින් සමන්විත බවත් ප්‍රකට කරන කතාවක් ලෙස ද මෙය අගය කළ හැකි ය. සුරා ධර්තයකු හා මස් වැද්දකු ලෙස කතාව ආරම්භයේදී චෝරනාගගේ චරිතය ගොඩනැඟුණ ද අවසානයේ දී එම චරිතය සතු සත්‍යවාදී වීම, නමැති චරිත ලක්ෂණය ප්‍රබල ලෙස නිරූපණය වී ඇත. එසේ ම කෙටිකතාවකින් පුද්ගලයකුගේ චරිතයක් විවරණය කළ නොහැකි ය යන අදහස පිළිබඳ අවබෝධයක් ද ලේඛකයා සතුව පැවැති බැව් මේ කතාවෙන් පෙනේ.
කෙටිකතාවේ අනන්‍යතාව ප්‍රකට කරන මුඛ්‍ය ලක්ෂණය වන ධාරණාව නමැති ධර්මතාව පිළිබඳව මුනිදාස ගැඹුරින් ග්‍රහණය කර ගෙන සිටි බව ඔහුගේ පසුකාලීන කෙටිකතාවලින් ප්‍රකට කෙරේ.
හේමපාල මුනිදාසගේ තවත් කතා සංග්‍රහයක් වන ස්ත්‍රී රත්නය පළ වූයේ 1947 වර්ෂයේදීය. කෙටිකතා පහකින් පරිමිත මේ සංග්‍රහයේ ඇතුළත් නිර්මාණ අතර ‘ඈ බැඳලා ද’, ‘ස්ත්‍රී රත්නය’, ‘හොර නෝට්ටු’ යන කතාත්‍රය පාඨක අවධානයට ලක් විය යුතු කෙටිකතාය. දූෂිත ජීවිතයක් ගත කළ පුද්ගලයකු තමාගේ ලිංගික සම්බන්ධතා ගැන ද, අන්තිමට පසුතැවිල්ලට හා ලජ්ජාවට පත් වූ අවස්ථාවක් වටා කතා රසයත්, කුතූහලයත් මතු කරමින් ‘ඈ බැඳලා ද?’ නමැති කෙටිකතාව රචනා කොට ඇත. සමකාලීන සමාජය පසුබිම් කොට ගෙන, ඇතැම් ස්ත්‍රී චරිතවල යථා ස්වභාවය, විවරණය කිරීමට දරන ලද ප්‍රයත්නයක් ලෙස ‘ස්ත්‍රී රත්නය’ නමැති කෙටිකතාව හැඳින්විය හැකිය. ‘හොර නෝට්ටු’ කතාවෙන් කපටිකමින් හා වංචනික ලෙස විවිධ දූෂණයන්හි නිරතව ජීවත්වන ඇතැමුන් ද ඇතැම් විට අනුන් හට රැවටෙන අයුරු නිරූපණය කර ඇත.
1947 දී පළ වූ ‘යකාබාස්’ සමකාලීන සමාජ යථාර්ථය හෙළි කරන කතා කීපයක් අන්තර්ගත කෙටිකතා සංග්‍රහයක් වුවද, ඔහුගේ කතා කලාවේ ක්‍රම විකාශනය පිළිබඳ අවබෝධයක් මෙය ඇතුළත් නිර්මාණවලින් ප්‍රකට නොකෙරේ. මුනිදාසගේ පස්වන කතා සංග්‍රහය වන ‘නාරි ගැටය’ 1948 දී පළ වූවකි. මේ කතා සංග්‍රහයට ඇතුළත් කෙටිකතා අතර ‘සුමනා බෝගම්බර’, ‘සංවරකෝත්සමය’, ‘නාරි ගැටය’ ආදී නිර්මාණවලින් නිර්දය ලෙස සමාජ ජීවිතය විශ්ලේෂණය කිරිම, අගය කළ යුතු ලක්ෂණයක් වුවද ඇතැම් කතාවලදී සත්‍ය සීමාව ඉක්මවා යෑම හේතු කොටගෙන ඔහු විචාරකයන්ගේ දෝෂ දර්ශනයට ලක්වූයේ ය. මේ නිසා ම ඔහු පසු කාලයේ දී අපකීර්තියට පත් විය. සුමනා බෝගම්බර හා ‘සංවත්සරිකෝක්සය’ යන කෙටිකතා දෙකෙන් විවරණය කර ඇත්තේ ස්ත්‍රී පුරුෂයන් අතර ඇතිවන නොමනා සබඳතා හා ඔවුන්ගේ චරිතවල දැකිය හැකි ගුප්ත ස්වභාවයන්ය.
කාමුක ස්ත්‍රීන්ගේ ගති වෙසෙස් අභිරුචියකින් යුතුව නිරූපණය කිරීමට ‘නාරිගැටය’ කෙටිකතාවේදී පෙලඹී ඇත. 1953 දී එළිදුටු ‘කිණ්ණර පිස්සුව’ හේමපාල මුනිදාසගේ සයවන කතා සංග්‍රහයයි. මෙහි ‘පාපයේ පොලිය’, ‘කිණ්ණර පිස්සුව’, ‘ඔලිවරායනය’, ‘දතට දත’, ‘බඩු අඩුව’, ‘ඔහුගේ පියා කවුද?’ ‘වන්දනාව’ යන කෙටිකතා නවය ඇතුළත් ව ඇත.
මේ වන විට එක් ප්‍රබල හැඟීමක් හෝ අදහසක් ප්‍රකට වන අයුරින් අනුපිළිවෙළින් ක්‍රමානුකූලව සිදුවීම් එකිනෙක නිරූපණය කිරීමට අවශ්‍ය ලෙස කතා කලාව හැඩ ගස්වා ගැනීමට මුනිදාස පරිචයක් දැක්වූ බැව් මෙහි ඇතුළත් පාපයේ පොලිය, දතට දත, බඩු අඩුව යන කෙටිකතා විවරණය කරන විට පැහැදිලි වේ.
අද්භූත සම්ප්‍රදායානුකූල කෙටිකතා කලාවෙන් මිදී යථාර්ථවාදී කෙටිකතා රීතිය ගුරුකොට ගත් තැන හේමපාල මුනිදාස කෙටිකතා කලාවට අනුගත කතා රචනයේ යම් බඳු කුසලතා ප්‍රකට කිරීමට සමත් වූ බැව් ‘දෙවියන්ට පෙනියන්’ හා ‘බඩු අඩුව’ යන කෙටිකතාවලින් පෙනේ. එහෙත් එබඳු කතාවලින් ලේඛකයාගේ ජීවිතාවබෝධය හෝ සංකීර්ණ හා මානව හිතවාදී ජීවන දෘෂ්ටිය, ප්‍රකට වන්නේ යැයි පැවැසිය නොහැකිය. නිදසුනක් ලෙස ‘බඩු අඩුව’ කෙටිකතාව විමසුමට ලක් කළ හැකිය.
එකම සිදුවීමක් කේන්ද්‍ර කොට ගෙන කතාවක් නිර්මාණයෙහිලා ලේඛකයා ක්‍රමයෙන් පිළිපන් බව මේ කෙටිකතාවෙන් පෙනේ. අනවශ්‍ය සිදුවීම් හා වර්ණනාවලින් තොරව විෂයයික තේමාව අවධාරණය කරමින් කතාව රචනා කොට ඇත.
හේමපාල මුනිදාසගේ කෙටිකතාවල ක්‍රම විකාශනය, පිළිබඳව කෙරෙන අධ්‍යයනයකදී වැදගත් වන කතා සංග්‍රහයක් ලෙස 1955 දී එළි දුටු ‘රතු කැට’ දැක්විය හැකිය. හේවායා, සාත්තරකාරයා, අඟුටු මිට්ටා, රතු කැටය, කන්තෝරුකාරයා, ඇත්ත ද බොරු ද චර පුරුෂයා, වසූරිය, හිරකාරියා, ගනුදෙනුව හා ‘කඩ වී සිදුවුණු මඟුල’ යනුවෙන් නම් කොට ඇති කෙටිකතා එකොළොසකින් මේ කතා සංග්‍රහය පරිමිතය.
බොහෝ උත්සාහයෙන් කලාත්මක මයාව යොමු කර ගත්, මුනිදාසගේ කෙටිකතා රීතිය ක්‍රමයෙන් වැඩි වර්ධනය වනු වෙනුවට හායන පක්ෂය කරා නැඹුරු වන්නට වූයේ සුලභ වාණිජ උපක්‍රමවලට අසුව පාඨකයාගේ ඕලාරික හැඟීම්, ඉස්මතු වන විදියේ වර්ණනා ඇතුළත් කිරීමට පෙලඹීම නිසාය. ඇතැම් කෙටිකතාවක එබඳු වර්ණනා ඔහු විෂය කරගත් අත්දැකීම් නිරූපණයට උචිත වුවද බොහෝ කෙටිකතාවල කලාත්මක ගුණය හා කතා රසය හීන කිරීමට එය බලපෑ සේය. පසු කාලයේදී ඇතැම් කෙටිකතාවල අත්දැකීම් ක්ෂේත්‍රය හා කිසිදු සම්බන්ධයක් නොමැතිව හුදෙක් පාඨකයාගේ හැඟීම් උත්සන්න කරන අදහසින් එබඳු වර්ණනා ඇතුළත් වී තිබීම, එම කතාවල කලාත්මක පරිසමාප්තියට බාධකයක් වූ බැව් පෙනේ.
ඓතිහාසික පසුබිමක විකාශනය වන ‘චරපුරුෂයා’ කෙටිකතාව තරමක් දුරට සාර්ථක නිර්මාණයක් විය හැකිව තිබුණ ද ඉන් ඈත්වූයේ ලේඛකයා කාමුක වර්ණනා විෂයෙහි දැක්වූ අභිරුචිය හේතුකොට ගෙනය. ‘කඩ වී සිදුවුණු මඟුල’ නමැති කෙටිකතාව ගොඩනඟා ඇත්තේ එබඳු අශ්ලීල සිදුවීම් ඔස්සේය.
1956 දී එළි දුටු සැකය මුනිදාසගේ, අවසාන කෙටිකතා සංග්‍රහය වේ. මෙහි ‘සැකය’, ‘සියුම් පළි ගැනීමක්’ හා ‘මිනීමරුවා’ යනුවෙන් නම් කොට ඇති කෙටිකතා තුනක් ඇතුළත්ය. මෙහි ඇතුළත් කෙටිකතාවලින් මුනිදාසගේ කෙටිකතාවල වර්ධන අවස්ථාවක් දැකිය නොහැකිය. එසේම ඔහු වඩාත් නැඹුරු වී සිටි සුලබ කතා ප්‍රයෝගවලින් ඈත්වීමට උත්සාහ ගත් බවක් නොපෙනේ.
මේ කතාවේ එකතුවේ මුලින්ම එන්නේ ‘සැකය’ නමැති කෙටිකතාවයි. ඔහුට හුරු පුරුදු කතා ලක්ෂණ, රචනා ප්‍රයෝග හා සුලභ ශිල්පීය උපක්‍රම මනා ලෙස ගොනු කරන ලද නිර්මාණයකට නිදසුනක් ලෙස මේ කෙටිකතාව දැක්විය හැකිය.
මුනිදාසගේ බොහෝ කතාවලින් පිළිබිඹු වන්නේ ප්‍රංස කෙටිකතා සම්ප්‍රදායෙන් ලද ආලෝකයයි. ප්‍රංස කෙටිකතා සම්ප්‍රදායට ආවේණික ලක්ෂණ මෙසේ ය.
1. මුල, මැද හා අග සහිත පරිසමාප්ත කතා පුවතකින් යුක්ත වීම.
2. කතාව ආරම්භයේදී සඟවා ගන්නා යමක් කතාව අවසානයේ දී අනාවරණය කිරීම් මඟින් කුතූහලය උච්චස්ථානයට ගෙන ඒම.
3. ජීවිතයේ ජඩ පක්ෂය හෙවත් ශෝචනීය පක්ෂය නිරූපණය කරන සිදුවීම් හා සංසිද්ධිවලින් යුක්ත වීම.
4. ප්‍රංස මධ්‍යම පාන්තික ගතිකත්වය තාත්වික ලෙස නිරූපණය කිරීම හා ඇතැම් මධ්‍යම පාන්තික ගති ක්‍රියා උපහාසාත්මක විවේචනයට හසු කිරීම.
5. කතා ආකෘතිය, ආරම්භය, ආරෝහණ ක්‍රියාවලිය උපරීමය, අවරෝහණ ක්‍රියාවලිය හා අවසානය යනුවෙන් කොටස් කළ හැකි වීම.
6. සංකල්ප රූපාත්මක බස් වහරක් උපයෝගී කර ගැනීම.
යථෝක්ත අංග ලක්ෂණ ඉස්මතු කෙරෙන කෙටිකතා රැසක් හේමපාල මුනිදාස විසින් රචනා කරනු ලැබ ඇත. නිදසුන් ලෙස ‘රතු කැටය’, ‘සියුම් පිළිගැනීමක්’, ‘මහ රෑ ආ මාරයා’, ‘උපාසිකාව’, ‘පාපයේ පොලිය’, ‘සූත්තර බුංජා’ යන කතා දැක්විය හැකිය.
ජාතක කතා කලාවේ ආභාසය ලද, කෙටිකතා ද දැකිය හැකිය. ‘වහල් වෙන්දේසිය’, ‘වසූරිය’ යන කතා නිදසුන් ලෙස පෙන්වා දීමට පුළුවන. ජාතක කතා කලාව සතු රචනා රීතිය, කතා ප්‍රයෝග හා බස් වහර උපයෝගී කර ගත් අයුරු එකී කතා විමර්ශනය කරන විට ප්‍රකට කෙරේ. ‘වසූරිය’ කෙටිකතාවෙහි ජාතක කතාවක මෙන් ආත්ම භව දෙකක තොරතුරු සඳහන් නොවෙතත්, එබඳු හැඟීමක් ප්‍රකට වන අයුරින් කතාව ගොනු කර ඇත.
මුනිදාසගේ ‘සූත්තර බුංජා’ කතාව ඩබ්ල්යු. ඒ. සිල්වාගේ ‘රදළ පිළිරුව’ නවකතාවේ කතා සන්දර්භය සිහියට නංවයි. මේ හැරුණු විට රුසියානු ලේඛකයන්ගේ කෙටිකතාවල බලපෑම් ද, මුනිදාසගේ නිර්මාණවලින් දැකිය හැකිය. ‘රතු කැට’ කතා එකතුවෙහි එන ‘හිරකාරයා’ කෙටිකතාවේ වස්තු සන්දර්භය හා බැඳුණු සිදුවීම් හා චරිත ලියෝ තොල්ස්තෝයිගේ ‘පිටුවහල් කිරීම’ කෙටිකතාවේ වස්තු සන්දර්භය හා බැඳුණු සිදුවීම් සිහියට නංවනසුලුය.
මුනිදාසගේ සමහර කෙටිකතාවල, රචනා ශෛලිය, හා වර්ණනා සන්දර්භය සකස් වීම කෙරෙහි ‘අමාවතුර’, ‘බුත්සරණ’, ‘පූජාවලිය’ වැනි කෘතිවලින් අනුප්‍රාණයක් ලද බැව් පෙනේ.
මුනිදාසගේ කෙටිකතාවලට සමාජ හා පුද්ගල ජීවිත විවරණය කරන විවිධ අත්දැකීම් වස්තු විෂය වී ඇත. බොහෝ ලේඛකයන් අත ගැසීමට එඩිතර නොවූ ඇතැම් අත්දැකීම් ක්ෂේත්‍රවලින් පවා තෝරා ගත් සිදුවීම් කේන්ද්‍රකොට ගෙන කෙටිකතා රචනා කිරීමට මුනිදාස එඩිතර වීමෙන් ඔහු සමකාලීන නිර්මාණ ක්ෂේත්‍රයෙහි පෙරළිකාරයකු වූ බැව් පෙනේ. ඔහු නොබියව සදාචාර පටලිය විසින් වසා ගෙන ඇති මිනිසුන්ගේ විවිධ මාන ගුප්ත ආසා මෙන්ම විකෘති කාමාසාව විවරණය කරන අත්දැකීම් සිය කෙටිකතාවලට වස්තු විෂය කර ගෙන ඇත. ‘කිණ්ණර පිස්සුව’, ‘දතට දත’ යන කෙටිකතා නිදසුන් ය. පුද්ගල චරිත මෙහෙයවන පොදු මානුෂික දුර්වලතා විවරණය කරන අත්දැකීම් වස්තු විෂය කරගෙන ද කෙටිකතා රචනා කිරිමට මුනිදාස පෙලඹුණේය. සැහැසි සිතින් කරන වංචනිකත්වය පුද්ගල ජීවිතය පරිහානියට මෙන් ම විකාශයට ද තුඩු දිය හැකි බව ලේඛකයා ‘මහ රෑ ආ මාරයා’ කෙටිකතාවෙන් විවරණය කරන අතර අධික වස්තු තෘෂ්ණාව හේතු කොට ගෙන අධර්මයෙන් ධනය රැස් කිරීමට පෙලෙඹන පුද්ගලයන්ට මුහුණ දීමට සිදුවන ඛේදජනක තත්ත්වය ‘සූත්තර බුංජා’ කෙටිකතාවෙන් විවරණය කර ඇත. ‘ඇත්ත ද බොරු ද’ කෙටිකතාවෙන් විවාහක පුරුෂයන් විසින් අධික ලෙස තම බිරියන් කාම පීඩනයට පත් කිරීම තම සැමියා පිළිබඳව පවත්නා භක්තිය හා ආදරය හීන වීමට තුඩු දිය හැකි කරුණක් විය හැකි ය යන හැඟීම අවධාරණය කර ඇත. එසේ ම කාන්තාවන් විසින් පතිවත රැකීමේ අගය ද ලේඛකයාගේ පැසසුමට ලක් වෙයි. භික්ෂු සමාජය හා බැඳුණු අත්දැකීම් ද මුනිදාසගේ කෙටිකතාවලට පාදක වී ඇත. මුනිදාසගේ සියුම් විවේචනයට හසු වූ සමාජ ආයතනය වන්නේ ද මෙයයි. භාවනානුයෝගයෙන් බැහැරව සිවුර පෙන්වාගෙන කුසීතව බුලත් හපමින් කාලය ගත කළ භික්ෂුන් වහන්සේ මුනිදාසගේ වාග් ප්‍රහාරයට හසු විය.
සමස්තයක් වශයෙන් ගත් විට හේමපාල මුනිදාස විසින් රචනා කරන ලද කෙටිකතාවලින් ඉස්මතු කෙරෙන ලක්ෂණ කිහිපයක් දැක්විය හැකිය.
1. යථාර්ථවාදී රීතිය මෙන් ම අද්භූතිවාදී රීතිය අනුගමනය කිරීම.
2. කෙටිකතා මූලධර්ම හා සම්ප්‍රදාය පිළිබඳව යථාවබෝධයකින් යුක්ත වීම.
3. පුද්ගල හා සමාජ ජීවිතය ඇසුරෙන් උකහා ගත් විවිධ අත්දැකීම් පාදක කරගැනීම.
4. භික්ෂු සමාජය නිර්දය විවේචනයට හසු කිරීම.
5. ලිංගික ජීවිතය විවරණය කරන අත්දැකීම් විෂය කරගැනීම.
6. සමාජ විෂමතා, ඌනතා හා දුර්වලකම් තියුණු උපහාසාත්මක විවේචනයට හසු කිරීම.
7. අත්දැකීම් සමබර ලෙස හැසිරවීම මඟින් කතා සන්දර්භය උචිත ලෙස ගොඩනඟා ගැනීම.
8. කතාවෙන් කතාවට ආකෘතිමය විවිධත්වයක් ඉස්මතු කිරීම.
9. දේශීය කතා කලාවෙන් මෙන් ම ප්‍රංස කෙටිකතා සම්ප්‍රදායෙන් අනුප්‍රාණය ලැබීම.
10. උචිත නිර්මාණාත්මක බස් වහරක් සකස් කර ගැනීම.
කෙසේ වුවද උසස් ගණයේ කලාත්මක අගයෙන් යුත් කෙටිකතාවක් රචනා කිරීමට ඔහු අපොහොසත් වූ බැව් පෙනේ. එසේ වුවත් සිංහල කෙටිකතාව විකාශනයේ ද්විතීය අවධියේදී ප්‍රමාණාත්මක වශයෙන් කෙටිකතා සාහිත්‍යය පෝෂණය කිරීමට ලැබුණු දායකත්වය අගය කළ යුතුය.