
වර්තමානයේ අපේ රටේ දිවිනසා ගැනීම් වැඩිවෙලා. විශේෂයෙන් තරුණ තරුණියන් මේ අතර ප්‍රධානයි. අපේක්ෂා කියන්නේ මෙලෙස දිවිනසා ගන්නට තැත් කරන තවත් එක් යුවතියක්. ඇය ගරා වැටුණු පාඨ පැරැණි ගොඩනැඟිල්ලකට යන්නෙ භූමිතෙල් දමාගෙන දිවිනසා ගන්නට.
මේ නිමේෂයේ ම යකඩ අස්සයකු උඩ නැගගත් ඉසුරු නම් තරුණයාත් මෙතැනට ම එන්නේ දිවිනසා ගන්නට. ඉසුරුගේ මේ අනෙප්ක්ෂිත පැමිණීමෙන් අපේක්ෂාගේ දිවිනසා ගැනීමේ උත්සාහය ව්‍යවර්ථ වනවා. අපේක්ෂාගේ පමණක් නොවෙයි ඉසුරුගේත් දිවි නසා ගැනීමේ අරමුණ වෙනස් වෙනවා.
දෛවෝපගතව සිදුවන මේ අනපේක්ෂිත හමුවීමෙන් හඳුනාගන්නා මේ දෙදෙනා පෙම්වතුන් බවට පත‍්වෙනවා.
මේ අලුත් ආදර කතාව පටන් ගන්නේ පරණ කතා දිග හැරුණාට පස්සෙ.
ඉසුරු අලෙවිකරුවෙක්. ආදරණීය අම්මා කෙනෙක් ඔහුට සිටිනවා. යාළු මිත්‍රයන් අඩුවක් නැතුව. ඔහු ආදරය කළ ඔහුට ආදරය කළ පෙම්වතියක් ද හිටියා. අතමිට යහමින් මුදල් ගැවසුණු දඟකාර, හිතුවක්කාර යෞවන ජීවිතයේ ඉසුරු සතුට සොයා ගියා. සාද, සමාජශාලා, ගමන් බිමන් අපමණයි. සතුට උතුරා ගිය මේ ජීවිතයේ වියදම් ඉහළ යනවා. ක්‍රෙඩිට් කාඩ්, බැංකුණය මේ සියල්ල අතරේ ඉසුරු හිරවෙනවා.
යාළුවෝ, පෙම්වතිය හැමදේම දාලා ගිහින් තනිවෙන, අසරණවෙන තැන තමයි ඉසුරු දිවිනසා ගන්නට පෙළඹෙන්නෙ.
අපේක්ෂාගේ ජීවිත කතාව මීට වෙනස්. ඇය උසස් අධ්‍යාපනය ලබමින් සිටි යුවතියක්. ගෙදරින් සාද ගමන් බිමන් වලට තහංචි වැටෙන්නේ අධ්‍යාපනයට මුල්තැන දෙන්න ඕන නිසා. ගෙදරින් ඇතිවන පීඩනය අතරේ අධ්‍යාපනය කියන අරමුණින් ඈත්වන අපේක්ෂා ජීවිතයේ සතුට ප්‍රේමය යැයි සිතනවා. පංති යන අතර ඇය පෙම් කතා අතර අතර මං වනවා. අතෘප්තිකර ප්‍රේමය, අවහිර බාධා මැද සිදුවෙන ප්‍රේමය ජීවිතයේ සතුට යැයි සිතූ අපේක්ෂා අවසානයේ මේ සියල්ලන්ටම රැවටෙනවා. ඇගේ පෙම්කතා එකින් එක බිඳ වැටී, ඇය සිහින ලෝකයෙන් පියවි ලෝකයට පැමිණෙන විට සියල්ල සිදුවෙලා ඉවරයි. මාපියන්ටත් මෙය රහසක් නොවන තැන අපේක්ෂා තවත් අසරණ වෙනවා.
ඉගෙනීමත්, ප්‍රේමයත් අසාර්ථක වන අපේක්ෂා මාපියන්, පෙම්වතුන් කාගෙත් ආදරයක් නැතුව තමා තුළ තමන් ම අතරමංව දිවි නසා ගැනීමට පෙළඹෙනවා.
ජීවිතයේ වෙනස් පැතිකඩ ඔස්සේ අසරණ වී එකම අරමුණකින් විත් එකිනෙකා හමුවීමෙන් පසු ඉසුරු - අපේක්ෂා දෙදෙනාට හදවතින් කරන පාපොච්චාරණවලින් පස්සෙ අලුත් බලාපොරොත්තුවක් ලැබෙනවා.
පැරැණි ජීවිත කතා දවා අළු කර දමන මේ දෙදෙනා පරාජයේ අළුමතින් පිවිතුරු රෝසමල් ආදර කතාවක් ගොඩනඟනවා.
දිවිතොර කර ගැනීම අමතක කර ජීවිත අලුතෙන් ම පටන්ගන්න යළිත් ගෙවල්වලට ගොස් අලුත් ආරම්භයක් ගන්න මේ දෙදෙනා ආපසු හැරෙනවා. ඒක අලුත් ආදර කතාවක්. මේ කතාවට සීමා මායිම් නෑ.
ඒ කතාව නම් කරලා තියෙන්නෙ ‘සීමා නෑ ආකාසේ’ නමින්.
සීමා නෑ ආකාසේ මේ මස අවසානයේ ප්‍රදර්ශනයට නියමිත අලුත්ම චිත්‍රපටයයි.
මුදල් පසුපස නොනවතින අරගලයක යෙදී සිටින වර්තමානයේ දෙමාපියන්ට, දූ දරුවන්ට වරක් දෙවරක් නොව කීප වරක්ම සිතන්නට යමක් තිබෙනවා. ඒ තමයි අපේ අනාගත පරපුර වන දූ දරුවන් රටට වැඩදායී පුරවැසියන් ලෙස ගොඩ නඟා ගැනීම.
වාණිජ රැල්ල නිසා දිවා රෑ නොබලා වෙහෙසෙන මවුපියවරුන්ට, ඒ කාර්ය බහුල බව නිසාම තම දූ දරුවන් පිළිබඳව බලන්නට සොයන්නට කාලයක්, අවස්ථාවක් නොලැබීමේ ඛේදවාචකය අවසානයේ තරුණ දූ පුතුන් මුහුණ දෙන ගැටලුවලට හොඳ පිළිතුරක් ලෙස රැගෙන එන ‘සීමා නෑ ආකාසේ’ චිත්‍රපටය ළඟදීම තිරගත වේවි.
දෙමාපිය - මිතුරු මිතුරියන් ඇතුළු මුළු මහත් ජන සමාජයෙන් හුදෙකලා වූ එක්තරා පෙම් යුවළකගේ අසීමාන්තික ආදර කතාව ලෙස සීමා නෑ ආකාසේ හඳුන්වන්න පුළුවන්.
මේ චිත්‍රපටයේ කතා සංකල්පය, තිර රචනය මෙන් ම අධ්‍යක්ෂණය නිහාල් බණ්ඩාරගේ.
නව පරපුරේ දක්ෂ සම්මානනීය නළු පුබුදු චතුරංග සමඟ අරුණි මල්ලවාරච්චි, ධනංජි තාරුකා, කෙෂාන් ශෂීන්ද්‍ර, ශ්‍රියාණි අමරසේන, බුද්ධදාස විතානාච්චි සහ සංගීත තදානි බස්නායක මීට රංගනයෙන් දායක වෙති.
කැමරාකරණයෙන් අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, සංස්කරණයෙන් ප්‍රවීන් ජයරත්න, කලා අධ්‍යක්ෂණයෙන් දීප්ති මංගල සෝම, අංග රචනයෙන් නලීන් ප්‍රේමතිලක, සහාය අධ්‍යක්ෂණයෙන් සුනෙත් රසාංග සහ නිෂ්පාදන කළමනාකරණයෙන් ශ්‍රී ලාල් වික්‍රමගේ මෙම චිත්‍රපටයට දායක වෙනවා.
මෙහි ගීත 6ක් ඇතුළත්. ජගත් ජයවර්ධන, ඩිල්ෂාන් සමරසිංහ, ධනංජි තාරුකා සහ නිහාල් බණ්ඩාර ගායනා කරන මෙම ගීත සංගීතවත් කර ඇත්තේ සංඛ රුවන්දිත, ශෂීන් ගිම්හාන් පෙෙර්රා, ඉමේෂා මුතුකුමාරි / චමරි පෙරේරා, කෞෂික් මලින්ද සහ ඩිල්ෂාන් සමරසිංහ. ප්‍රවර්ධන ගීතයේ සංගීතය ජගත් ජයවර්ධන.
ඇක්ටිව් මෝෂන් ෆිල්ම්ස් වෙනුවෙන් මෙම චිත්‍රපටය නිෂ්පාදනය කරන්නේ ‘හඳපාන’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළ තිස්ස බාලසූරිය ආරච්චි. මෙය ඔහුගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය.
“සීමා නෑ ආකාසේ මගේ පළමු චිත්‍රපට නිෂ්පාදනය. මම කලාවට ආදරය කරන, කලාවට කැමැති කෙනෙක් විදිහට හඳපාන ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළා. ඊට පස්සෙ මට චිත්‍රපටයක් කරන්න ඕනකම තිබුණා. ඉතින් නිහාල් බණ්ඩාර මට මේ තිර පිටපත පෙන්නුවාම මම එය තෝරා ගත්තා. මෙය සරල කතාවක්. නමුත් සංකීර්ණ සමාජ ප්‍රශ්නයක් ගැන කතා කරනවා. තරුණ තරුණියන් දෙමාපියන්ට මෙයින් හොඳ පණිවුඩයක් දෙනවා. මුදල් පසුපසම හඹා ගියොත් අපේ ජීවිතවලට මොකක්ද වෙන්නේ කියන පණිවුඩය මේ මඟින් පෙන්වා දෙනවා.
ඇත්තෙන් ම මම මේ සඳහා විහාල පිරිවැයක් දැරුවා. මෙය නිහාල් බණ්ඩාරගේ පළමු චිත්‍රපට අධ්‍යක්ෂණය. ඔහු මීට පෙර ටෙලිනාට්‍ය සඳහා පිටපත් රචනා කර තිබෙන කෙනෙක්. ස්වර්ණවාහිනී ආයතනයේදී ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ එච්.ඩී. ප්‍රේමරත්න මහතා සමඟ සමීපව වැඩකර ඇති කෙනෙක්. ඉතින් ඔහුගේ උත්සාහය, උනන්දුව සහ ඔහුගේ කතාවෙහි ඇති සමාජ පණිවුඩය නිසා මම මෙය නිෂ්පාදනයට පෙළඹුණා. ඒ වගේම අරුණි, ධනංජි චිත්‍රපට නිළියන් ලෙස දොරට වඩින්නෙත් මේ චිත්‍රපටයෙන්.
ඉතින් මම අපේ රටේ ජනතාවට ආරාධනා කරනවා මේ චිත්‍රපටය බලන්න කියලා. විශේෂයෙන් ජීවිතයේ විවිධ ප්‍රශ්න ගැටලු හමුවේ අසරණ වෙලා හුදෙකලා වෙලා ඉන්න තරුණ පරපුරට ජීවිතය ගොඩක් වටිනවා. එය ජයගන්න එක තමයි අපි කරන්න ඕන. ඒක අපිට කරන්න පුළුවන්. මේ ආකාසේ සීමා නෑ එහි පියඹා යන්න අත්තටු සොයා ගන්න අපට පුළුවන්.”