
ස්වාධීන රූපවාහිනි සේවයේ ආරාධනයෙන් මම පසුගිය දිනෙක ‘චැට් ඇන්ඩ් මියුසික්‘ වැඩසටහට සහභාගි වුණෙමි. ඇය මට මුණගැසුණේ එම අවස්ථාවේදීය. මිහිර සිරිතිලක, ගයාත්‍රි ඩයස්, රිතූ ආකර්ෂා, ඉසුරු ජයරත්න, නන්දා පතිරණ, සමඟ ඇය ඊට සහභාගි වූවාය.වැඩසටහනන මෙහෙයවන හීෂාන් ඇය හැඳින්වූයේ වේදිකාවේ කොච්චි කරල ලෙසිනි. අඩි දෙක තුනකට වඩා උස නැති මේ පුංචි කෙල්ල ඉතා මිහිරි රිදී සීනු හඬින් ගීත ගායනා කළේ අප සැවොම මවිතයට පත් කරවමිනි. එහිදී ඇය ලෝකයේ මිටිම ගායිකාව ලෙස ගිනස් වාර්තාවක් තබන්නට සැරසෙන බව කියැවුණු අතර මේ නිසාම රසඳුන තුළින් ඇය පිළිබඳව තොරතුරු ගෙන එන්නට මම තීරණය කළෙමි.
ඇය නමින් හේරත් මුදියන්සේලාගේ හිරුණි දිල්ෂාරා යි. පසුගියදා පියා සහ මව සමඟ හිරුණී ලේක් හවුස් ආයතනයට පැමිණි අතර ඇගේ කතාව සැබැවින්ම අංග සම්පූර්ණව මේ ලෝකයට බිහිවුණු බොහෝ දෙනකුට ආදර්ශයකි.අතපය නැතිව, ඇස් කන් නැතිව, නොයෙකුත් අඩුපාඩු ඇතිව මේ ලෝකයට බිහිවුණු 'නික්' වැනි බොහෝ මිනිසුන් ලෝක පූජිත චරිත වී සිටින අන්දම අපි කියවා ඇත්තෙමු. හිරුණි ද එවැන්නියකි. ඇය ලොව මිටිම ගායිකාව ලෙස ගිනස් පොතට නම ඇතුළත් කළහොත් එය ඇයට පමණක් නොව ශ්‍රී ලාංකිකයන් ලෙස අපටද ඉමහත් ආඩම්බරයකි.
නැති දේවල් ඉල්ලා අරගල කරන බොහෝ දෙනකුට ලද දෙයින් සතුටුව, ධෛර්යවන්තව ජීවිතය ජයගන්නේ කොහොමද යන පාඩම අපට කියාදෙන හිරුණිගේ කතාව අහමු.
‘‘මගේ නම හිරුණි දිල්ෂාරා.වයස අවුරුදු 19 යි. ලබන සැප්තැම්බර් 15 වැනිදාට අවුරුදු 20 යි.මගේ අම්මා සමන්තා ගුණරත්න. තාත්තා හේමන්ත නීල් ප්‍රේමකුමාර.මම ඉපදුණේ කළුතර. දැන් පදිංචිය හෝමාගම හබරකඩ.මගේ අයියා තරිත් මිලන්ත. මල්ලී දිලාන් හේරත් බණ්ඩාර. අක්කා (අයියාගේ බිරිඳ) රශ්මි ප්‍රභා.මගේ උස අඩි 3 අඟල් 7 යි (සෙන්ටි මීටර් 111 යි.)‘‘
හිරුණි ගායනයට යොමුවුණේ කොහොමද?
මම පාසල් ගියේ හබරකඩ කනිෂ්ට විද්‍යාලයට. පුංචි කාලේ මම ආසා කළේ ඩාන්සින් වලට. 1 වසරේ ඉන්න කොට නිරෝෂා සිරිසේන ගුරුතුමියගෙන් ආරාධනාවක් ලැබුණා කොන්සර්ට් එකේ ගීතයක් කියන්න. එතකොට මට වයස අවුරුදු 6 යි. මම නිල් අහස් තලේ අගේ නෑ වලාකුළු ගීතය හොඳට කිව්වා.මට එදා හිතට හරිම සතුටක් දැනුණා. මම එදා ඉඳලා නිතරම සිංදු කිව්වා. හින්දි චිත්‍රපට බලන්න ආසා කළා. ඒවයේ තියෙන හින්දි සින්දු අහල තනුව අල්ලගෙන සින්දු කිව්වා. වචන හරියට දන්නෙ නෑ. බොරු වචන දාලා තමයි ඒව කිව්වේ.
9 වසරේ දි සංගීතයට යොමුවුණා ගායන අංශයෙන්.මුලින්ම පාසලේ අවුරුදු උත්සවට ජනකවි ගායනා කරලා එයින් ජයග්‍රහයණය කළා.ඉන්පස්සෙ ජනකවි ගායන තරගවලට සමස්ත ලංකා මට්ටමින් ඉදිරිපත් වෙලා 9 වසරේදී 3 වැනි ස්ථානයත්, 10 වසරේදී 2 වැනි ස්ථානයත්, 11 වසරේදි ප්‍රථම ස්ථානයත් ජයග්‍රහණය කරලා තියෙනවා.
මේ වගේ ජනප්‍රිය ගායිකාවක් වුණේ කොහොමද?
මාව ගායිකාවක් කිරීමේ ගෞරවය හිමිවෙන්න ඕන කීර්ති පැස්කුවල් සර්ට.මම සින්දු කියන්න ආසයි වගේම මට සින්දු කියන්න පුළුවන් කියන විශ්වාසයෙන් තාත්තා මාව කීර්ති සර්ගේ පන්තියට දාන්න එක්ක ගියා. එදා සර් හිටියෙ නෑ. එතැන ළමයි බාරගන්න මිස් මාව බාරගන්න බෑ කිව්වා. එයා අප්පච්චිගෙන් අහල තිබ්බා මට ලියන්න කියවන්න පුළුවන්ද කියලා. මොකද මාව දැක්කම එයාට හිතෙන්න ඇති මම වාගේ කෙනෙකුට ඉගෙන ගන්න බෑ කියලා.අප්පච්චි කිව්වා පුළුවන් කතා කරලා බලන්න කියලා.
එතැන තව සර් කෙනෙක් හිටියා එයා මාව බාරගත්තා. පහුවදා කීර්ති සර් හම්බවුණා. සර් අප්පච්චිගෙන් අහලා තිබුණා මම ගැන විස්තර. පස්සේ අලුතෙන් ගත්ත අයට සිංදු කියන්න කිව්වා. ඉතින් මමත් කිව්වා. පස්සේ අපිව පන්තියට අරගත්තා. කීර්ති සර් මගේ සින්දුව අහලා ඇවිත් අප්පච්චිට කියලා තියෙනවා.
මෙයා තාම 9 වසරේ ඉන්න නිසා ඔහොම ඉගෙන ගන්න ඇරලා ඕ ලෙවල් විභාගයෙන් පස්සේ අපි ස්ටේජ් නග්ගමු කියලා. ඉතින් අප්පච්චිට පුදුමයි වගේම දරාගන්න බැරි සතුටක් ඇතිවෙලා. මොකද එයාගේහිතේ මාව ස්ටේජ් එකට නග්ගලා සින්දු කියවන්න අදහසක් තිබුණත් ඒක සර්ගෙන් අහන්න බැරිව ඉඳලා තියෙන්නේ.දැනට වසර පහකට කිට්ටු කාලයක් මම සර්ගේ පන්ති යනවා. සර්ගේ හෙවනැල්ල වගේ ඉන්නවා. ආඩම්බරයෙන් කියනවා.කිර්ති සර්ගේ ගෝලයෙක් මම
හිරුණි ස්ටේජ් නැගපු හැටි කියන්න
මේ වෙනකොටමම ස්ටේජ් එකේ සිං කරල තිබුණේ නෑ.ඒත් මට ස්ටේජ් නගින්න ආසයි. ඉතින් අප්පච්චි මාව අරගෙන ගියා ෆ්ලෑෂ් බැක් කණ්ඩායමේ නායක රොෂාන් ප්‍රනාන්දු අයියා ළඟට ස්ටේජ් එකට අවශ්‍ය කරන විදිහට සින්දුවක් හදාගන්න.එතැනදී රොෂාන් අයියා මට කිව්වා අලුතෙන් සින්දුවක් කියනවට වඩා හින්දි, දෙමළ සින්දු නැත්නම් ශානිකාගේ වගේ සින්දු මුලින්ම කියන්න කියලා.එතැනදී මම වැඩිය කතා කළෙත් නෑ අප්පච්චි තමයි කතා කළේ . රොෂාන් අයියා සින්දුවක් කියන්න කියලා මගේ කටහඬවත් ඇහුවෙ නෑ. ඒත් හෝමාගම ෂෝ එකක් තියනවා එදාට සින්දුවක් කියන්න කියලා කිව්වා.ඒවගේම එදා එනකොට මට ස්ටේජ් රැඳෙන විදිහ පවා කියලා ගුරුහරුකම් රාශියක් දුන්නා.
ඉතින් අප්පච්චි හෝමාගම ෂෝ එක සංවිධායක හම්බවෙලා මට සින්දු කියන්න ඉල්ලලා. එයා බැහැ කියලා තියෙනවා. පස්සෙ රොෂාන් අයියට කතා කළාම එයා කියලා මාත් එක්ක සින්දු කියලා තියෙනවා. ඒ නිසා අවස්ථාවක් දෙන්න කියලා. රොෂාන් අයියා මාත් එක්ක සින්දු කියනවා තියා කටහඬවත් අහලා නැතුව ලොකු විශ්වාසයකින් තමයි එහෙම කියලා තිබුණේ .ඒ අනුව මම එදා ශානිකා වනිගසේකර අක්කාගෙ තිරික්කලෙන් එන ගීතය කිව්වා. ගෙදර ප්‍රැක්ටිස් කරල ගියත් සංගිත කණ්ඩායම එක්ක කිසිම පෙර පුහුණුවක්නැතුව කිව්වා. රෝස් අලගිවන්න අයියා මට රැප් එක කියලා සහයෝගය දුන්නා. ෆ්ලෑෂ් බැක් කියන්නේ දැවැන්ත කණ්ඩායමක්. ඉතින් ඒක මට ලොකු අවස්ථාවක්.
ඊට පස්සෙ මට එක දිගට ෂෝ ආවා.ප්‍රියංකර රණසිංහ මහතා මට නයිට් පාක් කියන සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායිකාවක් වශයෙන් ගීත කියන්න අවස්ථාව ලබා දුන්නා.
දැන් මම ප්‍රසංග වේදිකාවේ වේග රිද්ම ගායිකාවක්ලෙස ඉන්නවා.ඒත් අප්පච්චි කියන්නේ ක්ෂේත්‍රෙය් රැඳෙන්න දැනුමක් තියෙන්න ඕන කියලා. ඒ නිසා දැන් මම ශාස්ත්‍රපති අචින්තා මිහිරාණි විදාගම ගුරු මෑණියන්ගෙන් ශාස්ත්‍රීය සංගීතය හදාරනවා.දැන් ඩිප්ලෝමා දක්වා දැනට ඉගෙන ගෙන තියෙනවා.තව වසර දෙකකින් විශාරද කරන්න බලාපොරොත්තු වනවා.ඒ වගේම සහන් රන්වල ගුරුතුමා යටතේ ජනකලා කේන්ද්‍රෙය් ජන සංගීතය හදාරනවා.
තමන්ගේම කියලා ගීත නිර්මාණය කරලා නැද්ද?
දැනට මගේම කියලා ගීත 4 ක් කරලා තියෙනවා.අනුර මාගලගේ මහතා ලියූ පැතුවේ ඔබෙ සෙනෙහසමයි, ඇන්ටන් ජේ ප්‍රනාන්දු මහතාගේ කොච්චිකඩේ ස්ටේෂන් එක යන ගීත දෙක කීර්ති පැස්කුවල් මහතා සංගීතවත් කළා.ඇන්ටන් ජේ මහතා ලියූ පොත්ත රතට ගීතය උපුල් පෙරේරා මහතා සංගීතවත් කළා.ඒ වගේම ඇන්ටන් ජේ මහතා ලියූ මහින්ද බණ්ඩාර මහතා සංගීතවත් කළ ගංදර නැන්දගේ පෙම්බර සුන්දර දූ මමයි ගීතය කීිර්ති පැස්කුවල් සර් ගේ වින්දනීය තක්සලාවෙන් කළා.
තව ගීතයක් ළඟදීම එළිදක්වනවා.ඒක මම දැකලා දිලාන් රොද්‍රිගු මහතා මට තෑග්ගක් ලෙස ලියලා දුන්නු සිනහ අරන් මං ආවා ගීතය.
විදෙස් රටවලත් ප්‍රසංග වලට ආරාධනා ලැබෙනවා නේද?
ඔව් මම කුවේට් රටේ ප්‍රසංගයකට සහභාගි වුණා. ඒ කුවේට් තානාපති කාර්යාලය සංවිධානය කළ අවුරුදු උත්සවයේ ගීත කියන්න.මට මේ අවස්ථාව ලබා දුන්නේ සුමිත් පෙරේරා මහත්මා. මගේ සියලුම වියදම් දැරුවේ ඒ මහත්මා.ඒ අත්දැකීම මට කවදාවත් අමතක වෙන්නේ නෑ. ඉතාමත් හොඳ ප්‍රතිචාර තිබුණා.හොඳ පිළිගැනිමක් ලැබුණා.
හිරුණි තියන්න සූදානම් වෙන ගිනස් වාර්තාව ගැනත් කියන්න.
ලෝකයේ දැනට මිටිම ගායකයා කියන ගිනස් වාර්තාව තියෙනවා. ඒත් මිටිම ගායිකාවක් ගැන වාර්තාවක් නෑ. එහෙම ටයිටල් එකක් වත් නෑ. මගේ උස සෙ.මි. 111 යි.දැනට ඉන්න මිටිම අයගෙන් අන්තිම එක්කෙනාගේ උස සෙ.මී. 149 යි. ඉතින් අපි මේ විස්තර ගිනස් වාර්තාවට දන්වලා තියෙනවා. ඒ බව සනාථ කරන්න මම ස්ටේජ් වල සින්දු කියපුවා යවන්න ඕනෑ. ඒ සම්බන්ධව කටයුතු කරන්නේ වෛද්‍ය ලාල් ඒකනායක මහතා. තව ටික කාලයකින් මේ වාර්තාවට හිමිකම් කියලා රටට කීර්තියක් ගේන්න හැකිවෙයි කියලා විශ්වාස කරනවා.
හිරුණිගෙන් අහන මේ ප්‍රශ්නයට හිත රිදවාගන්න එපා. ඔබ අසාමාන්‍ය කෙනෙක් කියලා දැනුණේ මොන වයසේදීද?
පොඩි කාලෙ මට මගේ මේ වෙනස ගැන දැනුමක් තිබ්බේ නෑ.පහ හය වසර වෙද්දී මට ටික ටික වෙනසක් තේරෙන්න පටන් ගත්තා . ඒත් මම ඒක අම්මගෙන් වත් අප්පච්චිගේන් වත් ඇහුවේ නෑ. අප්පච්චිලාත් මට කිසිම දෙයක් කිව්වේ නෑ. හැමෝම සාමාන්‍ය විදියට හැසුරුණා.ඒත් 11වසර වෙද්දි මට මේ ගැන දැනුම් තේරුම් ආවා.
ඔබේ අසාමාන්‍ය බව නිසා අපහසුවට පත්වුණු අවස්ථා තිබුණාද?
පුංචිම කාලෙදි නම් මට යාළුවෝ විහිළු කරලා තියෙනවා. ඒත් මට ඒගැන තේරුමක් තිබුණේ නෑ. විශේෂයෙන් මගේ අයියයි එයාගේ යාළුවොයි මට කිසිම වෙනසක් පෙන්නුවේ නැති නිසා මමත් සාමාන්‍ය කෙනෙක් විදිහට තමයි හැදුණේ.
හිරුණිගේ අනාගත බලාපොරොත්තුව
සංගීතය නිපුන් දක්වා හදාරන්න ආසාවක් තිබෙනවා. ස්ටේජ් එකේ නැතුවම බැරි කෙනෙක් වෙන්න ආසයි. රසිකයන්ගේ ආදරය හැමදාම ලබන්න තමයි මට ඕනේ.ඒ වගේම මම තව ස්ථාවරයකට ආවම අහිංසක අයට ගොඩක් උදව් කරන්න කැමැතියි.
ඔබට අතහිත දුන් අය මතක් කළොත්.
මට උදව් කළ අය ගොඩක් ඉන්නවා. නම් කියන්න ගියොත් ඉඩ මදිවෙයි. එහෙත් කීර්ති පැස්කුවල් සර්, රොෂාන් ප්‍රනාන්දු අයියා, පියල් පූජාභාණ්ඩ අධිපති පියල් රණසිංහ මහතා විශේෂයෙන් මතක් කළ යුතුයි.
හිරුණි අසාමාන්‍ය දරුවෙක්. මෙවැනි කෙනෙක් බිහිවුණු විට මවකට ඇතිවන හැඟීම මොනවගේද?
එහෙත් මෙවැන දරුවකු හදා වඩා ගනිමින් අද ඉන්නා තත්වයට පත් කරන්නට ඒ අම්මාට මොනතරම් නම් ධෛර්යයක් තිබිය යුතුද? මේ ඒ දිරිය අම්මා තම දියණියගේ සාර්ථකත්වය ගැන කියූ අයුරුයි.
‘‘ හිරුණි මගේ දෙවැනි දරුවා විදිහට ඉපදුණේ ලොකු පුතා ඉපදිලා අවුරුදු 5 කට පස්සේ. අපි එතකොට තරමක් අසරණ වෙලා හිටියේ ආර්ථික පැත්තෙන් පවා පහළ හිටියේ. ඉපදිලා දවස් 3 ක් විතර යද්දි මෙයා ජීවත් වෙයිද කියන්න බැරි තරම් දරුණු තත්වයක හිටියේ.දරුවාට තිබුණේ එකොන්ඩ්‍රෝපේසියා කියන ජාන විකෘති රෝගයක්. මාස 6 ක් විතර තියාගෙන පරීක්ෂණ කළා.ජාන 44 න් 4 වැනි ජානය විකෘති වෙලා කොට අස්ථි තමයි හැදෙන්නේ. මෙයා ටික ටික වැඩෙන කොට ඔලුව ලොකුවට තමයි තිබුණේ. ඔලුව උස්සන්න බැහැ කඩා වැටෙනවා.
මහත්තයයි මමයි හරිම දුකෙන් දෙවියන්ට බාරදීලා වසර එකහමාරක් යනකම් පරිස්සම් කළා. රෑට ඔඩොක්කුවෙන් බිමින් තියන්න බෑ අඬනවා.මවකිරි පමණයි බොන්න පුළුවන් වුණේ. පිටිකිරි බොන්න බැහැ.
අවුරුදු 1 1/2 කට විතර පස්සේ ටික ටික ක්‍රියාකාරකම් පටන් ගත්තා.නළල බිම තියලා තමයි බඩගාගෙන ගියේ. ඇවිදියිද කියලා කියන්න බැරි තත්වයක් තිබුණේ.
ඒත් හොඳ කල්පනාවක් තිබුණා. අවුරුදු 3 කට පස්සේ ටික ටික ඔළුව උස්සලා පළමු අඩිය තියලා ඇවිද්දා. අවුරුද්දක් පමා කරලා පෙර පාසල් දැම්මා.
පුංචි කාලයේ ඉඳලම ඇඳ උඩ නිදාගෙන පොඩි පොඩි සිංදු කෑලි කියනවා. මේ අතර මෙඩිකල් ෆැකල්ටියේ මෙඩිකල් ටෙස්ට් එකකට අරගෙන ගියා.එතැනදී කිව්වා මෙය ස්වභාවික දෙයක්. මේ වගේ අය ඉපදෙන්නේ ලක්ෂයකට එකක් වගේ. ඒ නිසා මෙයාට හොඳට උගන්වන්න කියලා ඇත්තටම මෙයා හරිම නිරෝගීයි.
මම වළව් පෙළපතක කෙනෙක්.මගේ අයට වුණත් මේ දරුවා පොඩි මදි පුංචි කමක් වෙන්න ඇති. ඒත් මමයි මහත්තයයි හිතා ගත්තා මෙයාව හොඳ තැනකට ගේනවා කියලා. මොකද මම ජ්‍යොතිෂවේදිනියක්. ඉතින් මම හිරුණිගේ උපන්වේලාවේ තිබෙන ග්‍රහ පිහිටීම් දැක්කා. කවදා හරි ඉහළ තැනකට එනවා කියන විශ්වාසය මට තිබුණා. ඉතින් මට ඕන වුණේ දුව ලෝයර් කෙනෙක් කරන්න. ඒත් තාත්තා තමයි කිව්වේ ලෝයර් කෙනෙක් වුණොත් සල්ලි තියෙයි ඒත් මෙයාව සමාජ ගත කරන්න ඕන ඒනිසා සංගීත අංශයෙන් ඉදිරියට යවමු කියලා. අද අපේ ඒ බලාපොරොත්තු යම් දුරකට දුව ඉටු කරලා තියෙනවා.
දුවට ගොඩක් හැකියාවල් තියෙනවා. දැන් එයාට තනිවම කාර් එක එලවන්න පුළුවන්. මෙඩිකල් එක පාස් වෙලා ඉන්නේ. ආර්.එම්.වී. එකෙන් කිව්වේ කාර් එකේ පැඩල් උස්සලා හදලා ගෙනැවිත් පෙන්නන්න කියලා. තවම ඒක කරන්න බැරිවුණා. ඉදිරියේදී දුව තනිවම කාර් එක පදවාගෙන යාවි. එයා ලෝකයේම ජනප්‍රිය කෙනෙක් වේවි. අපට ඕන ඒ ටික විතරයි.‘‘
හෙට දවසේ ලෝකය ජයගන්නට හිරුණිට ශක්තිය ධෛර්යය ලැබේවා පතමින් මේ සටහන නවතමි.