ඔය පුංචි පුංචි දේවල් දුර දිග යන්න පුළු­වන් | සිළුමිණ

ඔය පුංචි පුංචි දේවල් දුර දිග යන්න පුළු­වන්

අම්මා දෙනෙක් විශාල කරගෙන බොහෝ වේලාවක් අශ්විනී දෙස බලා සිටියාය. ඒ දෙනෙත් වල වූ විස්මය අශ්විනී හඳුනා ගත්තාය. තමා අසාර් සමග ඔහුගේ මෝටර් රථයෙන් ගිය ගමන් පිළිබඳව පවසද්දී අම්මාට එය කෙසේවත් අදහා ගත නොහැකි වන්නට ඇත.

“කාර් එකෙන් ගියා? තනිපංගලමෙ?”

අම්මා ඇසුවේ වෙව්ලන හඬිනි.

“තනිපංගලමෙ නෙමෙයි. අපි දෙන්නම කාර් එකේ හිටියා.”

“වටින වැඩක්ද චූටි කුමාරි ඒ කළේ?”

“කරුණු හොයන්න තැන් තැන් වලට මම තනියෙන් ගියානම් ඒක තමයි වටින වැඩක් නොවෙන්නෙ අම්මා.”

“කොහේ කොහේද ගියේ?”

“බිස්කට් ෆැක්ටරියෙ පරණම සේවකයා දැන් ඉන්නෙ එකතැන් වෙලා. අසාර් මාව එහාට එක්ක ගියා.”

“කොහේද?”

“උකුවෙල.”

“වෙන කොහෙද ගියේ?”

“අසාර්ගෙ තාත්තා බිස්කට් ෆැක්ටරිය පටන් අරගෙන තියෙන්නෙ පුංචි බිල්ඩින් එකක. දැන් ඒක වහලා තියෙන්නෙ. ඒක බලන්නත් ගියා.”

“ඒකත් උකුවෙලද?”

“නෑ. මාතලේ.”

“එච්චරද?”

“නෑ. ඒ එන ගමන් අපි දෙන්නා හොටෙල් එකකට ගියා ලන්ච් ගන්න. ඇවිදලා ඇවිදලා ඒ වෙලාවෙ මං හරිම බඩගින්නෙන් හිටියෙ අම්මා.”

අම්මා සිනාව වළක්වා ගන්නට මෙන් තොල් සපා ගත්තාය. ඇය මේ සියල්ල මැදහත් සිතින් යුතුව අසා සිටියද, අක්කලා දෙදෙනා සමග මේ තොරතුරු පැවසුවේ නම් ඔවුන් කෙසේ හැසිරෙනු ඇත්දැයි අශ්විනීට සිතිණ.

“හරි. මං චූටි කුමාරිව විශ්වාස කරනවා. හැබැයි ඔය පුංචි පුංචි දේවල් පස්සෙ දුර දිග යන්න පුළුවන්. ඒ නිසා මින් ඉදිරියට ඔය යාළුකම් නතර කරගත්තොත් හොඳයි.”

“දැන් මගේ වැඩ ඔක්කෝම ඉවරයි. ආයෙ අසාර්ව මට ඕන වෙන්නෙ පොත ලෝන්ච් කරනා දාට විතරයි.”

“හොඳයි. මං චූටි කුමාරිව විශ්වාස කරනවා.”

සැබවින්ම ඒවනවිට තමා හා අසාර් අතර ප්‍රේම සම්බන්ධයක් නොතිබූ බව හොඳින් පැහැදිලිය. ඔහු හා තමා අතර ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වීමට මුල් වූයේ අක්කලා දෙදෙනා වරින් වර නිකරුණේ චෝදනා නැගීමම වන්නටඇතැයි දැන් සිතේ.

“මං ආයෙ ඔයාව හමුවෙන්න එන්නෙ නෑ අසාර්.”

අසාර්ගේ පියා සතු බිස්කට් ෆැක්ටරිය ඇසුරෙන් ලියූ පොත ටයිප් සෙටින් කර ගැනීම සඳහා ඔහුගේ මිතුරකු හමුවීමට ගොස් පැමිණෙන අතරමග දී තමා පැවසූ අයුරුත් අසාර් එයට පිළිතුරු වශයෙන් සිනාසුණු අයුරුත් ෆියෝනා සිහිපත් කළාය.

“ඇයි? දැන් අශ්විනීගෙ වැඩ හැමදෙයක්ම ඉවර නිසාද?”

“ඒ නිසාමත් නෙමෙයි.”“එහෙනම්?”

අසාර් මෝටර් රථය පාර අයිනට වන්නට නතර කළේය. මාවත අයිනෙහි වූ දැවැන්ත රොබරෝසියා ගසේ පත්‍ර එකක්වත් නොපෙනෙන තරමට රෝස පැහැති මල් පිපී තිබිණ. ගසෙහි පමණක් නොව බිම ද පලසක් සේ රබරෝසියා මල් වැටී ඇති බවත් අශ්විනී දුටුවාය.

“අනේ...“

රථයේ කවුලුවෙන් පිටත බැලූ අශ්විනීට ඉබේටම කියවිණ.

“ඇයි?”

“කා එකේ ටයර් වලට මල් පොඩි වෙලා යන්න ඇති.”

අශ්විනී අනුව කවුලුවෙන් පිටත බැලූ අසාර් යන්තමින් සිනාසුණේය.

“පොඩි වුණාම මොකද? තව ඔය ඕන තරම් මල් ගහෙයි බිමයි තියෙන්නෙ.”

අශ්විනී නිහඬ වූවාය. ව්‍යාපාරික පවුලක ඉපිද ව්‍යාපාරික කටයුතු සඳහාම ජීවිතය කැප කරන අසාර් තමා මෙන් සංවේදී සිතැත්තෙකු නොවන බව ඇය දැන සිටියාය. අශ්විනී නිහඬව කවුලුවෙන් පිටත බලා සිටියාය. හමා යන සුළඟට රොබරෝසියා මල් වැස්සක් මෙන් බිම පතිත වන අයුරු ඇය බලා සිටියේ ආශාවෙනි. මෝටර් රියෙන් බැස එහි වහල මතට පතිත වූ මල් දැක ගන්නට තරම් බොලඳ ආශාවක් ක්ෂණිකව සිත තුළ ඇති වී නැති වී ගියේය.

“අශ්විනී...”

මොහොතක් කල්පනාවට වැටී සිටි අසාර් කටහඬ අවදි කළේය.

“ම්?”

“මං දන්නවා. මා එක්ක යාලුයි කියලා අශ්විනීට ගෙදරින් බනිනවා නේද?”

“ඔයා දන්නෙ කොහොමද?”

“මොකද මං නොදන්නෙ? ඔයාගෙ සිස්ට මාව හමුවෙන්න ආවා ෆැක්ටරි එකට.”

“කවදද?”

“ගිය සතියෙ.”

“ඇයි ඉතින් මට නොකිව්වෙ?”

“ඔයාට කිව්වා කියලා පලක් නැති නිසා. එයා අපේ වාප්පා එක්කත් කතා කළා. වාප්පා මට නොසෑහෙන්න

දොස් කිව්වා.”

“ඇයි?”

“පුංචි කාලෙ ඉඳලම මට ප්‍රපෝස් කරපු ගර්ල් කෙනෙක් ඉන්නවා අශ්විනී.”

“ගර්ල් කෙනෙක්?”

එවේලෙහි තම සිත තුළ ගින්නක් ඇවිලුුනේ මන්දැයි අශ්විනී නොදැන සිටියාය. තම සිතට නොදැනුවත්වම තම සිත තුළ අසාර් කෙරෙහි ප්‍රේමයක් ජනිත වී තිබෙන්නට ඇතැයි ඇය අනුමාන කළ මුත් ඔහු ඉදිරියෙහි කිසිවක් පවසන්නට ඇය මැළි වූවාය.

“ඔව්. ඒත් මම ඒ ළමයව මැරි කරන්න කැමැති නෑ.”

“ඇයි?”

“අශ්විනී නිසා.”

“මා නිසා?”

“ඔව්. මං අශ්විනීට දැනටමත් ආදරය කරන නිසා.”

අශ්විනීගේ හදවත වේගයෙන් ගැහෙන්නට විය. අසාර් හඳුනාගෙන මෙතරම් කලක් ගත වුව ද, ආදරය පිළිබඳව ඉඟියක් හෝ මෙතෙක් ඔහුගෙන් පල නොවූයෙන් කිසිදු චකිතයකින් හෝ බියකින් තොරව ඔහු ඇැසුරු කිරීමට හැකියාව තිබිණ. එහෙත් තවත් මෙහි සිටිය හොත් තම ඇතුලු හදවත ද ඔහු ඉදිරියෙහි විවර වනු ඇතැයි ඇය බියට පත් වූවාය.

“අපි යමු අසාර්.”

ඇය ඉල්ලා සිටියද, අසාර්ට එය නොඇසුනාක් මෙන් විය.

ලබන සතියට

Comments