
කුඩය රැගෙන ගියවිට වැස්සෙන් තෙමෙනවා අඩුය
කුඩා කළ සිටම මට අවශ්‍ය වූයේ හොඳ රංගන ශිල්පියකු වීමට ය. කිසියම් රංගන ශිල්පියකුට තම ප්‍රතිභාවය වර්ධනය කර ගැනීමට මුලින්ම ලැබෙන හොඳම තැන පාසල් සරසවි මණ්ඩපයයි. කිසියම් විෂයක් ප්‍රගුණ කිරීමට ඒ විෂය අධ්‍යයනය කළ යුතුය. අභ්‍යාස කළ යුතුය. මේ සඳහා තම කැපවීම අත්‍යවශ්‍ය දෙයකි. හෙන්රි ජයසේන, ගුණසේන ගලප්පත්ති, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, දයානන්ද ගුණවර්ධන, රංජිත් ධර්මකීර්ති, ධර්මසිරි වික්‍රමරත්න, නාමෙල් වීරමුනි, ජී.ඩී.එල්. පෙරේරා, එස්. කරුණාරත්න සහ සිරි එදිරිසිංහ වැනි ප්‍රවීණ නාට්‍යකරුවන්ගේ විවිධ වේදිකා නාට්‍යවල චරිත නිරූපණය කිරීමට අවස්ථාව ලදිමි. 1961 දී මගේ රංගන ජීවිතයේ ආරම්භය, කලාගුරු ජේ.ඩී.ඒ. පෙරේරා ගේ වෙස්සන්තර නාට්‍යයයි. එය මගේ රංගන ජීවිතයේ පදනම විය. අත්තිවාරම ශක්තිමත් විය යුතුයි. සැලසුමක් අනුව ඉදිවිය යුතුයි.
1969 දී ‘තහංචි’ වේදිකා නාට්‍ය නිෂ්පාදනය කිරීමෙන් පසු 1983 වන තෙක් දිගු නිහැඬියාවකින් පසු ‘සොක්කානෝ රජානෝ’ නමින් වේදිකා නාට්‍ය නිර්මාණයක් කළෙමි. ඒ අතර කාලසීමාව තුළදී චිත්‍රපට කිහිපයකට ම චරිත නිරූපණය කිරීමේ අවස්ථා උදාවිය.
‘සොක්කානෝ රජානෝ’ පිටපත කලාභූෂණ ජේ.ඒ.ඩී. පෙරේරා ගෙනි. (මගේ වේදිකා නාට්‍ය ජීවිතයේ පෙරේරලා තිදෙනෙක් හමුවිය. ඒ ජී.ඩී.එල්. සහ ජේ.ඒ.ඩී. මුල් අකුරු සහිත පෙරේරලාය. තිදෙනාට ම ‘ඩී’ අකුර පොදු විය.)
නාට්‍ය හා රංගන කලාව පමණක් නොව රස වින්දනය නවක ශිල්පීන් තුළ වර්ධනය කර වීමට සතිස්චන්ද්‍ර සංස්කෘතික සංසදය පිහිටුවන ලදි. ‘සොක්කානෝ’ නාට්‍ය නිෂ්පාදනය කරන ලද්දේ කුශලතා පූර්ණ නවක රංගන ශිල්පීන් හා ශිල්පිනියන්ට අභ්‍යාසයක් ලබා දීමේ අටියෙනි. නාට්‍යයට පාදක වූයේ පංචතන්ත්‍රයේ එන නිල් නරියාගේ කතාවයි.
රංගන ශිල්පියකු වීමට මා ගත කළ කටුක වකවානුවන් හි අත්දුටු අමිහිරි අත්දැකීම් ම සිතෙහි හොල්මන් කරන්නට විය. රඟපෑමේ අවස්ථාවන් ලබා ගැනීමට නොහැකි වූ අවස්ථාවලදී ඇති වූ වේදනාව නිසාම මා ළඟට එන අංකුර කලාකරුවන් හිස් අතින් යළි නොයන්නට මම වග බලා ගතිමි. ආශාව තිබුණට මදි, තමා කැමැති දේ ඉගෙන ගත යුතුය. ආධුනිකයනට ඒ සඳහා තැනක් තවමත් නැත. ම’ විසින් පිහිටුවන්නට යෙදුණ සතිස්චන්ද්‍ර සංස්කෘතික සංසදයෙන් (ස.ස.ස.) සතර සවියෙන් යුක්ත විනය ගරුක ශිෂ්‍යකාමි තරුණ තරුණියන් පිරිසක්, හෙළ සංස්කෘතියට අනුව පුරුදු කළේය. නාට්‍ය හා රංග කලාව ගැන පාඨමාලාවක් කැලණිය, ශ්‍රී ධර්මලෝක විද්‍යාලයීය ශාලාවේදි නොමිලේ පැවැත් වීමි.
දිවයිනේ සතර දිගින් 300 ට අධික පිරිසක් ඒ සඳහා සහභාගි විය. පිරිස වැඩි වීමට ප්‍රධාන හේතුව එම පාඨමාලාව මගේ උදර පෝෂණය සඳහා නොව අය කිරීමකින් තොරව පැවැත්වීමයි. සම්මුඛ පරීක්ෂණයන් පවත්වා දක්ෂයින් හා උනන්දුව ඇති අය තෝරා ගැනීමට සිත් විය. A, B සහ C යනුවෙන් කණ්ඩායම් තුනකට ආධුනිකයන් වෙන්කර ගතිමි. ‘සොක්කානෝ රජානෝ’ නාට්‍යයේ පුහුණුවීම් වලට මේ ශිල්පීන් හා ශිල්පිනියන් යොදා ගත්තෙමි. ගුරුවරයා, උපදේශකවරයා සහ නායකයා සහ භූමිකාවන් හි යෙදෙමින් එම නාට්‍යය අධ්‍යක්ෂණය කළෙමි. සොක්කානෝ නාට්‍යයේ සියලුම චරිතයන් සතුන්ය. මෙම නාටකය උපහාසය කැටි කළ හාස්‍යොත්පාදක නිර්මාණයකි. එවකට පැවැති රජයේ දුර්වලතාවයන් හා එල්ටීටීඊ කොටි ත්‍රස්තවාදින් කිසියම් දිනක අප ගිලගන්නට ඉඩ ඇති බව පාලක පැලැන්තියට අවධානය යොමු කිරීම මූලික අරමුණ විය. කලාකරුවාගේ වගකීම විය යුත්තේ කාලීන ප්‍රශ්නයක් තම කලා මාධ්‍යයෙන් සාකච්ඡා කරමින් ජනතාවට ආනන්දයෙන් ප්‍රඥාව ලබාදීමයි.
මෙම නාට්‍යය නිසා රංගන ශිල්පීන් රාශියකට මහ වේදිකාවේ හා රූපවාහිනි මාධ්‍යයේ අවස්ථා උදා විය. ආනන්ද අතුකෝරළ, අනුර වරාගොඩ, කුලසිරි මල්ලිකාරච්චි, හේමචන්ද්‍ර පියදාස, ජයතිලක ඇඹුල්දෙනිය, අනුර කිත්සිරි, අනුර රත්නායක, සුසිල් වික්‍රමසිංහ, අජිත් රූපසේන, නිර්මලා මාටියේ සහ චාන්දනී ධනපාල ඉන් කිහිප දෙනෙකි. ස.ස.ස නාට්‍ය පාඨමාලාවෙන් එම විෂය පමණක් නොව ජීවිත දැනුම ලබාදුන් නිසා මේ අය ජීවිතය ජය ගෙන ඇත.
‘සොක්කානෝ’ හි වේදිකා සැරසිලි සහ ඇඳුම් ආයිත්තම් නිර්මාණය කරන ලද්දේ ජාතියේ පිනට පහළ වූ චිත්‍රකලාවේදී සෝමබන්ධු විද්‍යාපති සූරින් විසිනි. සංගීතය ප්‍රවීණ සංගීතවේදී ඔස්ටින් මුණසිංහ ගෙනි. නර්තන අංශය භාරව සිටියේ නර්තනවේදී මිණිපුර රත්නසේකරන්ය. ජනප්‍රිය නාට්‍යයක් වශයෙන් රටවටා සවාරි ගැසීමට අපට හැකි විය. පිරිස විශාල නිසා මෙම නාට්‍යය නඩත්තු කිරීම ද අපහසු කාර්යයක් වුණා. දුර බැහැර සිට කොළඹට පැමිණෙන ශිල්පීන්ට ඉඳුම් හිටුම් හා ආහාරපාන පමණක් නොව ඔවුනට දීමනාවක් ද දුන්නේය. මාගෙන් වැඩියෙන් ම උදව් උපකාර හා දැනුම ලබාගත්, ඒ වගේ ම මහ වේදිකාවට පිවිසීමට අවස්ථාව සලසා දුන්න එක් තරුණයෙක් විප්ලවකාරී දේශපාලන පක්ෂයක සම්බන්ධතාවක් පැවැත් විය. පොලීසිය විසින් ඔහු සහ පුහුණුවට පැමිණි තවත් අයව අත්අඩංගුවට ගත්විට ම වෙත ගලාගෙන ආ දුරකථන පණිවිඩවලින් කියන ලද්දේ ‘අනේ සර් අපේ මල්ලි පොලිසියෙන් අල්ලලා, අනේ සර්, බේරලා දෙන්න’ කියායි.! මා එදත් අදත් පමණක් නොව ඉදිරියටත් කිසිම දේශපාලන නායකයකුට හෝ පක්ෂයකට සම්බන්ධ අයෙක් නොවෙමි. කළගුණ නොදන්නා එක් අයෙක් පමණක් මට ද්‍රෝහි විය. ඒ ද්‍රෝහිකම ඔහුට උපකාර කළ ප්‍රවීණ නාට්‍යවේදියෙකුට පවා වංචා කරමින් ද්‍රෝහි විය. මා ඔවුනට සතර සවිය සහ නෙළුම ගැන ඉගෙන ගන්න හැටි ඉගැන්වුවත් ඒ අනුව කටයුතු කිරීමට නොහැකි වූ අවාසනාවන්තයන් ද සිටියේය. දියෙහි යන දණ්ඩට පිහිටක් වෙතත් පෙර සිට.... කවිය මොනතරම් අපූරු ද?
සොක්කානෝ නාට්‍යයේ රඟ පෑ එක් තරුණයෙක් වන අජිත් රූපසේන රංගනය කෙරෙහි දැක්වූයේ පුදුම ආශාවකි. ඔහුට නිරූපණය කිරීමට ලැබුණේ කුඩා චරිතයකි. මේ ශිල්පියා රැකියාවක් සඳහා විදේශගත විය. ඒ කුවේට් දේශයටයි. ටික කලකට පසු ඔහු මා හමුවීමට පැමිණියේය. ඔහු කළගුණ දන්නා අයෙකි. මගෙන් ගුරුහරුකම් ලබා ගත්තේය. එක දිනක් මා ඔහුට දුන්නා වූ උපදේශයක් අනුව කුවේටයේ නාට්‍ය සංගමයක් පිහිටුවා ජේ.ඒ.ඩී. පෙරේරා රචනා කළ ‘සෙත්වේවා සුබ’ නාට්‍යය වේදිකාගත කළේ එරට සිංහල සංස්කෘතික සමිතියේ උපකාරයෙනි. මෙම නාට්‍යයේ මංගල දර්ශනය සඳහා මටත් ජේ.ඒ.ඩී. ටත් ආරාධනා කළේය. ‘ට්‍රයිකෝ’ සමාගමයේ හා සිංහල සංස්කෘතික සමිතියේ අනුග්‍රහයෙන් ගුවන් ගමන් බලපත්‍රත්, නවාතැන් පහසුකම් ද ලබා දුන්නේය. ඒ දින තුනක් සඳහා පමණි. තව දින දෙකක් කුවේට් දේශයේ සංචාරය කිරීමට මට සිත් විය. අපි දෙදෙනා නැවතුණෙමු. හතරවැනි දින උදෑසන අවදි වූයේ වෙඩි හඬ මැද්දේය. හෝටලයේ ජනේලයෙන් බැලුවෙමි. පුදුමයකි. ඉරාකයේ නායකයා වූ සදාම් හුසේන් විසින් කුවේටය ආක්‍රමණය කර ඇති බව දැන ගතිමු.
මම වහාම මගේ බිරියට සිදු වී ඇති දේ සහ සිදුවිය හැකි තත්වයන් පිළිබඳ කීවෙමි. ගත වූයේ දවසකි. දුරකථන ඇමතුම් නැවතුණි. හෝටලයෙන් උදේ ආහාර වේල පමණක් ලැබුණි. ලංකාවේ තරුණයන් දෙදෙනෙක් අප නැවතී සිටි හෝටලයේ සේවය කළේය. දෙවැනි දිනයේදී උදේ ආහාර වේලත් දීමට නොහැකි බව අප වෙත දැන්වීය. ලීනා නමැති ශ්‍රී ලාංකික කාන්තාවක් අප තිදෙනාට ආහාර වලින් සංග්‍රහ කළාය. අපේ හිතවතුන් අපව ට්‍රයිකෝ සමාගමේ ජයන්ත කන්නන්ගර මහතාගේ නිවසට ගෙන ගියේය. ශ්‍රී ලංකා තානාපති වශයෙන් එවකට සේවය කළේ මුස්ලිම් ජාතික මහලු අයෙකි. ඔහුගේ දරුවන් කුඩාය. ඔහු කාරුණික අයෙකි. එහෙත් පැවැති තත්වයට මුහුණ දීමට හැකියාවක් නොමැති බව වැටහුණි. තානාපති කාර්යාලයට සහාය පිණිස අතිරේක කාර්යාලයක් වශයෙන් ට්‍රයිකෝ සමාගම් කාර්යාලය ද පාවිච්චි කරන්නට විය.
කඩිගුල ඇවිස්සුනාක් සේ මිනිසුන් කුමක් කරම්දැයි සිතා ගැනීමට පවා නොහැකි තත්වයක් උදාවිය. වෙඩිහඬ, ගිනි ගැනීම් වර්ධනය වන්නට පටන් ගත්තේය. ශ්‍රී ලාංකිකයන්ට පාස්පෝට් අහිමි විය. මුදල් නැති විය. පිහිටට සිටියේ තානාපති කාර්යාලයයි. නිතරම CNN NEWS බලමින් දිනකට තෙවරක් තානාපති කාර්යාලයේ රැස්ව සිටින පිරිසට දේශනා පවත්වමින් තත්වය පැහැදිලි කළ අතර ඔවුනට චිත්ත ශක්තිය ද මම ලබා දුන්නෙමි. ජේ.ඒ.ඩී. සහ මා පිරිත් පොතක් සොයාගෙන නිතර ම කරන ලද්දේ පිරිත් ගායනා කිරීමය. එයින් සෙතක් අත්වන බව අපේ විශ්වාසය විය. බුදු හාමුදුරුවන්ට ආලෝක පූජාව පැවැත්වීමට තිබුණ පොල්තෙල් බෝතලය හමාර විය. ඔලිව්තෙල් වලින් පහන දල්වා බුදු ගුණ ගායනයෙහි ම නිරත වෙමින් තානාපති කාර්යාලයේ සේවයට සහාය දුන්නෙමි.
වහින වැස්ස වහිනවාමයි. එය නවතාලිය නොහැක. එහෙත් කුඩය රැගෙන යන විට තෙමෙනවා අඩු බව ධම්ම පදයෙන් දැන ගෙන තිබුණි. කුඩය යහ දහමයි. ධර්මයෙන් ජීවත්වන තැනැත්තාට ධර්මය පිහිට වන බව මම විශ්වාස කළෙමි.
ලබන සතියට